වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බටර් කේක් එකක් නිවැරදිව හදන්නේ කොහොමද?
කේක් හදන කොට ඇතිවන ගැටලුවලට මෙන්න මේ හේතු බලපාන්න පුළුවන්.
ඉතින් ඔයාලගේ අතින් වෙන වැරදි මොනවාද කියලා බලන්නකෝ.
කේක් එකට අවශ්‍ය දේවල් නිසි පරිදි කිරා ගන්න.
මේ සඳහා විදුලි තරාදියක් (electric kitchen scale එකක්) භාවිත කළහොත් නිසි ප්‍රමාණ ලබාගත හැකියි.
උදා: 1 කිලෝ ග්‍රෑම් එකක කේක් එකක් සඳහා,
බටර් ග්‍රෑම් 250ක්
සීනි ග්‍රෑම් 250ක්
පිටි ග්‍රෑම් 250ක්
බිත්තර ග්‍රෑම් 250ක් (බිත්තර 4ක්)
* සීනි ප්‍රමාණය වැඩි වුවහොත් කේක් එක තද ගතියක් ගන්නවා.
* පිපුම්කාරක වැඩි හෝ අඩු වීම.
කිලෝ ග්‍රෑම් එකක කේක් එකකට බේකිං පවුඩර් ග්‍රෑම් 10 ගන්න. (තේ හැඳි 2ක්)
* බටර් සීනි විනාඩි 10 ක් පමණ බීට් කළ පසු බිත්තර එක බැගින් එක් කර බීට් කරන්න.
එයද හොඳින් බීට් වීමට විනාඩි 9 ක් පමණ යයි.
සියල්ල බීට් කරනා කාලය විනාඩි 10කට වඩා ගන්න එපා.
වැඩි වෙලාවක් බීට් කළහොත් බටර් සහ බිත්තරවල වතුර වෙන් වී මිශ්‍රණය දිය ගතියක් ගනී.
* පාන්පිටිවලට බේකිං පවුඩර් කලවම් කර තුන්වරක් පෙනේරයෙන් හළාගෙන තබාගන්න.
* පාන් පිටි එක්කර බීට් කරන්නේ නැත.
* හැන්දෙන් එකම අතකට පමණක් fold කළ යුතුය.
මෙසේ එකම අතකට කරන්නේ ඇතුළත වායු බුබුළු රැඳී, කේක් එක අවන් වෙද්දී හොඳින් පිපීම සඳහායි.
* සියල්ල තැටියට දැමූ විගස අවන් එකට දැමිය යුතුයි. බේකිං පවුඩර් දමා ඇති නිසා පිපුම්කාරක ක්‍රියා කිරීමට පටන් ගන්නා නිසා මිශ්‍රණය වැඩි වේලා එළියේ තැබීම සුදුසු නැත.
* අවන් එකට කේක් එක දැමීමට පෙර අවන් එක සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් preheat කර ගත යුතුයි.
* මැද තට්ටුවේ, කේක් එක දමා (ගෑස් අවන් එකක නම් යටින් උෂ්ණත්වයද,විදුලියෙන් ක්‍රියාත්මක වන උඳුනක නම් උඩින් සහ යටින් දෙකේම උෂ්ණත්වය දෙන්න.
160-170 සෙල්සියස් අංශක අතර පාවිච්චි කරන විට තමන්ගේ අවන් එකේ උෂ්ණත්වය පිළිබඳ අවබෝධයක් ලැබේවි.
* අවන් එකට දමා විනාඩි 30 ක් යනතුරු අවන් එකේ දොර අරින්න එපා.
කලින් ඇරියහොත් සිසිල් වාතය ගමන් කර කේක් එකේ මැද බහින්න බලයි.
*ගන්නා අමුද්‍රව්‍ය නිසි ප්‍රමිතියෙන් තිබිය යුතුයි. කලින් පාවිච්චි කළ බේකිං පවුඩර් සුළං නොවදින සේ අසුරා තැබිය යුතුයි.
* කේක් එක බේක් වූ විට අවන් එක තුළ තබන්න එපා. එවිට ට්‍රේ එකේ රස්නයට කේක් එක තවත් තද වෙන්න බලනවා.
එළියට ෙගන ටික වේලාවකට පසුව කූලිං ට්‍රේ එකට දමන්න.
* එළියට ගත් විගස කූලිං ට්‍රේ එකට දැමිය යුතුයි කියලා සිතන්න එපා. මෙලෙක් නිසා කේක් එක කැඩෙන්න බලයි.
* මේ සියල්ල අනුගමනය කර බලන්න. මින්පසුව නිවැරදිව කේක් එකක් හදාගන්න පුළුවන් වේවි.
උපදෙස්
ප්‍රවීණ සූපවේදී
සර්වදර්ශනී අප්සරා