දෑත් වියළෙන්නේ ඇයි?

සැප්තැම්බර් 11, 2019

 

ප්‍රශ්නය- මා 38 හැවිරිදි දෙදරු මවක්. මගේ දෑත් අධිකව වියැළෙයි. මෙසේ වෙන්නේ ඇයි? එයට පිළියමක් තිබේ ද?

මීගමුව - දර්ශා

 

මුහුණ වගේම දෑත් ලස්සනට තියෙන්න අවශ්‍ය වෙනවා. මොකද මුහුණ වගේම අත් දෙකත් අන් අයට පෙනෙන නිසා. නොසැලකිල්ල නිසාම දැත් ඇතැම්විට වියපත් පෙනුමක් අරගෙන ඇති.

 

දැත් වියළීමට මූලික ලෙසම බලපාන දෙයක් වන්නේ නිතර නිතර දෑත් සේදීමයි. ඒ වගේම ඇඳුම් සෝදන විට භාවිත කරන රසායනික ද්‍රව්‍ය. මේ නිසා දෑත් වියළි වී සම රැලි වැටෙනවා.

 

මෙයට තියෙන හොඳම විසදුම තමයි මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම. මේ සඳහා තරමක් උකු ගතියෙන් වැඩි එකක් යොදා ගන්න. එවිට එය සම මත රැඳෙන වේලාව වැඩියි. සෑම දැත් සේදීමකට පසුව මේ ක්‍රීම් ගල්වන්න.

 

දෑත් හිරු එළියට නිරාවරණය වීමත් දෑතෙහි සම වියළීමට හේතුවක් වනවා. ඒ සඳහා හිරු කිරණින් ආරක්ෂාවන ක්‍රීම් වර්ගයක් ගල්වන්න.

 

ඒ වගේම රාත්‍රී නින්දට යන විට විටමින් ඒ සහිත ක්‍රීම් වර්ගයක් දෑත්වල ආලේපකර නින්දට යන්න. සතියකට දෙවරක් දෑත්වල කෝමාරිකා ආලේප කරන්න. ඔබේ දෑත්වලට තරුණ පෙනුමක් ලබාගන්න මේ උපදෙස් පිළිපදින්න.

2019/09/11 තරුණි බලන්න

 

උපදෙස්  
ප්‍රවීණ  රූපලාවණ්‍ය ශිල්පිනී  මනෝරි  ජයවීර