මෙනිකියු පෙඩිකියු ගැන A to Z

ජුනි 24, 2024

මෙනිකියු සහ පෙඩිකියු ලෙස හඳුන්වන්නේ රූපලාවණ්‍යාගාරයකදී රූපලාවණ්‍ය ශිල්පියකු විසින් දෙඅත් සහ දෙපා සඳහා කරනු ලබන විශේෂ ප්‍රතිකාර ක්‍රමයකි.

නියපොත්තේ වැඩීම සාමාන්‍යයෙන් මසකට සෙන්ටිමීටර් 0.3 ක් පමණ වේ. නියපොතු වර්ධනය වීම කෙරෙහි පෝෂණය හා සෞඛ්‍යසම්පන්න බව බලපායි. මේ අනුව එකිනෙකාගේ නියපොතුවල ඝනකම හා වැඩිමේ වේගය වෙනස් වේ. සාමාන්‍යයෙන් අතේ නියපොතුවල වර්ධන වේගය කකුලේ නියපොතුවල වර්ධන වේගයට වඩා දෙගුණයක් වැඩිය.

මන්දපෝෂණයෙන් පෙළෙන්නන්ගේ නියපොතු වැඩීම බාලවන අතර නිතර නිතර නිදි වරන අයගේද නියපොතු වැඩීම බාලවීම හා නියපොතු කැඩීමට ලක්වේ. මහලු අයට සාපේක්ෂව තරුණ අයගේ නියපොතු වර්ධන වේගය වේගවත්ය. නියපොත්ත සෑදී ඇත්තේ කෙරටින් නමැති ප්‍රෝටීනයෙනි. නියපොත්ත නිෂ්පාදනයවන ස්ථානය මෙටරික්ස් නමින් හැඳින්වේ.

නියපොත්තක කොටස්

නේල් බෙඩ්(Nail bed)/ නියතලය(Nail plate)

නියපොත්තේ පෙනෙන උඩ කොටස නියතලය ලෙසත් එය සමට සවිවන මාංශල කොටස නේල් බෙඩ් ලෙසත් හඳුන්වයි. නියපොත්තේ උඩ කොටස වන නියතලය අවර්ණවන අතර අපට රෝස පැහැයෙන් පෙනෙන්නේ ඊට යටින් ඇති රුධිර නාළිකාවල පැහැය වේ.

නියසඳ (Nail moon)

නියපොත්තේ මුල ඇති අඩ සඳවන් කොටසයි. නිය සඳ සෑදී ඇත්තේ එම ස්ථානයේ ඇතිවන අවකාශයක පිහිටීම නිසායි. එම නිසා එම ස්ථානය සුදු පැහැයක් ගනියි. නියපොත්තේ හැඩය හා ස්වාභාවික පැහැය පරීක්ෂාකර කෙනකුගේ නීරෝගි බව හා සෞඛ්‍යසම්පන්න බව මැනගත හැකියි.

කියූටිකල් (Cuticle)

නිය සඳට පහළින් නිය වටේට ඇති සුදු පැහැති ඝනකම සම කොටසයි. මේ මඟින් නියපොත්ත උඩ සමට සම්බන්ධවන අත් සම්බන්ධ කරන අතර නියපොත්තට ආරක්ෂාව සපයයි. ඇතුළතට විෂබීජ යාම වළක්වයි.

නිය බිත්තිය(Nail Fold, Nail Wall) නියපොත්ත දෙපස ඇති සම කොටසයි. මේ මඟින් නියපොත්ත දෙපසින් සමට සම්බන්ධ වී නියපොත්තට ආරක්ෂාව සපයයි. සමහර චර්යාවන් නිසා නිය බිත්ති කැඩෙන්නට වියළෙන්නට පළුදු වන්නට හැකි අතර එය ආරක්ෂා කරගත යුතුයි.

නිදහස් අග්‍රය(Free edge if nail)

මෙය සමට සම්බන්ධ නැති කොටසයි. එය අවශ්‍ය පරිදි හැඩකර ගත හැකියි. මෙමඟින් නියපොත්තට ආරක්ෂාව ලබා දෙන අතර නිය කැපීම යම් යම් දේවල් සීරීම සඳහා නියපොත්ත භාවිත කිරීම නිසාද ‍ෙමයට හානි වේ.

මෙනිකියු පෙඩිකියු කරන තැන පිළියෙල කිරීම

* මේසය විෂබීජනාශක දමා පිරිසුදු කරගැනීම

* ඒ මත පිරිසුදු තුවායක් එළීම

* තවත් තුවා දෙකක් සූදානම්කර ගැනීම

* භාජනයකට විෂබීජනාශක වර්ගයක් දිය කරන ලද මඳ උණුසුම් වතුර සූදානම්කර ගැනීම

* තවත් භාජනයකට පිරිසුදු උණු වතුර ලබා ගැනීම

* මෙනිකියු සෙට් එක සූදානම්කර ගැනීම

* කියුටෙක්ස් රිමූවර් ගැනීම

* හයිඩ්‍රජන්පෙරොක්සයිඩ් ගැනීම

* කියුටිකල් ක්‍රීම් ගැනීම

* නේල් වයිට්නර් පැන්සලක් ගැනීම

* මූලික ආලේපන(Base code), නිය ආලේපන(cutex), අවසන් ආලේපන(Top code) ගැනීම

* පුළුන් බෝල සකසා ගැනීම

* විදුලි නියපොතු වියළනය සූදානම්කර ගැනීම

* පහසුවෙන් ගත හැකි පරිදි උපකරණ අත මානයේ තබා ගැනීම

සේවාදායකයා සූදානම් කිරීම

* සේවාදායකයා මේසය අසල සුවපහසු ලෙස අසුන් ගැන්වීම

* සේවාදායකයාගේ ඇඳුමේ අත දිග නම් පොඩි නොවන ලෙස ඉහළට නවන්න

* සේවාදායකයාගේ වළලු, මුදු, ඔරලෝසු ගලවා ප්‍රවේශමෙන් තබන්න

* සේවාදායකයා සමඟ සාකච්ඡාකර අවශ්‍යතාව හොඳින් අවබෝධකර ගැනීම