හැමදාම එකම කිරිබත් කාලා එපා වෙලා ද?

අප්‍රේල් 1, 2024

මෙන්න තරුණී වෙතින් පමණක් පිදෙන පාරම්පරික කිරිබත් පෙළ හැමදාම එකම කිරිබත් කාලා එපා වෙලා ද? මෙදා සිංහල අවුරුද්දට තරුණී ඔබ වෙනුවෙන්ම පර්යේෂණාත්මක කිරිබත් කිහිපයක් අපි තිළිණ කරන්නෙමු.

කිරිබත් කියන්නෙ සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයක්. අවුරුද්ද පුරාවට නිදුක් නිරෝගීව ඉන්න මෙන්න මේ විදිහට කිරිබත් පිසගන්න.

*කිරෙන් (බොහෝවිට පොල් කිරෙන්) සැදූ බත් නිසා කිරිබත් යනුවෙන් හඳුන්වන මෙම ආහාරය සිංහල අලුත් අවුරුද්ද හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට, එකම ක්‍රමයට පිස, එකම වේලාවට අනුභව කරනා එකම ආහාරයයි. ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ මෙය ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැදුර දක්වා හැම නි‍ෙවසකම කැවුම්, කිරිබත්, අලුවා පිරි අලුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදාහදාගෙන භුක්ති විඳීමත් සිංහල සිරිතයි.

පෙරදිග සංස්කෘතියට අනුව මංගල්‍ය කටයුතුවලදීත්, අලුත් අවුරුදු උත්සවයේදීත්, උපන් දිනයකදීත්, ගෙට ගෙවදීමේදීත්, නිවෙසක අත්තිවාරම කැපීමේදීත්, සුබ කටයුත්තක් සඳහා පිටත්ව යෑමේදීත්, ගැහැනු දරුවන් වැඩිවියට පැමිණීමේදීත් ආදී සංස්කෘතිමය වටිනාකමක් ඇති සෑම අවස්ථාවකදීම පාහේ සෞභාග්‍යය ළඟාකර ගැනීමේ අරමුණින් කිරිබත් සාදනු ලබයි.

පොල් කිරි සමඟ පිස ගන්නා සහල්, කෙසෙල් කොළයකට වඩා කැබලි කපාගෙන මේසයට යවන මෙම ආහාරය සියලු සුබ කටයුතුවල දී පිස ගැනීමට සිංහලයා පුරුදු වී සිටිති. ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම ආහාරයේ ප්‍රභේද වේ.

කිරිබත් වර්ගය අනුව එය වෙනස් විය හැකි නමුත් සෑම කිරිබතකටම පාහේ සුදු හෝ රතු කැකුළු සහල්, එළකිරි හෝ පොල් කිරි, ලුණු, එනසාල් භාවිත කරනු ලබන අතර පෝෂණ ගුණයෙන් හා ඔෟෂධීය ගුණයෙන් කිරිබතේ ගුණ වැඩිකර ගැනීමට කිරිබතට ගිතෙල් මිශ්‍ර කිරීම ද අතීතයේ සිටම සිදුකරනු ලබයි. මෙය හෙළ වෙදකමේ මෙන්ම ආයුර්වේදයේ ද පැහැදිලිව සඳහන්කර තිබේ. එම නිසා අප මුතුන් මිත්තෝ සෑම කිරිබතකටම ගිතෙල් මිශ්‍ර කළහ.

ගිතෙල් මිශ්‍ර කිරිබත්වල ධාරණ ශක්තිය වැඩීමේ ගුණයෙන් යුතු අතර ශරීර ශක්තිය ද වර්ධනය කිරීමේ හැකියාව පවති.

ඇස් පෙනීම වර්ධනය කළ හැකිය.

අලසකම දුරුකර ක්‍රියාශීලී බව ද ඇති කරයි.

කිරිබත් ආහාරයට ගත් සැණින් ස්වල්ප වේලාවකින් නිදි මතක් දැනීම සාමාන්‍ය දෙයකි. එය ශරීරයට ජීර්ණය වූ පසු එම තත්ත්වය මඟහැරී ශක්තිමත් බවක් ඇති වෙයි. විශේෂයෙන් කය වෙහෙසවා කුඹුරු වැඩ කිරීමේදී උදෑසන ආහාරය ලෙස කිරිබත් ලබා ගැනීම අතීතයේ සිට අද දක්වාම සිදුවන කාර්යයකි. ඔෟෂධීය ගුණයකින් යුත් කිරිබත් වර්ග ගණනාවකි. එම කිරිබත් වර්ග කිහිපයක් නිවැරැදිව ඔෟෂධ ගුණ රැකෙන පරිදි සාදා ගන්නා ආකාරය පහත දැක්වේ.

--------------------------

සහල් කිරිබත්

*බොහෝ නිවෙස්වල ඉතාමත් බහුලව මෙම සහල් කිරිබත සාදනු ලබන අතර සෑම කෙනෙක්ම පාහේ මෙය ආහාරයට ගැනීමට ඉතාමත්ම ප්‍රිය කරයි.

 

• රතු හෝ සුදු කැකුළු සහල්

• පොල් කිරි හෝ එළකිරි

• අවශ්‍ය ප්‍රමාණයට ලුණු

 

*සාදන ආකාරය

සෝදාගත් සහල්වලට අවශ්‍ය ප්‍රමාණයට වතුර තබා, ලුණු අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රකර ළිප තබා බත පිස ගන්න. පසුව කිරි එකතුකර ගන්න. බතේ ගුණාත්මක බව හා ගුණය වැඩිකර ගැනීමට ගිතෙල් හැඳි 3ක්, එනසාල්, වියළි මිදි එකතුකර ළිපෙන් බා කෙසෙල් කොළයක් මත තුනීකර නිවුණු පසු කෑලි කපාගන්න.

 

-------------------------------------

නිල් කිරිබත්

 

අවශ්‍ය දේවල්

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

පොල් කිරි මිලිමීටර් 500 ක්

අවශ්‍ය පමණ වතුර

ලුණු ස්වල්පයක්

නිල් කටරොළු මල් 15 ක් පමණ

 

සාදන ආකාරය

මුලින්ම කටරොළු මල් ටික හාල් තැම්බෙන්න තරම් අවශ්‍ය උණු වතුරට දමා තැම්බෙන්න හරින්න. විනාඩි 15 ක් පමණ යන විට මල්වල සියලුම පැහැය ජලයට එකතු වී තිබේ. දැන් හාල් ටික හොඳින් සෝදා අප සකසා ගත් කටරොළු මල් ජලය (මල් පෙරා ඉවත්කර ගත යුතුයි.) හාල් එකට දමන්න. ලුණු ස්වල්පයක් ද එකතුකර හාල් ටික තම්බා ගත යුතුයි. වතුර හිඳී හාල් තැම්බුණු පසු පොල් කිරි එකතුකර කිරිබත පිස ගන්න. දැන් එය කැමැති නම් කැට කපාගන්න. ඔබට කැමැති හැඩයකට සකසා පිළිගන්වන්න.

--------------------------------

වෙද කිරිබත

 

දේශීය වෛද්‍ය ක්‍රමයට සකසන ඔෟෂධීය කිරිබතකි. ඔෟෂධීය ගුණයෙන් පරිපූර්ණ, ශක්තිය වඩවන, නිරෝගී බව ඇති කරන අතීතයේ සිටම හෙළ වෙදැදුරන් භාවිත කළ වටිනා ආහාරයක් මෙන්ම ඔෟෂධයක් ලෙස ද සඳහන් කළ හැකිය. මෙය වෙද කිරිබත ලෙස හඳුන්වා දිය හැකිය.

 

අවශ්‍ය දේ

• රතු කැකුළු සහල්

• බැදගත් කජු

• වියළි මිදි

• එළකිරි හෝ පොල් කිරි

• එනසාල්

• අවශ්‍ය ප්‍රමාණයට ලුණු

• ගිතෙල්

• රම්පෙ

• කරපිංචා

• රතු ලූනු

• හීනියට ලියා ගත් ගොටුකොළ

• සුදු ලූනු

• සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ

• උක් හකුරු (කුඩා කැබැලිවලට කපා ගත්)

• පැය 4ක් පමණ ජලයේ පොඟවා භාගෙට තම්බා ගත් මුං ඇට සහල්වල බර මෙන් 1/4ක් අවශ්‍ය ද්‍රව්‍ය වෙයි.

 

සාදන ආකාරය

 

*සහල් සෝදා සියලු ඔෟෂධීය කොළ, රතු ලූනු අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ලුණු, රම්පෙ, කරපිංචා, සුදු ලූනු ද, භාගෙට තම්බා ගත් මුං ඇට ද එකතුකර සාමාන්‍ය ආකාරයට බත සකස්කර එයට කිරි, වියළි මිදි, එනසාල්, බැදගත් කජු, ගිතෙල් හැඳි 3ක්, හකුරු එකතුකර විනාඩි කිහිපයකට පසු ළිපෙන් බා කෙසෙල් කොළයක් මත අතුරා යහමින් සවිවූ පසු කැබැලිකර ආහාරයට ගත හැකිය.

 

*සාමාන්‍ය කිරිබතට වඩා මෙම වෙද කිරිබත විශේෂ වන්නේ එහි ඇති ඔෟෂධීය ගුණය නිසා රෝග නිවාරණය කිරීමේ හැකියාව මෙන්ම ශරීර ශක්තිය වර්ධනය කර ධාරණ ශක්තිය ද වර්ධනයකර, ශරීරයේ ඇති දුබලතා මඟහැර, පුරුෂයන්ගේ ධාතු ශක්තිය ද වර්ධනය කරන බැවිනි. කාන්තාවන්ගේ ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ද මෙම වෙද කිරිබත සතුව පවතියි.

 

*පොදුවේ ගත් කල කිරිබත සිසිලස ගුණයෙන් යුක්ත නිසා පිත නසන, සෙම වඩන ආහාරයක් වන බැවින් කිරිබත් අනුභව කිරීමේදී අධික සෙම් සහිත රෝගීන් සැලකිලිමත් විය යුතුය.

----------------------------

ගිතෙල් කිරිබත්

 

*මුං කිරිබත් යනු මුං ඇට මිශ්‍රකර සාදා ගනු ලබන කිරිබත්ය. එය අධික සිසිලස ගුණයෙන් යුක්ත වන අතර ශරීරයේ දාහය නිවන, ඇඟ සිසිල් කරන ගුණයෙන් යුක්ත නිසා අම්ල පිත, අර්ශස්, මල බද්ධය, ඇඟ දැවිල්ල රෝගවලින් පෙළෙන අයට ඉතාමත් ගුණදායී ආහාරයකි.

මෙම කිරිබත එළකිරි මිශ්‍රව සාදා ගන්නේ නම් සෙංගමාල රෝගීන්ට රෝගය සුව වීමත් සමඟම ශක්තිය වඩවන ආහාරයක් ලෙස ද ලබා දිය හැකියි. මෙතනදී ලුණු අවමව භාවිත කළ යුතුයි).

 

අවශ්‍ය දේවල්

•රතු හෝ සුදු කැකුළු හාල් අවශ්‍ය ප්‍රමාණයට

•කැකුළු හාල් බර මෙන් භාගයක් මුං ඇට

•වතුර

•පොල් කිරි හෝ එළකිරි

•අවශ්‍ය ප්‍රමාණයට ලුණු

 

සාදන ආකාරය

 

මුං ඇට ටික හොඳින් සෝදා පැය 4ක පමණ කාලයක් පෙඟෙන්න හැර භාගෙට පමණ තම්බා ගන්න. පසුව සහල් සෝදා එයට එකතුකර ප්‍රමාණවත් පරිදි වතුර තිබේදැයි බලන්න. එසේ නොමැති නම් උණු වතුර ප්‍රමාණවත් පරිදි එකතුකර කිරි ද එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එකතු කරන්න. එසේ එකතු කරගත් පසු මඳ ගින්නේ තැම්බීමට ඉඩ හැර හොඳින් තැම්බුණු පසුව ළිපෙන් බා ගිතෙල් හැඳි 2ක් හෝ 3ක් (සහල් කිලෝ 1කට ගිතෙල් හැඳි 3) එකතු කරන්න. පසුව හැඳි මිටෙන් කලවම්කර කෙසෙල් කොළයක් මත අතුරා පසුව කෑලි කපා ගන්න. මෙම මුං කිරිබත් තවත් රසවත් කරගැනීමට අවශ්‍ය නම් ගිතෙල් දැමීමට ප්‍රථම එනසාල්, වියළි මිදි එකතු කරගන්න.

 

මේ විදිහටත් හදන්න පුළුවනි.

අවශ්‍ය දේවල්

 

*කැකුළු සහල් වර්ගයක් අවශ්‍ය පමණට

*රැයක් පෙඟෙන්න දැමූ මුං ඇට ටිකක්

*උකු පොල්කිරි

*ලුණු ටිකක්.

 

සාදන ආකාරය.

 

මුලින්ම කිරිබත් උයන මුට්ටියට වතුර දාලා මුං ඇට තම්බන්න. භාගෙට තැම්බුණහම වැඩි වතුර ඉවත් කරලා සෝදා ගත් කැකුළු සහල් සහ නැවත වතුර දමා ළිපේ තියන්න.

 

වැඩි ප්‍රමාණයක් වතුර දමන්න බත බෙරිවෙන්න.

උකු පොල් කිරි අවශ්‍ය පමණ ගෙන එයට, කිරිබතට ප්‍රමාණවත් පරිදි ලුණු ද එකතු කරන්න. පරිස්සමට බත බෙරි වූ පසුව පොල්කිරි එකතු කරන්න.

 

හොඳින් කලවම්කර ගින්දර අඩු කරන්න. මඳක් කිරි හිඳුණ පසුව නෑඹිලිය ඉවත්කර තබන්න. සැරින් සැරේ බත කලවම්කර කිරි හිඳුණ පසුව ළිපෙන් බාලා කෙසෙල් කොළයක තුනීකර හොඳින් නිවුණු පසු කෑලි කපාගන්න. ආහාරයට ගෙන ඉතිරි වූ කිරිබත් කැබැලි බත පිසූ මුට්ටියටම දමා පසුව ආහාරයට ගන්න.

 

------------------------------

කොල්ලු කිරිබත්

 

ඉතාමත් ගුණ පණ දෙන ආහාරයකි. කිරිබතේ ගුණත් කොල්ලුවල ගුණත් දෙකම ලැබේ.විශේෂයෙන්ම වකුගඩු රෝග, මූත්‍රා රෝග, පිළිකා තත්ත්ව, ගු දය තුළ ඇති රෝග, මළබද්ධය ආදියට ගුණ දෙයි, කොල්ලු වනාහි ඇට වර්ගවලින් ඉතාමත් ගුණදායක ඇට වර්ගයකි.

 

*අවශ්‍ය දේවල්

 

• රතු හෝ සුදු කැකුළු සහල්

• කොල්ලු

• පොල්කිරි හෝ එළකිරි

• අවශ්‍ය ප්‍රමාණයට ලුණු

 

සාදන ආකාරය.

කොල්ලු පෙඟෙන්න දමා ලුණු පොඩ්ඩක් දමා තැම්බෙන්න තියන්න. භාගෙට තැම්බීගෙන එනකොට ඒකටම හාල් දමා වතුර දමා ලුණු දමා තැම්බෙන්න තියන්න. තැම්බුණාට පස්සෙ හොඳට කිරි දමා ගන්න.

 

--------------------------------

පැණි කිරිබත්

ඉඹුල් කිරිබත් සාදන ආකාර දෙක තුනක්ම තියනවා. මැදට පැණි පොල් දාලා හදන විදිය. "සීනි සම්බල්" මැදට දාලා හදන ඉඹුල් කිරිබතුත් ඇත.

 

මුලින්ම භාජනයක් ළිපේ තියලා ඒකට සීනි අවශ්‍ය ප්‍රමාණයට දාලා මඳ ගින්නේ පැණි එනකන් උණු කරනවා. දැන් පොල් එකතු කරලා මඳ ගින්නේ ඒ ටික මලවාගන්නවා. එනසාල් ඇටයක්, කරාබු නැට්ටක් තළලා දාලා මිශ්‍රණය උකුවුණාම වියළිි කජු, බැදපු තල ඇට වගේම කුඩුකර ගත් හකුරු කෑලි එකතුකරලා රස වැඩිකර ගන්නවා. දැන් කිරිබත මඳ උණුවෙන් අරන් කොළපතක් නැත්තම් "ලන්ච් ෂීට්" එකක් හරි රැගෙන ඒකේ කිරිබත් හැන්දක් දාලා තුනීකරලා මැදට පැණි පොල් මිශ්‍රණය ටිකක් දාලා දෙපැත්තෙන් අඹරනවා. හරියට ටොෆි කොළවල ටොෆි ඔතනවා වගේ. තදට ඔතලා දිග ඇරිහම ඉඹුල් කිරිබත් හැදෙනවා. කිරිබත නිවෙන්න කලින් මේ වැඩේ කරගන්න වෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පැණි පොල් සඳහා,

පොල්

සීනි

කරඳමුංගු ඇට

වතුර

 

සාදන ආකාරය

 

• සීනි තේ හැඳි 4ක් විතර උණු වෙන්න තබා රන්වන් පාට වීගෙන එන විට, වතුර එක්කර මිශ්‍රකර ගෙන ඉතිරි වතුර ටික ද එක්කර පැණි පදමට සාදාගන්න. එයටම පොල් ටික, ලුණු සහ කරඳමුංගු එක් කර පොල් ටික මැලවෙන තුරු ළිපේ තියාගන්න. කිරිබත් ටික උයාගෙන චුට්ටක් නිවෙන්න අරින්න. කොළපතක් කපා සකස් කරගෙන එයට කිරිබත්, පොල් කටු හැන්දකින් හැන්දක් දමා තුනී කර සාදාගත් පැණි පොල් ටිකක් මැදට තබා දෙපැත්තෙන් ඔතාගන්න. කිරිබත් බෝලයක් වගේ හැදෙන්න. එහෙමත් නැත්නම් කෝප්පයක් ගෙන එහි යටට කිරිබත් ටිකක් දමා තද කරන්න. එයට උඩින් පැණි පොල් දමා තද කර නැවත කිරිබත් ටිකක් දමාගන්න. පෙර පරිදිම හොඳින් තද කර අනිත් පැත්ත හරවා ගන්න.

 

උපදෙස් - සූපවේදී අසංක කුමාර විමලරත්න