හැඩේ අනුව හැඩ නොකළොත් ලෙඩේ තමයි

ජුනි 17, 2024

මේක් අප්වලින් මුහුණට අත්‍යලංකාරයක් එකතු වෙයි. මුහුණේ ස්වාභාවික පිහිටීම් වලට මුල්තැන දෙමින් මේක් කප් කිරීමට රූපලාවණ්‍ය ශිල්පියකු දක්ෂ විය යුතුයි.

මුහුණේ විවිධ හැඩ අනුව මේක් අප් කිරීම

මේක් අප් කිරීමේදී සෑම විටම සේවා දායකයාගේ මුහුණේ හැඩය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. යොදා ගන්නා ෆවුන්ඩේෂන් වර්ගය, මුහුණේ හැඩය, සමේ ස්වභාවය ගැන මනා අවබෝධයක් තිබීම වැදගත් වේ. මුහුණ එක් පිළිගත් හැඩයකට වඩා විවිධ හැඩ පෙන්නුම් කරයි නම් සමීපම හැඩය අනුව වර්ණ ගැන්විය යුතුයි.

 

මුහුණේ හැඩ

* ඕවල් හැඩය(Oval Shape)

* දික් හැඩය(Long Shape)

* රවුම් හැඩය(Round Shape)

* කොටු හැඩය(Square Shape)

* යූ හැඩය(U Shape)

* ත්‍රිකෝණ හැඩය(Triangle Shape)

* දියමන්ති හැඩය(Diamond Shape)

* හදවත් හැඩය(Heart Shape)

 

ඕවල් හැඩය (Oval Shape)

සේවාදායකයාට ඉදිරිය බැලීමට උපදෙස් දී ඇසේ කළු බෝලයේ පහළ සිට හණු ඇටය දිගේ ඉහළට බ්‍රෂ් එක ආධාරයෙන් බ්ලෂර් තැවරීම හරහා ඕවල් හැඩය තීව්‍ර ලෙස ඉස්මතු කරගත හැකි වේ.

 

දිගැටි හැඩය (Long Shape)

සේවා දායකයාගේ මුහුණේ දිගටි බව අඩුකර පෙන්වීමට අවශ්‍ය ආකාරයට බ්ලෂර් යොදාගත යුතුය. මෙම හැඩය අනුව බ්ලෂර් යොදා ගැනීමෙන් පසුව මුහුණේ දිගටි බව අඩුවෙන් පෙන්විය යුතුවේ. වැඩිපුර ආලේපන ගැල්වීම සුදුසු නොවේ.

 

රවුම් හැඩය (Round Shape)

මූලික මේක් අප් ක්‍රම මඟින් මේක් අප් එක යොදා ගන්නා නමුත් කම්මුල මහත ස්ථානය බ්ලෂර් මඟින් අඳුරුකර ඕවල් හැඩයට මුහුණ හැඩ ගැන්විය යුතුය. ඇස් මට්ටමේ සිට නිකට දක්වා බ්ලෂර් ආලේප කරන්න.

 

හතරැස් හැඩය(Squar Shape)

සේවා දායකයාගේ මුහුණේ හැඩය අනුව කම්මුල්වල පළල් කොටසේ බ්ලෂර් තවරා ඕවල් හැඩයට සකස්කර ගත යුතුය. සේවා දායකයාගේ ඇස් මට්ටමේ සිට කම්මුල දෙපැත්තේ පහළ දක්වා බ්ලෂර් ආලේප කරන්න.

 

යූ හැඩය (U Shape)

මෙම හැඩයට අවශ්‍ය වන්නේ මුහුණේ දිගටි බව අඩුකර පෙන්වීමයි. වයසට යාමේදී බොහෝ විට මෙම හැඩය බහුලව දැකිය හැකියි. ආලේපන සාමාන්‍ය ආකාරයෙන් සිදුකළ යුතුවෙයි.

 

ත්‍රිකෝණ හැඩය (Triangle Shape)

මෙහිදී මුහුණක හකු ප්‍රදේශය ඇතුළු පහළ කොටස උල් වී තිබේ. සමහර විට මුහුණේ යට කොටස පළල්ව තිබිය හැකියි. ඇස්වල හැඩය අනුව ළා වර්ණ භාවිත කළ යුතු අතර තොල් පළල්ව පිහිටියේ නම් තද වර්ණ ගැන්විය යුතුය. මුහුණේ පළල අඩුකර පෙන්වීමට බ්ලෂර් යොදා ගන්න.

 

හදවත් හැඩය (Heart Shape)

කම්මුල් දෙක මහත්ව නිකට උල් වී තිබීම හදවත් හැඩයේ විශේෂ ලක්ෂණයයි. අවශ්‍ය ආකාරයට බ්ලෂර් යොදා ගත් පසුව කම්මුල් දෙකේ මහත බව අඩුවීමටත් නිකටේ සිහින් බව අඩුවන ලෙසත් දිස්විය යුතුයි.

 

මේක්අප් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

* මේක් අප් කිරීමට පෙර ප්‍රීමියර් එකක් යොදා අනතුරුව ෆවුන්ඩේෂන් එකක් යෙදිය යුතුය.

* වේලාව, සහභාගිවන උත්සව අවස්ථාව, පාරිසරික සාධක පිළිබඳව මේක් අප් කරද්දි සැලකිලිමත් විය යුතු වෙයි.

* මේක් අප් කිරීමට සුදුසු වර්ණ තෝරාගත යුතුයි.

* මේක් අප් කිරීමේදී අවශ්‍ය ආලෝක තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි.

* රාත්‍රියේදී හෝ විදුලි එළියෙන් මේක් අප් කිරීමේදී වර්ණ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

* මේක් අප් කිරීමේදී බෙල්ලේ සිට අත් ආදී එළියට නිරාවරණයවන සිරුරේ සියලු අංගයන්හි වර්ණය මුහුණේ වර්ණය හා සමව ගැළපිය යුතුය.

* මේක් අප් කිරීමෙන් පසු අදාළ අවස්ථාව නිම වී පැමිණ සම පිරිසුදු කළ යුතුය.

 

මේක් අප් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

* පෑන් කේක්

* කන්සීලර්

* ෆවුන්ඩේෂන්

* කම්පැක්ට් පවුඩර්/ට්‍රාන්ස්ලූෂන් පවුඩර්

* Shimmer

* බ්ලෂර්

* අයි ලයිනර්

* අයි බ්‍රෝ පෙන්සිල්

* අයි ජෙල්/අයි ඩිෆයිනර්

* මස්කාරා

* අයි ෂැඩෝ

* ලිප් බාම්

* ලිප්ස්ටික්

* ලිප් ග්ලොස්

* ලිප් ලයිනර්

 

 

අවශ්‍ය සෙසු දෑ

* ස්පොන්ජ් වර්ග

* හෙඩ් බෑන්ඩ්

* වෝටර් ස්ප්‍රේ බොට්ල්

* මේක් අප් බොක්ස්

* මේක් අප් බ්‍රෂ්

* තොප්පියක්

* ඒප්‍රන් එකක්

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරළගේ