ත්‍රෙඩිං කළ පසු මුහුණේ බිබිලි

නොවැම්බර් 20, 2019

ප්‍රශ්නය

මගේ මුහුණේ අධිකව රෝම වැවෙයි. ඒ නිසා මසකට වරක් අනිවාර්යයෙන්ම මුළු මුහුණේම රෝම ඉවත් කරමි. එලෙස ත්‍රෙඩිං කළ විට මුහුණ පුරා බිබිලි මතු වෙයි. එම බිබිලි ඇතැම් විට සතියක් දෙකක් එලෙසම පවතී. එසේ වන්නේ ඇයි? ත්‍රෙඩිං නොකර මුහුණේ රෝම ඉවත් කිරීමට කුමක් කළ යුතු ද?

ගල්ගමුව - කල්පනී

පිළිතුර

මෙය බොහෝ තරුණියන්ට තිබෙන ප්‍රශ්නයකි. මේ නිසා මුහුණ අඳුරු පැහැයක් ගන්නා අතරම හරියට මේක් අප් එකක්වත් කරගන්න බැරිව යනවා. ඒ නිසා අනවශ්‍ය රෝම ඉවත් කිරීම අනිවාර්යය දෙයක් බවට පත්වී තිබේ.

ත්‍රෙඩිං, ටුයිසර්, වැක්ස් ආදි ක්‍රම මඟින් එලෙස අනවශ්‍ය රෝම ඉවත් කර ගත හැකියි. එහෙත් සාමාන්‍යයෙන් මුහුණේ රෝම ඉවත් කරගැනීමට යොදා ගන්නේ ත්‍රෙඩිං ක්‍රමයයි.

ත්‍රෙඩිං කිරීමේදී වේදනාවක් ගෙනදෙන අතරම, ත්‍රෙඩිං කිරීමෙන් පසුව මුහුණේ බිබිලි, තුවාල වැනි දෑ ඇතිවිය හැකියි. මේ නිසා ත්‍රෙඩිං කළ අවස්ථාවේදීම ටෝනර් හෝ කෝමාරිකා ජෙල් වැනි සිසිල් ආලේපනයක් ආලේප කළ යුතුයි. එවිට මුහුණේ බිබිලි ඇති වීමත් ඉදිමුමත් අඩු වෙයි.

 

ඒ වගේම ත්‍රෙඩිං කළ පසුව ඇතිවන ඉදිමුම් අඩුකර ගැනීමට අයිස් කැට තැබීම ද සුදුසුයි. එයින් වේදනාව පහව යයි.

නමුත් දැන් ත්‍රෙඩිං ක්‍රමයෙන් මුහුණේ රෝම ඉවත්කරනවාට වඩා ඒ වෙනුවට ෆේස් වැක්ස් භාවිතය වඩා සුදුසුයි. එමඟින් කිසිදු වේදනාවක් නොදැනෙන අතර බිබිලි තුවාල වැනි දේ ඇති නොවෙයි. එහිදී මුහුණේ වැක්ස් ක්‍රීම් එක ආලේප කර රෝම ඉවත් කරයි.

ස්ථිර ලෙසම රෝම ඉවත් කිරීමට නම් ලේසර් ප්‍රතිකාර කළ යුතුයි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි.

2019/11/20 තරුණි බලන්න