වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගත්ත තීරණ සැරින් සැරේ වෙනස් කරන්න එපා
සුන්දරත්වයට සීමා මායිම් නැහැ. ඒ නිසාම ඔබේ ලස්සන ඔබටම අනන්‍ය වූ දෙයක්. සීමා නොමැති ඔබේ මේ සුන්දරත්වය සමඟ ඔබේ ජීවිතය ලස්සන කරගන්න ගෙන එන අත්වැලයි මේ. අපි ජීවිතය ලස්සන කරගනිමු.
ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කරගනිමු. ඒ සඳහා මේ ආමන්ත්‍රණය ඔබට බෙහෙවින්ම උපකාර වේවි.
අප කතා කළේ හොඳ බිරියක් වීමේ ලක්ෂණයි. ඒ වගේම මනා පෞරුෂයක් ඇති අම්මලා ගෙන් බිහිවන දරුවන් රටකට වාසනාවක් කියලත් අපි කීවෙමු. එසේ නම් ඔබත් එවැනි මවක් ද? නොඑසේ නම් මේ කරුණු කියවා ආදර්ශයට ගෙන ඔබත් හොඳ පෞරුෂයක් ඇති මවක් වන්න. ජිවත්වීම කලාවක්. මේ කලාව අපි ටිකෙන් ටික ඉගෙන ගමු. ආසාවෙන් පටන් ගත්ත ජීවිතය අපි ලෙහෙසියෙන් අත්නොහැරිය යුතුයි. මේ ගමන සාර්ථකව යන්න පුළුවන් මාර්ග ඕනේ තරම් අපට මුණගැහෙනවා. එහෙම නම් අද අපි ගිය සතියේ නැවතූ තැනින් අරඹමු.
වැරැද්ද කොතැන ද?
විභාගවල ප්‍රතිඵල ආවහම දරුවන්ට වඩා බොරු කියන්නේ අම්මලා. මෙය මා අත්දැකීමෙන්ම දන්න දෙයක්. සමහර අම්මලා මට කියනවා කොහොමද මිනිසුන්ට කටක් ඇරලා අඥඵභතබඵ කියන්නේ ‘මේකා මේ ලෝකෙ දෙයක් කරලා නැහැනේ’ කියලා. ඉතින් කොහෙද වැරැද්ද? උදේ පාන්දර පාසලට ඇදගෙන යනවා. වාහනය ඇතුළෙමයි කවන්නේ. කන්නෙ මොනවද කියලවත් ළමයා දන්නෙ නැහැ. දවල්ට පන්ති, හවසට ක්‍රීඩා හෝ වෙනත් අමතර කටයුත්තක. රෑට ගෙදරට එන දරුවට මහන්සියි. පණ නෑ පාඩම් කරන්න, කරපු වැඩ නැවත මෙනෙහි කරන්න වෙලාවක් නැහැ. අම්මලා, තාත්තලා ගෙවල්වල නැතිනම් නොකා නොබී දරුවො නිදි. සෞඛ්‍යය පිරිහෙනවා. බුද්ධි මට්ටම පහළ බහිනවා. ඒ කිසිවක් සොයා නොබලා, අපි හැමදේම කළේ දරුවො වෙනුවෙන් කියලා ප්‍රතිඵල අඩු දරුවන්ව මරාගෙන කන්න හදනවා. ඔබම තමයි මේ දේට වගකියන්න ඕනේ. ඔවුන්ව යන්ත්‍ර බවට පත් කළේ ඔබමයි. ඔබට ළඟාවීමට නොහැකි වුණු ලෝකය දරුවා ලවා ළඟා කරගන්න විඩාබර උත්සාහයක හැම මවක්ම නිරත වෙන්නේ නොදැනුවත්වමයි.
හඳුනා ගන්න
රැල්ලට ගහගෙන යන පරඬැල් වගේ ඔබත් ඔහේ දුවනවා. දරුවට තමන්ට වඩා යහපත් ආර්ථික පසුබිමක් හදාදෙන්න, සාර්ථක ජීවිතයක් ගෙවන්න අවශ්‍ය භෞතික සම්පත් එකතු කරනවා. නමුත් සාරධර්ම, ගුණ ධර්ම ටික අමතක කරනවා. පොත්පත්, දැනුම, ආහාර බෙදා හදාගෙන යහළුවන් ඇසුරු කරන්න ඔබ කියලා දුන්නා ද? සංවේදී වන්න. වැඩිහිටියන්ට ගරු කරන්න, දුකේදී පිහිට වන්න, පරාර්ථකාමී වන්න. ඔබ දරුවාට පුරුදු කළා ද? ජයග්‍රහණය වගේම පරාජය බාරගන්න, වැටෙන විට තනිවම නැඟිටින්න දරුවාට කියලා දුන්න ද? විභාගයේ ලකුණු වැඩි වුණ දාට ආදරය කළා වගේ ලකුණු අඩු වුණ දවසෙත් ආදරය, කරුණාව දැක්වූවා ද? මේ දේවල් මුකුත් නොකළත් දරුවා අතින් සිදුවුණු වැරැද්දක් නොපිළිගෙන තම දරුවා නිවැරැදිකරුවෙක් බව කියන්න නම් ඔබ පමානොවී ඉදිරිපත් වෙලා ඇති. එහෙම නේද? මේ තමයි අපේ අත්තම්මගේ, අම්මාගේ ආදරය. මේ ආදරය තමයි අපේ අනාගත පරපුර වැරැදි මාවතට ගෙනියන්නේ. දරුවන් දක්ෂ මොනවාටද කියලා හඳුනා නොගත් මවුපියන් ඉන්නවා. ගුරුවරුත් ඉන්නවා. මේ දෙගොල්ලො අතර තැළෙන දරුවො ජීවිතේ යන්න ඕනේ මඟ සොයාගන්න බැරුව අතරමං වෙනවා.
අතීතයට යන්න
එහෙම අතරමං වුණ දරුවෙක් අද මවක් වෙලා මෙම ලිපිය කියවනවා වෙන්න පුළුවන්. ඔබත් අතීතයට ගිහින් බලන්න. ජිවිතයේ කොහේ හරි තැනක ඔබ මේ අත්දැකීම විඳ ඇති. මේ දේම තමයි අද ඔබ, ඔබේ දරුවාට කරන්නෙත්. ඔබ මඳක් කල්පනා කරලා බලන්න, ඔබට අවශ්‍ය දේ මොකක්ද කියලා. හොඳට හිතන්න, එක සැරයක් නෙමෙයි සිය සැරයක් සිතන්න. මා මේ ගෙවන ජීවිතයේ මා බලාපොරොත්තු වන්නේ මොනවා ද? මා මේ කරන දේවල් හරිද? මේ දේවල්වල ප්‍රතිඵල මොනවා ද? උඩුසිත ඔබට ගොඩාක් දේ කියයි. යටි සිත ඔබට තවත් දෙයක් කියයි. ඒ නිසයි මා ඔබට පැවසුවේ කිහිප සැරයක් හොඳින් සිතන්න කියලා. ඔබට දැනෙන දේ තමයි සත්‍යය. ඔබ වටපිටාවට වුවමනා විදිහට ජීවත් වෙනවා නම්, එයින් මිදෙන්න. ඔබ ඔබම වෙලා සතුටින් ජීවත් වෙන්න. ඔබ සතුටින් ඉන්නවා නම් පවුල තුළ, නිවෙස තුළ සතුට රැඳෙනවා. එවිට ඔබට නිවැරැදි තීන්දු තීරණ ගන්න පුළුවන් වෙනවා. හදවත වඩා බුද්ධියට මුල්තැන දීලා ඔබට තීරණ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව ඔබට වගකීම් දැරීමටත් සිදුවෙනවා. තීරණ ගන්නවා වගේම ඊට පස්සේ ඇතිවන තත්ත්වයන්ට මුහුණ දෙන්නත්, වගකීම භාරගන්නත් ඔබ තුළ ආත්ම ශක්තියක් ඇති කරගන්න. ගත්ත තීරණ සැරින් සැරේ වෙනස් කිරීමට නොයන්න. එසේ වුණොත් ඔබ වගකීම් බාරගත නොහැකි කාන්තාවක් ලෙස සැලකෙනවා.
ප්‍රතිරූපයක් දීලා
දියණියක්, බිරියක්, මවක්, අත්තම්මෙක් ලෙස ජීවිතයේ විවිධ භුමිකාවල නිරත වෙන කාන්තාවට සමාජය විසින් දීපු ප්රතිරූප තියෙනවා. දුවෙක් නම් ඉන්න ඕනේ මෙහෙමයි. බිරියක් මෙහෙමයි, ඔයා අම්මා කෙනෙක්, අම්මලා ඉන්න ඕනේ මෙහෙමයි. ඔයා අත්තම්මා. අත්තම්මා පන්සල් යන්න. මේ විදහට අපේ සමාජය කාන්තාවට හදපු රාමු තියෙනවා. එදත් අදත් ඉදිරියටත් මේ රාමු තුළ තමයි කාන්තාව දිවිගෙවන්නේ.
ඉදිරියට යන්න බාධක
රැකියාව කරන ස්ථානවලදීත් කාන්තාවට ඉදිරියට යෑමට තිබෙන මාර්ග අහුරලා තියෙන්නේ. ගෙදර ස්වාමියාම වැට බඳිනවා. ‘ඔය කරන රස්සාව ෂේප් එකේ කරගෙන ඉන්නව ද? විභාග පාස් කරගන්න දඟලන්නෙ මොකෝ ඔයා කම්පැනියේ අයිතිකාරයා වෙන්න ද?’ ඔන්න ගෙදරම බාධකය. තමන්ගේ උගත්කම, බුද්ධිය ගෙදරට සීමා වෙනවා නොදැනුවත්වම.
අවබෝධය වැදගත්
ලොවේ කිසිවකුට තමන් සිතන ආකාරයටම සිතන පුද්ගලයන් සමඟ ජීවත්වීමට අවස්ථා ලැබෙන්නේ නැත. නමුත් අපිට මිනිස් ඇසුරෙන් තොරව ජීවත්විය නොහැකියි. ඒ නිසා අපි එකිනෙකා පිළිබඳ යම් අවබෝධයක් අවශ්‍යයි. පුද්ගලයන් අපිට ක්ෂණිකව හඳුනාගන්න පුළුවන් වෙනවා. සමහර අවස්ථාවල, එවැනි පුද්ගලයන් සමඟ දීර්ඝ කාලිකව ඇසුරු කිරීමට නම් අප එකිනෙකාට අවධානය දිය යුතු වෙනවා. අනෙකා වෙනුවෙන් කාලය කැප කළ යුතු වෙනවා. එසේ නොවුණු තැන සංතාප, කලකිරීම, එපාවීම සිදුවෙනවා.
හොඳින් ජීවත් වන මිනිසකුට වුවද අභියෝගවලට මුහුණදීමට සිදුවෙනවා. අනපේක්ෂිතව මුහුණ දෙන ගැටලු හමුවේ අපි කාන්තාවන් හැටියට ධෛර්යයවන්ත වෙනවා නම් ඉන් අපගේ මනුෂ්‍යත්වය පිළිබිඹු වෙනවා. සාධාරණ, අසාධාරණකම් ඉදිරියේ බිඳවැටීම් සිදුවිය හැකියි. සමාජයේ ජීවත්වන පුරවැසියන් ලෙස සාධාරණය දැකීමත් අසාධාරණය පිටුදැකීමත් අප සිදුකරනවා. නමුත් ක්‍රියාත්මක වීමට අද අපට බැරිවෙලා තියෙනවා. තමන්ට ප්‍රශ්නයක් විය හැකි නිසා අප අසාධාරණකම් දැක්කත් නිශ්ශබ්දව ඉන්න පුරුදු වෙලා. එම නිසාම කාන්තාව සමාජය ඉදිරියේ අසරණ වෙන වෙලාවල්, අවස්ථාවන් වැඩියි.
උපදෙස්
දීප්ති පෙරේරා
රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා