වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කටරොලු මල් ඇත්නම් කෘත්‍රිම වර්ණක කුමටද?
* කටරොලු මල් වර්ණකය යෙදූ කිරිබත් තායිලන්තයේ ඉතා ජනපි‍්‍රයය. කේක් වර්ණවත් කිරීමට කටරොලු මල් වර්ණකය යොදා ගනියි.
* ළපටි කොළ පිස කෑමට ගත හැකියි.
* කටරොලු මල් තේ රස ගී්රන් ටී රසට සමානය.
* ළපටි කටරොලු කරල් එළවළුවක් ලෙස ආහාරයට ගනී.
* කුඩුකරගත් පැසුණු ඇට විරේචන බෙහෙතකි.
* මුල්වල ද විරේචන ගුණයක් පවතියි.
* සර්පයන් දෂ්ට කළ විට විස නාශකයක් ලෙස යොදාගනියි.
* මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක සෛලවලට වන හානිය අවම කර ගැනීමට, සුව නින්දක් ලබා ගැනීමට, එච්අයිවී වෛරසයට එරෙහිව ක්‍රියාකිරීමට හැකියාවක් තිබේ.
* කටරොලු මල්වල කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, යකඩ, මැංගනීස්,සෝඩියම් වගේම විටමින ගණනාවකින් පොහොසත්ය.
* ආමාශ තුවාල ඇති අයට මෙය ගුණදායකය. එමෙන්ම ආමාශ තුවාල වැළැක්වීමේ ගුණයක් ද මෙහි පවතියි.
නිල් කටරොලු මලක සුන්දරත්වය සීගිරි කැටපත් පවුරක ලියා තැබීමට තරම් අපේ ගැමියෝ රසවතුන් වූහ. එපමණක් නොව ආයුර්වේදයේ දක්වා ඇති ඔසු ගුණය මලෙහි සුන්දරත්වය පරදවයි. කටරොලු වැලේ මල්, කරල, මුල් මෙන්ම කොළ ද එකසේ ඔසු ගුණයෙන් යුතුය.
විශේෂයෙන් ආහාරවලට යොදන කෘත්‍රිම වර්ණකවල අහිතකර ප්‍රතිඵල ගැන කතා වෙන කාල වකවානුවක නිල් පැහැයෙන් දම් පැහැයෙන් යුතු කටරොලු මල් ගුණයක් ද එක් කරමින් වර්ණකයක් ලෙසින් යෙදිය හැකිය. මැලේසියාව, තායිලන්තය, පිලිපීනය, ඉන්දියාව වැනි රටවල කටරොලු වර්ණකයක් ලෙස ඉතා ජනපි‍්‍රයය.
කටරොලු ද අයත් රනිල කුලයටය. කටරොලු මල් පෙති සලා ද අලංකාර කිරීමට, අයිස් ක්‍රීම් හා සුප්වලට එක් කර ගැනීමට පුළුවන.
කටරොලු මල් තේවල ගුණය
ශ්‍රී ලාංකේය අපට කටරොලු තේ රස තරමක් නුහුරු නුපුරුදු දෙයක් වුව ද එහි ගුණය ගැන දන්නවා නම් දිනපතාම කටරොලු තේ එකක් රස බලනවා නිසැකය. තායිලන්තය, වියට්නාමය වැනි රටවල කටරොලු මල් තේ ඉතා ජනපි‍්‍රයය. දිනපතා ඔවුන් කටරොලු තේ පානය කරයි. ආපන ශාලාවල සහ හෝටල්වල අමුත්තන් පිළිගැනීමේදී දෙන පානයක් ලෙස ද මෙය අතිශයින් ජනපි‍්‍රයය. අවශ්‍ය නම් උණුුසුම්ව ද කැමැති නම් අයිස් කැට එක් කර හෝ මී පැණි සමඟද කටරොලු තේ රස බැලීමට පුළුවන. කටරොලු තේවලට දෙහි හෝ ආම්ලික යුෂ එක් කළ විට දම් පැහැයක් ලැබෙයි. වදමල් යුෂ එක් කළ විට දීප්තිමත් රතු පැහැයක් ලැබෙයි.
කටරොලු තේ කෝප්පයක රස බලන්නේ මෙහෙමයි.
නැවුම් හෝ වියළි කටරොලු මල් 10 ක් නටන උණු වතුර කෝප්පයකට දමා මිනිත්තු 15 ක් තබන්න. මල්වල පැහැය සම්පූර්ණයෙන්ම නැතිවී ගිය පසු ජලය පෙරා ගෙන මල් විසි කරන්න. සිසිල්වූ පසු පානය කරන්න. කැමැති නම් අයිස් කැට කිහිපයක් ද එක් කරගත හැකියි. නිල් කටරොලු තේ ඉතා ගුණදායකය.
* රුධිරයේ සීනි මටිටම අඩු කිරීමේ හැකියාවක් කටරොලු තේ වලට ඇත.
* ආතතිය, කාංසාව, විෂාදය, වලිප්පුව වැනි තත්ත්වයන්ට ගුණදායකය.
මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මධ්‍යම ස්නායු පද්ධතියට කරන යහපත් බලපෑම නිසා මෙසේ මානසික සුවතාවක් ලැබෙයි.
* හෘද රෝගවලට හේතුවන ට්‍රයිග්ලිසරයිඩ්, එල්ඩීඑල් කොලෙස්ටරෝල් හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි.
* පැරසිටමෝල් මෙන්ම උණ අඩු කිරීමේ හැකියාවක් ඇත.
* බර අඩුකර ගැනීමට උපකාරී වෙයි.
* ඇස්වල නීරෝගිතාව සුරකියි. දෘෂ්ටි විතානයට හානි වූ විට, ග්ලූකෝමා තත්ත්වයෙන් පීඩා විඳින විට, රූප බොඳවී පෙනෙන විට කටරොලු තේ ප්‍රතිකර්මයක් ලෙස යොදා ගනියි.
* වයස් කල්‍යාණය සුරකියි.
* අකලට හිසකෙස් සුදු වීම, තට්ටය පෑදීම අඩු කරයි.
* සම පැහැපත් කරයි.
* මොළය නීරෝගිතාව රැකගනියි. මතකය ඉහළ නංවයි.
* ප්‍රදාහයන් වළක්වයි. මෙහි ප්‍රදාහයන් වළක්වන ප්‍රතිඔක්සිකාරක හෙවත් ඇන්ටිඔක්සිඩන්ට් යහමින් අඩංගුය.
කටරොලු මල් මෙන්ම කොළ ද තම්බා පානය කිරීමට පුළුවන.
2020/02/05 තරුණි බලන්න