සුන්දර කෙස් කලඹකට ප්‍රතිකර්ම

පෙබරවාරි 27, 2023

 

බණ්ඩක්කා යනු හොඳ කෙරටීන් එකකි. කෙටි කෙස්කලඹක් සඳහා බණ්ඩක්කා කරල් 4-5ක් ද දිගු කෙස්කලඹක් සඳහා කරල් 10ක් පමණ ද ගන්න. මේ සඳහා ළපටි කරල් යොදා ගත යුතුයි.

සොඳුරු පෙනුමක් අපේක්ෂා කරන ඔබ අනිවාර්යයෙන් ම කෙස් කලඹ ගැන සිතිය යුතුමයි. ගැහැනු පිරිමි වෙනසක් නැතිවම තමාගේ හිසකෙස් ගැන උනන්දු වන්නේ ඒ නිසයි. නිරෝගී කෙස් කලඹක් හිමි කාන්තාවක සතු සුන්දරත්වය අන් ළඳුන් අතර කැපී පෙනෙන්නකි. එසේ වන්නේ මුහුණේ පෙනුම වෙනස් වීම සඳහා හිසකෙස් බලපාන බැවිනි.

හිසකෙස් විලාසිතා, හිසකෙස් ඇති නැති බව, රෝගී හිසකෙස් ඔබේ පෙනුම වෙනස් කිරීමට සමත්. ඒ නිසා අපි අද හිසකෙස් නිරෝගීව තබා ගන්නේ කෙසේදැයි දැනගනිමු.

ඇතැම් කාන්තාවන් සිතනුයේ හිසකෙස් දිගට තිබූ පමණින් ඉන් ලස්සනක් දිස්වන බවයි. නමුත් වැදගත් වන්නේ හිසකෙස්වල නිරෝගී බවයි, ඝනත්වයයි.

අකලට හිසකෙස් වැටීම බොහෝ දෙනකුට හිසකෙස් පිළිබඳ ඇති ගැටලුවකි. දිනකට කෙස්ගස් 50-60ක් ගැලවී යාම අධික ලෙස හිසකෙස් ගැලවී යාමක් නොවේ. එය සාමාන්‍ය තත්ත්වයකි. කෙස්ගසක ආයුකාලය නිමාවීමෙන් පසුව ඉබේම එම කෙස්ගස හිසෙන් ඉවත්වීම ස්වභාවයයි. එමනිසා එය සාමාන්‍ය තත්ත්වයකි. එසේ ඉවත්වන කෙස්ගස් වෙනුවට නැවත අලුත් කෙස්ගස් වැවීම සිදුවේ. නමුත් දිනකට කෙස්ගස් 50-60කට වඩා ගැලවී යන්නේ නම් එය අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාමකි.

අප හිසකෙස් සඳහා කුමන විලාසිතා සිදු කළත් කෙස්කලඹ නිරෝගීව තබා ගැනීමට කටයුතු කළ යුතුයි. නිසි සේ කෙස්කලඹ රැකබලා ගත යුතුයි. එමෙන්ම මේ කුමන විලාසිතාව වුවද සිදු කළ යුත්තේ ඒ පිිළිබඳ අවබෝධයෙනි.

හිසකෙස් ගැලවී යනවා නම් ඒ සඳහා අභ්‍යන්තරික හේතු ද බලපානු ලබයි. ඒ සඳහා පෝෂණය අඩු වීම, ගර්භණී වීම(නිසි පෝෂණය අඩුනම්), කිරිදෙන මවක් වීම, සිරුරේ ඌෂ්ණාධික බව, හිසකෙස් ස්ට්‍රේට් කිරීම, ෆර්මිං කිරීම, කලර් කිරීම, හිසකෙස් තදින් බැඳ සිදු කරන විලාසිතා, ලුණු අධික ආහාර වැඩියෙන් ගැනීම, කැල්සියම්, යකඩ ආදිය අඩුවීම, සෙම් අධික බව, නිදන්ගත රෝග, හිස්කබලේ අධික වියළි බව, කෝස්ටික් අඩංගු අධික සැර ෂැම්පු භාවිතය ආදිය ද හේතු වේ. ෂැම්පු භාවිතයේ දී සල්ෆේට් ෆී‍ර ෂැම්පු වර්ගයක් භාවිත කරන්න. එමෙන්ම හිසකෙස් රැකගැනීම සඳහා තෙල් සාත්තු කිරීම ද වැදගත්ය. නිවැරැදිව හිසකෙස් පීරීම(දැති ලොකු පනාවකින් පීරීම), හොඳින් ස්නානයකර පිරිසුදු වීම, නිවැරැදිව හිසකෙස් පිසදැමීම හිසකෙස් රැකගැනීමට හේතු වේ. දිගු කෙස්කලඹක අවුල් කැඩීමේදී ඇෆ්රොකොම් පනාවකින් පීරන්න.

හිසකෙස් පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නේ නම් හා ඇතිවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකර්ම සිදු කරන්නේ නම් හිසකෙස් යථා තත්ත්වයට පත් කළ හැකියි.

කතුරුමුරුංගා කොළ, කරපිංචා, ගොටු කොළ, කීකිරිඳිය, උළුහාල්, රතු ලූනු, සුදු ලූනු, පිරිසුදු පොල්තෙල්, කළු දුරු, සැවැන්දරා ආදිය සොයාගන්න. පිරිසුදු පොල්තෙල් බෝතලයකට කොළ වර්ග හා අනෙකුත් දේ ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණවලින් සපයා ගන්න.

කොළ වර්ග පිරිසුදුකර වතුර නොදා හෝ ඉතාමත් ස්වල්ප වශයෙන් දමා කොටන්න. එය පිරිසුදු රෙදිකඩකට දමා පෙරා යුෂ වෙන්කර ගන්න. ලූනු වර්ග දෙකද වතුර නොදමා වංගෙඩියේ කොටා යුෂ වෙන්කර ගන්න. දැන් තෙල් බෝතලය තරමක් ගැඹුරැති බඳුනකට දමා ළිප තබන්න. තෙල් උතුරන විට උළුහාල්, කළු දුරු, ලූනු යුෂ හා සැවැන්දරා මුලක් ද එයට එකතු කරන්න. අවසානයට කොළ යුෂ ද මෙයට එකතු කරන්න. ළිපෙන් ඉවත්කර නිවුණු පසුව බෝතලයකට දමන්න. සැවැන්දරා මුල තෙල් බෝතලයට දමා තබා ගැනීමෙන් තෙල් එකේ සුවඳ දිගු කලක් තබා ගත හැකියි. එසේත් නැතිනම් සමන්පිච්ච මල් තෙල් එකට දමා තබන්න.

මෙම තෙල් ස්වල්පයක් හිසට දමා හොඳින් සම්බාහනය කරන්න. පසුව ස්නානය කරන්න. තෙල් හිස ගැල්වීමේ දී උදය වරුවේ එය කිරීමටත් දහවල් 12ට පෙර ස්නානය කිරීමටත් මතක තබා ගන්න. ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙය සතියකට දින තුනක් පමණ සිදු කළ යුතුය. ස්නානය කිරීමේ දී දේශීය ආයුර්වේද ෂැම්පු වර්ගයක් හෝ සැර නැති ෂැම්පු වර්ගයක් භාවිත කරන්න.

හිසකෙස්වලට පෝෂණය ලබා දීම සඳහා දැමිය හැකි හෙයා පැක් එකක් ඔබට නිවෙසේදී ම සකසා ගත හැකියි.

මේ සඳහා මුරුංගා කොළ හා අලිගැටපේර එකට බ්ලෙන්ඩ්කර ක්‍රීම් එකක් සාදා ගන්න. මෙයට කලින් සකසා ගත් තෙල් මේස හැඳි දෙකක් දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙය හිසකෙස්වල ආලේපකර විනාඩි 20-30ක් පමණ වේලාවක් තබා සෝදා හරින්න. මෙය සේදීමේ දී ෂැම්පු අවශ්‍ය නොවේ.

රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා පලුදු වූ හිසකෙස් (ඩැමේජ් හෙයා) යථා තත්ත්වයට පත් කිරීම සඳහා කෙරටීන් ප්‍රතිකාරය සිදු කරනු ලබයි. මේ කෙරටීන් ප්‍රතිකර්මය ඔබට පළපුරුදු රූපලාවණ්‍යාගාරයකින් සිදුකර ගත හැකියි. කෙරටීන් යනු කෙස්ගසේ අඩංගුවන එක් ද්‍රව්‍යයකි. මේ කෙරටීන් නැති වූ විට හිසකෙස්වලට හානි වේ. පහත දැක්වෙන කෙරටීන් ප්‍රතිකර්මය ඔබට නිවෙසේදී ම සිදු කළ හැකියි.

බණ්ඩක්කා යනු හොඳ කෙරටීන් එකකි. කෙටි කෙස්කලඹක් සඳහා බණ්ඩක්කා කරල් 4-5ක් ද දිගු කෙස්කලඹක් සඳහා කරල් 10ක් පමණ ද ගන්න. මේ සඳහා ළපටි කරල් යොදා ගත යුතුයි. බණ්ඩක්කා කරල් කැබැලිවලට කපා එයට වතුර සවල්පයක් දමා මඳ ගින්නේ තම්බා ගන්න. මෙය නිවුණු පසුව බ්ලෙන්ඩ්කර කොළ පැහැ දියරය රෙදි කැබැල්ලකින් පෙරා කෝන් පිටි ස්වල්පයක් දමා ළිපේ තබා රත්කරන්න.

නිවුණු පසුව සම්පූර්ණ කොණ්ඩයේ ම ආලේප කරන්න. පැයක් පමණ තිබෙන්නට හැර සල්ෆේට් නැති කන්ඩිෂනර් වර්ගයක් පමණක් දමා සෝදන්න. මේ ප්‍රතිකර්මය සිදු කිරීමෙන් පසුව දින 3ක් යනතෙක් ස්නානය කිරීමෙන් වළකින්න. ඉන්පසුව ස්නානය කිරීමේ දී සල්ෆේට් නැති ෂැම්පු වර්ගයක් දමා හිස සෝදන්න. මෙම ප්‍රතිකර්මය මාසයකට දින දෙකක් පමණ සිදු කිරීමෙන් ඔබට ලස්සන කෙස්කලඹක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

ගොඩපර බ්ලෙන්ඩ්කර එයට තෙල් මේස හැන්දක් දමා හිසෙහි ආලේප කරන්න. විනාඩි 30කට පමණ පසුව හිස සෝදන්න. මෙය සිදු කළ යුත්තේ උදය වරුවකදී ය. මෙයින් හිස්හොරි ඇත්නම් ඒවා ඉවත් වී හිසකෙස් නිරෝගී වේ.

හිස ඉදිරිපස කෙස් දිගින් දිගටම ගැලවී යනවා නම් රතු ලූනු හා සුදු ලූනු යුෂ ගෙන පුළුන් කැබැල්ලක් උපයෝගී කරගනිමින් හිසකෙස් යන ස්ථානයේ ආලේප කරන්න. මඳ කලෙකින් හිසකෙස් වැවෙන ආකාරය ඔබට පෙනේවි.

 

 

 ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නිලූකා කොඩිකාර