රුව ගැටලු

දෙසැම්බර් 30, 2020

වර්තමානයේ පවතින කෝවිඩ් වසංගතයත් එක්ක ගෙවෙන මේ තත්ත්වය හැමෝටම අපහසු කාලයක්. ඒ නිසාම රූපය ගැන උනන්දුවන්නට තරම් කාලයක් නොතිබෙන්නට පුළුවන්. ඒත් එහෙම කියලා තමන්ගේ රූපය ගැන නොසලකා හිටියොත් එයින් ඔබේ පෞරුෂයටත් හානියක් විය හැකියි. ඒ විතරක් නෙමෙයි පෙම්වතා, සැමියා , හිතවතුන් හිතවතියන් වගේම පවුලේ අය ඉදිරියේත් සමහර විට ඔබ අපහසුතාවන්ට පත්වන්නටත් පුළුවන්. මේ නිසා තමන් ගැන සිතන එක අමතක කරන්න එපා. ඔබේ රූපලාවණ්‍ය කටයුතු නිවෙසේදීම කළ හැකි නම් පහසුවක් වේවි. ඒ සඳහා ඔබේ ළඟම යෙහෙළිය තරුණී නිරතුරුවම ඔබට උදව් කරන්න සූදානම්. රුව පිළිබඳ ඔබට ගැටලු ඇත්නම් අපට ලියන්න.

අපේ ලිපිනය

රුව ගැටලු

තරුණී, ලේක්හවුස්

කොළඹ - 10

 

වයසට වඩා වියපත් පෙනුමක් ඇත්තේ මුහුණේ සම රැලි වැටිලා නිසා ද?

 

ප්‍රශ්නය

මම 31 හැවිරිදි විවාහක කාන්තාවක්මි. මාගේ වයස 31ක් වුවත් වයස 40කටත් වඩා වැඩි පෙනුමක් තිබෙන බව ඇතැම් අය මට පවසා තිබෙනවා. මුහුණ තරමක් රැලි වැටුණු වියළි ස්වභාවයක් ඇත. වැඩි වයසක් පෙනෙන්නේ ඒ නිසා කියා මට සිතෙයි. මීට කුමක් හෝ ප්‍රතිකාරයක් තිබේ ද?

මාවනැල්ල - අයෝමා

 

පිළිතුර

මේ ගැටලුව අද බොහෝ යුවතියන්ට, කාන්තාවන්ට තිබෙන දෙයක්. ස්වභාවික සත්කාර මඟින් ඊට පිළියමක් ලබා ගත හැකියි. ගෙදරදීම හොයාගන්න පුළුවන් දේවල් වලින් මෙය හදාගන්න පුළුවන් වීම විශේෂයි.

ඊට සුදු ලූනූ, මීපැණි තේ හැඳී 1ක් සහ මැටි කුඩු මේස හැඳී 1ක් තමයි අවශ්‍යයි.

පළමුව සුදුලූනු බිකක් පොතු ඇරලා හොඳීන් පොඩි කරගන්න. එයට මී පැණි තේ හැඳී 1ක් සහ මැටි කුඩු මේස හැඳී 1ක් මිශ්‍ර කරන්න.

මුහුණ හොඳීන් සෝදා පිරිසුදු කරලා මේ මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 20-30ත් අතර කාලයක් එසේ තිබෙන්නට හැර, මඳ රස්නය ඇති වතුරින් සෝදලා හරින්න ඕනෑ. පුළුවන් කමක් තියෙනවනම්, රෑට නිදාගන්න කලින් මේ මිශ්‍රණය මුහුණේ ගා, උදේ අවදි වූ පසු සෝදා ඉවත් කරන්න. (රාත්‍රියේ නිදා ගන්නට පෙර මුහුණේ ආලේප කරනවා නම් ඔබ භාවිතා කරන කොට්ටයට පරණ කොට්ට උරයක් දමන්න අමතක කරන්න එපා.)

මේ විදිහට දවස් 7ක්, ඒ කියන්නේ සතියක් කරනකොට ඔබට වෙනස වැටහේවි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

මානෙල් කොටුවේගොඩ

 

 

2020/12/30 තරුණි පුවත්පත බලන්න