සමට කෙස් කලඹට නැතුවම බැරි පලතුරු

ජනවාරි 3, 2022

නාස්, දෑස්, දෙතොල් මොන තරම් ලස්සනට තිබුණත් සම දුර්වර්ණවී කෙස් කළඹ දුබල වුණොත් රුවට එල්ල වෙන්නේ විශාල තර්ජනයක්. මේ තර්ජනය නැති කරන්න අපට උදව් වෙන පලතුරු ගණනාවක් ම තියෙනවා.

අන්නාසි

විටමින් සී ගැන කතා කරන විට පැඟිරි කුලයේ පලතුරු මුලින් ම සිහියට නැඟෙනවා. අන්නාසි විටමින් සී ගබඩාවක්. ඒ විතරක් නො වෙයි සම පැහැපත් කරන ද්‍රව්‍ය ද මෙහි අඩංගුව තිබෙනවා. වයස් කල්‍යාණය සුරකින පලතුරක් ලෙස නම් දරා සිටින අන්නාසිවල මැග්නීසියම්, විටමින් බී, විටමින් සී, පොස්පරස්, තන්තු අඩංගුයි.

නෙල්ලි

එතරම් ජනප්‍රිය පලතුරක් නො වුණත් නෙල්ලි කෙස් කළඹ නීරෝගිව තබා ගන්න නම් රස බලන්නම ඕනෑ. එපමණක් නො වෙයි නෙල්ලි කෑමෙන් ලේ පිරිසුදු වෙන නිසා කුරුලෑ හැදෙන්නේත් අඩුවෙන්. මෙහිත් විටමින් සී, ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. ඒ නිසා සමේ ප්‍රදාහයන් ඇති වන්නේ නැහැ. සමේ තරුණ බවට අවශ්‍ය සම යට ඇති කොලජන් තට්ටු හොඳින් තිබිය යුතුයි. කොලජන් තට්ටුව සවිමත් තරමට හම රැලි වැටෙන්නෙත් නැහැ.

 

දොඩම්

දොඩම් විටමින් සී ලබා ගත හැකි තවත් මඟක්. මේ පලතුරත් කොලජන් තට්ටුව පවත්වා ගෙන යන්න උදව් වෙනවා. කොලජන් සමෙහි ඇදෙනසුලු බව ද පවත්වා ගෙන යනවා.

 

කොමඩු

කොමඩු ගෙඩියේ සියයට 90 ක් ඇත්තේ ජලය. සමට කොමඩු වටිනා පලතුරක් වන්නේ මොයිෂ්චර්රයිසර් මෙන් වියළි වීමෙන් වළක්වා තබා ගන්නා නිසයි. සමට හිරු එළියෙන් වන හානිය කොමඩුවල අඩංගු රසායන මඟින් අවම කරනවා.

දෙළුම්

වසර ගණනකින් සම තරුණ කර ගන්න කොලජන් තට්ටුව සවිමත් කර ගන්න දිනපතා දෙළුම් කෑමට ගන්න. කවුරුන් හෝ මෙසේ උපදෙස් දුන්නොත් එය වටිනාම උපදෙසක්. තෙල් සහිත සමක් ඇති අය අනිවාර්යයෙන් දෙළුම් නිතර කෑමට එක්කර ගත යුතුයි. කුරුලෑ වළක්වන, සමෙහි තෙතමනය රකින ගුණයක් ද මෙහි පවතිනවා.