අඳුරු දෙතොලට රෝස පැහැති පෙනුමක්

ජූලි 18, 2022

 

 

නා දලු වැනි සුන්දර දෙතොලක් යුවතියකට ආභරණයක් වැනිය. ඒ නිසා රෝස පැහැති දෙතොලකට හිමිකම් කීමට ඕනෑම යුවතියක් කැමැතියි.

දෙතොල් අඳුරු පැහැ වෙන්නත්, වියළි වෙන්නත් විවිධ හේතු බලපානවා. තද හිරු එළියට නිරාවරණය වීම, සාත්මිකතා, බාල තත්ත්වයේ තොල් ආලේපන භාවිතය, කැෆේන් අඩංගු බීම වැඩිපුර පානය කිරීම ආදිය ඉන් සමහරක්. මේවා නිසා අඳුරු පැහැ ගැන්වුණු තොල් ඇති අය විශාල මුදලක් වියදම් කර විවිධ ප්‍රතිකාර කරනවා. මේ ගෙවෙන්නේ සැමටම අපහසු කාලයක් නිසා රූපලාණ්්‍ය ප්‍රතිකාර සඳහා අමතර මුදලක් වියදම් කිරීමට ඔබට අපහසු විය හැකියි. ඒ නිසා අපි මේ සඳහා නිවෙසේ දී ම මෙලෙස සත්කාර කරන ආකාරය ඔබට පහදා දෙන්නෙමු.

දෙහි

 

 

 

 

දෙහි කියන්නේ මුහුණ පැහැපත් වීමට, ලප කැළල් නැති කිරීමට යොදා ගන්නා දෙයක්. ඔබේ අඳුරු පැහැ වුණු තොල්වලටත් දෙහි භාවිත කරන්න පුළුවන්. රාත්‍රී නින්දට යෑමට පෙර දෙහි බිංඳු කිහිපයක් ගෙන ඔබගේ තොල්වල ආලේප කරන්න. මාස දෙකක් පමණ එක දිගට මෙය කළොත් ඉක්මනින් තොල්වල අඳුරු පැහැය නැති කර ගන්න පුළුවන්.

තරමක් තුනී දෙහි පෙත්තක් කපා ගන්න. එය මතට සීනි ස්වල්පයක් ඉස එය තොල් මත හොඳින් අතුල්ලන්න. එමඟින් ඔබේ තොල්වල මැරුණු සම ඉවත් වී නැවුම් සම මතු වේ. මෙය දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

දෙහි, ග්ලිසරින් හා මී පැණි තේ හැඳි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍රකර රාත්‍රි නින්දට පෙර තොල්වල ආලේප කරන්න.

රෝස

 

 

රෝස කියන්නේ සමට සිනිඳු බවක්, සීතලක් මෙන්ම සමට මොයිස්චරයිසින් ලබා දෙන ඉතාම හොඳ ඖෂධයක්. තොල්වල අඳුරු පැහැය නැති කරන්නත් මෙය උපයෝගී කරගන්න පුළුවන්.

මේ සඳහා රෝස වතුර බිංඳුවකට මී පැණි බිංඳු කිහිපයක් එකතුකර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කරන්න. දිනකට දෙතුන් වතාවක් මෙසේ කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

රෝස පෙති තලප මේස හැන්දකට බටර් තේ හැන්දක් සහ මී පැණි හෝ කිරි ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු ඔබගේ තොල් මත මෘදුව සම්බාහනය කරන්න. මෙය සතියකට දෙවතාවක් කරන්න.

රෝස පෙති කිහිපයක් ගෙන එය කිරිවල පොඟවා පැයක් පමණ තබන්න. ඉන්පසු එය හොඳින් මිශ්‍රකර තලපයක් සාදා ගන්න. එයටම මී පැණි තේ හැඳි භාගයක් හා සැෆ්රන් ස්වල්පයක් එකතු කරන්න. මේ මිශ්‍රණය තොල්වල ආලේපකර මිනිත්තු 15ක් පමණ තබා ඉවත් කරන්න. දිනකට දෙවරක් මෙය සිඳු කරන්න.

ඔලිව් තෙල්

 

 

 

 

සුන්දර දෙතොලක් ලබා ගැනීමට ඔලිව් තෙල් කියන්නේ හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් තෙල්වල ඇති පෝෂණ ද්‍රව්‍ය මඟින් ඔබගේ තොල්වලට මනා පෝෂණයක් ලබා දෙන අතරම තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් ද ලබා දී තොල් සිනිඳු කරවයි. ඒ සඳහා ඔලිව් ඔයිල් බිංදු කිහිපයක් ගෙන තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. දිනපතා නින්දට යාමට පෙර මෙය සිදු කළහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනී ස්වල්පයක් එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු මෙම මිශ්රදණය තොල්වල ආලේපකර මෘදුව ස්ක්‍රබ් කරන්න. මෙය හරියට කළොත් මාසයක් හෝ දෙකක් ඇතුළත ඔබට ඔබේ තොල්වල ස්වාභාවික වර්ණය මෙන්ම දීප්තිමත් පෙනුමක් ලබා ගන්න පුළුවන්.

සීනි

 

 

 

 

ඔබේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සීනි කියන්නේ ඉතාම වැදගත් ද්‍රව්‍යයක්. මෙමඟින් තොල්වල ඇති අඳුරු පැහැති මැරුණු සෛල ඉවත්කර නැවුම් පෙනුමක් ලබා දෙයි. සීනි මේස හැඳි තුනක් සහ බටර් මේස හැඳි තුනක් හොඳින් මිශ්‍ර කර තරමක් ඝන මිශ්‍රණයක් සාදා ගන්න. එයින් තොල් මෘදු ලෙස ස්ක්‍රබ් කරන්න. සතියකට සැරයක් මෙය සිදු කරන්න. නැතනම් සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැන්දක් හොඳින් මිශ්‍රකර එම මිශ්‍රණයෙන් සතියකට වරක් පමණ ඔබේ තොල් ස්ක්‍රබ් කරන්න.

බීට්රූට්

 

 

 

 

තොල් ලස්සන කර ගන්න භාවිත කරන්න පහසුම ද්‍රව්‍යයක් බීට්රූට් කියන්නේ. බීට්වල අඩංගු බ්ලීචින් මඟින් ඔබේ තොල්වල අඳුරු පැහැය නැති කරයි.

නැවුම් බීට් යුෂ ස්වල්පයක් ගෙන රාත්‍රී නින්දට පෙර තොල්වල ආලේප කර උදෑසන සෝදා හරින්න. බීට්වල ඇති රතු වර්ණය තොල්වලට රෝස පැහැයක් ගෙන දේවී.

ඒ වගේම බීට් යුෂ සහ කැරට් යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍රකර තොල්වල ආලේප කරන්න. මිනිත්තු 10ක් පමණ තබා මඳ රස්නෙ වතුරෙන් සෝදා හරින්න.

 

 

 

පොඩිකර ගත් දෙළුම් ඇට තේ හැන්දකට කිරි ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු එම මිශ්‍රණය තොල්මත ආලේප කර මිනිත්තු කිහිපයක් පිරිමදිමින් ස්ක්‍රබ් කර ගන්න. පසුව මඳ රස්නේ වතුරෙන් සෝදා හරින්න.

මී පැණි

 

 

 

 

මී පැණි කියන්නේ තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් සපයන ඉතාම හොඳ පෝෂණ මාධ්‍යයක්. රාත්‍රී නින්දට යෑමට පෙර මී පැණි ස්වල්පයක් තොල්වල ආලේප කර තබා උදෑසන මඳ රස්නේ වතුරෙන් සෝදා හරින්න.

මී පැණි, යෝගට් සහ කඩල පිටි තේ හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්‍රකර තලපයක් සේ සාදා ගන්න. මෙම තලපය තොල්වල ආලේපකර මිනිත්තු 30ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

ආමන්ඩ් තෙල්

 

 

 

ආමන්ඩ් තෙල් කියන්නෙත් තොල්වලට සිනිඳු බවක් ලබා දෙන, තොල් රෝස පැහැ කරන තවත් හොඳ සත්කාරයක්.

මී පැණි තේ හැන්දකට ආමන්ඩ් ඔයිල් බිංදු කිහිපයක් මිශ්‍ර කරන්න. තොල් වියළි යැයි දැනෙන ඕනෑම වෙලවක මෙම මිශ්‍රණය ආලේප කරන්න. මෙයින් තොල් සිනිඳු කරන අතර රෝස පැහැයක් ද ලබා දෙයි.

 

මේ ක්‍රමවලින් ඔබට ඔබට පහසු ක්‍රමයක් තෝරාගෙන නිවැරැදිව කළොත් ඔබටත් රෝස පැති නා දලුවන් දෙතොලක හිමි කාරියක් විය හැකියි.

 

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

නීෂා මනහාරි

සැලෝන් නීෂා - මහරගම