ක්ලියෝ පැට්‍රා යුගයේ ඉඳලා මෙසේ බිහි විය මේක් අප්

ඔක්තෝබර් 21, 2024

 

මේක් අප් එකක් කියන්නෙම සුකොමළ ළඳකගේ හැඩ තව තවත් තීව්‍ර කරලන්නකි. මල් මනාලියක් හැඩවැඩ ගන්වන මේක් අප් ඉතාම සීරුවට කළ යුතු දෙයකි, මනා හික්මීමකින් කළ යුතු දෙයකි.

 

ඒ පිළිබඳ හැදැරීම ද සංයමයකින් යුතුව කළ යුතු දෙයකි. NVQ පාඨමාලාවේ මනාලියන් ඇතුළුව විවිධ හැඩ ගැන්වීම්වලදී මේක් අප් කිරීම මනා තෘප්තියකින් යුතුව කළ හැකි දෙයකි.

අංගරචනා කලාව, වේශ නිරූපණය... මේ සියලු නම්වලින් හැඳින්වෙන්නේ මේක් අප් කිරීමයි.

මේක් අප් කිරීමෙන් කෙනකුගේ සුන්දරත්වය ට වැඩිපුර යමක් එකතු කරයි. ඒ කෙනාගේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය පියවරක් හෝ ඉහළට ඔසවා තබයි.

මේක් අප් කිරීම කලාවකි. එය හැඩ ගැන්වීමේ ශිල්පියා/ශිල්පිනියගෙන් එකිනෙකට වෙනස් වේ. මුහුණේ ඇතිවන ගැටලු තත්ත්වයන් අවම කර ගත හැකිවනවා මෙන්ම විවිධ හැඟීම් හා විවිධ හැඩතලද විවිධ චරිතයන් ද ඉස්මතු කර පෙන්විය හැකි වන සේ මේක් අප් කලාව දියුණු වී ඇත.

මේක් අප් ගැල්වීම නිර්මාණශීලි හා ආකර්ෂණීය ලෙස සිදුකරන, අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වෘත්තිමය හැකියාවක් සහිත කලාවකි.

මිනිසාට සිතීමේ ශක්තිය ලැබුණු දා සිට මේක් අප් කලාව බිහිවන්නට ඇත.

 

මේක් අප්වල අතීතය

එකල ජීවත් වූ මිනිසා පරිසරයට අනුගත වීම, එහි පවතින උපද්‍රවයන්ට මුහුණ දීම සඳහා උපක්‍රමශීලි ලෙස, අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් සහ සතුන්ගෙන් ආරක්ෂා වීමටත් තමන්ගේ පෞරුෂය පෙන්වීම සහ ගෝත්‍රික සංස්කෘතීන් උදෙසා සංකේතයක් ලෙස ඈත අතීතයේදී මේක් අප් භාවිත කර තිබේ. ඒ ගස්වල මල්, කොළ, පොතු, මුල් ආධාරයෙනි.

ඈත අතීතයේ ජීවත් වූ මිනිසා සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා සිරුරේ ලේ තවරා ගන්නට විය. ඒ කොළ පොතු, ලාටු, අඟුරු වර්ග පාෂාණ වර්ග උපයෝගී කරගනිමිනි. එසේම මළගෙවල්වලට යාමේදී සහ මළමිනී කනත්තට ගෙනයාමේදී ඒවායේ විෂබීජවලින් ආරක්ෂා වීමට විෂබීජ නාශක ලෙස මේවා ශරීරයේ උළා ගන්නට විය.

6වැනි, 7වැනි ශත වර්ෂවල ඇරඹි මෙම කලාව 19, 20, 21 වැනි සියවස් වන විට අතිශය ජනප්‍රිය කලාවක් බවට පත් විය.

ඊජිප්තුවේ, ක්ලියෝ පැට්‍රාගෙන් ඇරැඹි මේක් අප් කලාව අද වන විට ආදායම් ගෙනදෙන වෘත්තියක් බවට පත් වී ඇත.

එදා විවිධ දේශගුණික හා කාලගුණ තත්ත්ව යටතේද අධික උෂ්ණත්වයෙන්, අධික සීතලින් ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහාත් නොයෙකුත් දෑ උලාගෙන තිබේ.

එසේම එකිනෙකා හඳුනා ගැනීමටත් රතු ඉන්දියානුවරුන් සහ අනෙකුත් ගෝත්‍රයන් වෙන් වෙන්ව හඳුනා ගැනීමටත් මෙම ද්‍රව්‍ය පාවිච්චි කර ඇත.

 

අංගරචනා කලාව

* අංගාරවේදය

* වෙස් ගැන්වීම

* වේශ නිරූපණය

* හැඩ ගැන්වීම

ආදී විවිධ නම්වලින් හඳුන්වයි.

 

වේශ නිරූපණ කලාව මුල් අවධියේදී විවිධ නිරූපණ සඳහා විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඇත. වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමඟම තත්ත්වයෙන් උසස් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

අද වෙනකොට තත්ත්වයෙන් ඉතා උසස් නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබේ. මේවා විවිධ සන්නාමයන් යටතේ ලබාගත හැකියි.

වෘත්තියෙන් හැඩ ගැන්වීමේ ශිල්පියකු වීමට මෙම විෂයයේ ඇති විවිධ ආචාර ධර්ම සේම තාක්ෂණයේ විවිධ පැතිකඩ ද හොඳින් හඳුනාගත යුතුයි.

ඉතිහාසයේ කැණීම් කටයුතුවලදී මේක් අප් සඳහා බොහෝ දෑ යොදාගෙන ඇති බව

මේ පිළිබඳ වැඩිපුර අධ්‍යයනයේදී ඉගෙන ගැනීමට හැකිවනු ඇත.

මෙහිදී ත්‍රිමාණ සිද්ධාන්ත පිළිබඳ හොඳින් අවබෝධ කරගත යුතුයි. මෙය උස, දිග, ගැඹුර යනුවෙන් අදහස් කරයි.

 

මේක් අප් කිරීමට ප්‍රථම දැනගත යුතු කරුණු

* මුහුණේ වර්ගය

* සමේ වර්ණය

* දේශගුණික කලාප

* මේක් අප් කරන අවස්ථාව

ආදී දෑ හොඳින් හඳුනාගෙන එම කටයුත්තේ යෙදිය යුතුයි.

මේක් අප් එක කළ යුත්තේ මුහුණේ හැඩය අනුවයි. ඕනෑම හැඩයේ මුහුණකට කළ යුත්තේ ඕවලාකාර හැඩැති මුහුණක පෙනුම ගෙන ඒමයි. මුහුණේ උස් කොටසක්(Hill) සහ ගිලා බැස ඇති කොටසක්(Valley) තිබේ. උස් වූ කොටස් කපා දැමීමටත් ඉස්මතු කර පෙන්විය යුතු කොටස්(Highlight) ඉස්මතු කර පෙන්වීමත් මේක් අප් එකෙන් කළ යුතුයි. මෙය අත්දැකීමෙන්ම කළ හැකි දෙයකි. Nose cut, Forehead cut, Jaw line cut, Chin cut, Anchor cut ආදිය දැමීමෙන් මුහුණට හොඳ පෙනුමක් ගෙනදිය හැකියි.

 

ඉහත කරුණු කාරණා හඳුනා ගත් පසු වර්ණ චක්‍රය අනිවාර්යෙන්ම ඔබ හඳුනාගත යුතුයි.

මෙහිදී

* මූලික වර්ණ

* ද්ව්තීයික වර්ණ

* තෘතීක වර්ණ

හඳුනාගත යුතු වේ.

වර්ණ සංකලනය, වර්ණ උද්දීපනය වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

එසේම වර්ණයේ අගය වන්නේ ළා හා තද පැහැති බවයි. ඒ නිසා වර්ණ චක්‍රය හොඳින් වටහා ගන්න, එසේම වර්ණවල මූලධර්මයද හඳුනා ගන්න.

වර්ණයේ අගය යනු එම වර්ණය ළා හා තද පැහැති බවයි. එසේම වර්ණයේ ප්‍රබලත්වය යනු වර්ණයේ දීප්තිමත් බව හා අඳුරුභාවයයි.

මේක් අප් පිළිබඳ තවත් කරුණු කාරණා ලබන සතියේ

 


ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4
ඇගයීම් නිලධාරිනි)