දෙහි ලෙල්ලෙන් සීනිවලින් මුකුළු කරන කකුල් දෙකක්

ජූලි 29, 2024

 

ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රීය තමයි සම. මේ සම කොහොමද ලස්සනට පිරිසුදුව නිරෝගීව තියා ගන්නෙ කියලා හිතනකොටම අපිට මතක් වෙන්නෙ අපේ මුහුණ. මුහුණ ලස්සන කරගන්න අපි Face wash ගානවා. Cleanup, Facial කරනවා. තව කොච්චර නම් දේවල් කරනවාද?

 

මේ ඔක්කොම බෙල්ලෙන් උඩ කොටස ලස්සන කරන්න නේද? ඒත් අපි හිසේ සිට දෙපතුල් දක්වාම අපේ සම නිරෝගීව පැහැපත්ව ලස්සනට තියා ගන්න ඕනෙ.

 

මෙහිදී අපිට අවධානය යොමු නොවුණුට කොටසක් තමයි අපේ දෙපා. වැඩිපුරම අපිරිසුදුවන, අවපැහැ ගැන්වෙන වැඩිපුරම වියළෙන තැනක් තමයි දෙපා යුගල.

 

මෑතක් වනතුරු රූපලාවණ්‍යාගාරයක් තුළ වුණත් මුහුණට කෙරෙන සත්කාරවලට සුවිශේෂ තැනක් හිමි වුණත් Pedicure එකක් සඳහා යොමු වුණේ නැහැ. නමුත් වර්තමානයේ Pedicure සඳහා බොහෝ කාන්තාවන් කැමැත්තක් දක්වනවා වගේම එහි වැදගත්කම ගැන අවබෝධයක් තියෙනවා.

කොහොම වුණත් සාමාන්‍යයෙන් Pedicure සඳහා අය කරන මුදල ටිකක් මිලෙන් වැඩියි. ඒ වගේම කාර්යය බහුල කාන්තාවකට ඒ සඳහා වෙනමම කාලයක් යොදා ගන්න වෙනවා. ඉතින් පොඩි වෙලාවකින් වියදමක් නැතුව ගෙදර තියෙන ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන අවපැහැ ගැන්වුණ දෙපා ලස්සන කරගන්න පෙඩිකි (Pedicure) එකක් කරමු.

 

1 වැනි පියවර

 

* කුඩු කරගත් සීනි තේ හැඳි 1ක්

* පොල්තෙල් තේ හැඳි 2ක්

* බේකිං පවුඩර් මේස හැඳි 2

* දෙහි යුෂ මේස හැඳි 2ක්

* යෝගට් හෝ මීකිරි තේ හැඳි

 

2 වැනි පියවර

 

මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍රකර ගන්න. මේ මිශ්‍රණය හොඳින් දෙපාවල හා කකුලේ ආලේපකර ගන්න. විනාඩි 3ක් පමණ දෙපාවල තවරා තබා පසුව Scrub කරන්න.

 

3 වැනි පියවර

 

මෙහිදී දෙපා බොහෝ වියළි නම් මී පැණි තේ හැඳි 2ක් මිශ්‍රණයට එකතුකර ගන්න. මෙමඟින් අව්වට පිලිස්සුණු සම (Sun tan), මැරුණු සම (Death Skin) සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා වගේම පැහැපත් සමක් දෙපාවලට ලබා ගන්න පුළුවන්. විනාඩි 5ක් පමණ Scrub කිරීමෙන් පසුව තෙත තුවායක් ආධාරයෙන් Scrub එක ඉවත්කර ගන්න.

 

4 වැනි පියවර

 

දෙපාවලට මසාජ් එකක් කියන්නෙ ඉතින් වටිනාම දෙයක්. මීළඟ පියවර ස්වාභාවික ද්‍රව්‍ය කීපයක් එකතු කරගෙන මසාජ් එකක් කරමු.

 

* කෝමාරිකා මදය තේ හැඳි 1ක්

* මී පැණි තේ හැඳි 1ක්

* පොල්තෙල් හෝ ආමන්ඩ් තෙල්

* මේස හැඳි 1ක්

 

මේ සියල්ල හොඳින් මිශ්‍රකර දෙපා හොඳින් මසාජ් කරගන්න.

 

5 වැනි පියවර

මේ සියල්ලටම පසුව අපි හොඳ ප්‍රතිඵල ලැබෙන Pack එකක් හදාගමු.

 

* හාල් පිටි තේ හැඳි 1ක්

* මී පැණි තේ හැඳි 2ක්

මේක හොඳින් මිශ්‍රකර දෙපාවල සම්පූර්ණයෙන්ම ආලේප කරන්න. විනාඩි 15ක් පමණ තිබෙන්නට හරින්න. මෙමඟින් Scrub එකෙන් පසු ලැබුණ අලුත් සමට පෝෂණයක් වගේම දෙපාවලට පැහැපත් බවක් ලැබෙනවා. විනාඩි 15කට පසු හොඳින් සෝදා තෙත ඉවත්කර ගන්න.

 

 

6 වැනි පියවර

 

අපි මෙවන් සත්කාරයකින් පසු Moisturzer එකක් ආලේප කළ යුතුමයි. කෝමාරිකා ජෙල් ස්වල්පයක් සමඟ පොල් තෙල් හොඳින් විස්ක් එකක් ආධාරයෙන් ගසා ගන්න. එය ක්‍රීම් එකක් බවට පත්වන තෙක් මිශ්‍රකර හොඳින් දෙපාවල ආලේපකර ගන්න. මෙම ස්වාභාවික Moisturzer එක දිනපතා අපට ආලේප කළ හැකියි.

එහෙම නමන් මෙන්න අපි අද පටන් ලොකු ගණන් නොදී ගෙදර ඉඳන්ම මෙහෙම පෙඩිකි (Pedicure) සත්කාරයක්කර ගමු.

උපදෙස් රූපලාවණ්‍ය ශිල්පිනී

දිසෝජා හේරත්