උමතු ආදරයක ලක්ෂණ හඳුනාගනිමු

ඔක්තෝබර් 30, 2019

මැදුම් පිළිවෙත ජීවිතයේ සෑම පිළිවෙතකටම වැදගත්ය. විශේෂයෙන් සිත උන්මාදනීය කරන ආදරය වැනි හැඟීමකදී මැදුම් පිළිවෙත වැදගත් වෙයි. සීනි, තේ කෝප්පය රස ගැන්වීමට අවශ්‍ය වුව ද වැඩි සීනි එහි සැබෑ රසය විඳිමට බාධාවකි. පදමට සීනි රසය නැත්නම් තේ කෝප්පය නීරස වන්නාක් මෙන් යුග දිවිය නීරස කිරීමට වැඩි සෙනෙහස හේතුවෙයි.

සමහර ආදර සබඳතා විවාහය දක්වා දුර දිග නොයන්නේ වධයක් වන තරමට එකකු අනෙකාට සෙනෙහස දැක්වීම නිසාය. එසේ නොමැති නම් සෙනෙහස පමණට වඩා පිරික්සීමට යාමේ හේතුවෙනි.

උමතු ආදරයක ලක්ෂණ

ග්‍රස්ථිය (OCD) තත්ත්වය යුග දිවියට ද බලපායි. එකම සිතිවිල්ල නැවත නැවත ඇතිවීම, එකම හැසිරීමේ නැවත නැවත යෙදීම, කාංසාව වැනි තත්ත්වයන්ගෙන් ග්‍රස්ථිය රෝගියා පීඩා විඳියි. විවාහ දිවිය සම්බන්ධ ග්‍රස්ථිය තත්ත්වයෙන් පීඩා විඳින පුද්ගලයාට අනෙකාගෙන් දුරකථන පණිවුඩ ලැබෙන තුරු ඉවසීමක් නැත. දිගින් දිගටම සිත පීඩාවට පත්වෙයි.

එකිනෙකා අතර පවතින ආදරය කෙබඳුදැයි යන සිතිවිල්ල සිතට වධදෙයි. අනවශ්‍ය ලෙස සහකරු/සහකාරිය ගැන සැකයක් ඇති වෙයි. මේ උමතු ආදරය දෙආකාරය.

සමහරු කේන්ද්‍ර කරගන්නේ ආදර සබඳතාවයි. තවත් අය කේන්ද්‍ර කරගන්නේ සැමියා/බිරිය ය. කේන්ද්‍ර වන විෂයය පිළිබඳ අඛණ්ඩව ප්‍රශ්නාවලියක් සිතේ පැන නඟී.

යුග දිවි සබඳතාව විවිධාකාර වුව ද කිසිදු විටෙක කාංසාව, ආතතිය රජ කරන යුග දිවියක් යහපත් වන්නේ නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ උමතු සෙනෙහසය.

කොතෙක් දැන හඳුනාගෙන විවාහ වුව ද නැවත නැවතත් විවාහ වූ පුද්ගලයා විශ්ලේෂණය කිරීම මේ පුද්ගලයාගේ සිරිතය. විවාහ වු පුද්ගලයා තමන්ට ගැළපෙනවා දැයි සිතයි. වෙනකක් තබා තමන් සැබෑවටම ආදරය කරනවා දැයි යන්න ගැන පවා ඇත්තේ සැකයකි.

පවුලේ අය, නෑ හිත මිතුරන් සමඟ ඇති සබඳතාව සමඟ යුග දිවි සබඳතාව ද සසඳා බලයි. මේ සියල්ලෙන්ම පීඩාවට පත්වන්නේ සිතය.

ආදරයේ තරම සොයන රහස් පරීක්ෂකයකු බවට මෙවැනි පුද්ගලයකු පත්වෙයි. මට ගැළපෙනවාද? කොපමණ ආදරය කරනවා ද? අන් අයට දක්වන ආදරයේ තරමට වඩා මා හට දක්වන ආදරයේ තරම වැඩි ද සිතා දිවා රාත්‍රී ළතැවීම මේ අයගේ සිරිතයි. බොහෝ විට අනෙකාට කරදරයක් බටව පත්වන්නේ, එපා වන්නේ මේ ගති ලක්ෂණ නිසායි.

දවසේ පැය ගණන් අනෙකාගේ සිතිවිලි වෙනුවෙන් වැය කිරීම නිසා සැමියකු බිරියක ලෙස පැවරී ඇති යුතුකම් සහ වගකීම් ද ගිලිහී යයි.

සිත රිදවන ආදරයෙන් සහනයක් ලබා ගැනීමට තමන්ගේ සිතට වධ දෙන කාරණාවලින් අනෙක් පුද්ගලයාට වධ නොදී සිතෙන දේ කොළයක හෝ පොතක සටහන් කරන්න.

තමන්ගේ මානසික ස්වභාවය ගැන සහකරු/සහකාරිය දැනුවත් කිරීම ද වැදගත්ය. විවෘතව කෙරෙන සාකච්ඡා යුග දිවියේ වැදගත් දෙයකි.

විටින් විට තම සබඳතාව ගැන සැකයක් ඇතිවීම ‘අස්වාභාවික නැත. එහෙත් එය සහකරු/සහකාරිය සමඟ සතුටින් ජීවත් වීමට බාධාවක් නොවිය යුතුය.

එහෙත් මොහොතින් මොහොත සැමියාගේ කාමරයේ වෙනත් කාන්තාවක සිටිනවාදැයි බලනවා නම් වෙනත් කාන්තාවක සමඟ කතා කරන විට සමීපයට විත් තමන්ට නැති සෙනෙහසක් ඇයට දක්වනවාදැයි බලනවා නම් එයින් ඉතා භයානක ප්‍රතිඵල ලැබිය හැකිය.

මෙවැනි පුද්ගලයකුට මුළු හදින්ම සහකරු/සහකාරිය සමඟ සතුටින් ජීවත්වීමට නුපුළුවන.

සැබෑ ආදරය ලබනවාදැයි අනිසි ලෙස සොයා බලන අතරේ නෑදෑ හිත මිතුරන්ගෙන් සහකරු සහකාරිය ගැළපෙනවා දැයි විමසීම මොවුන් කරන තවත් වරදකි. අඹු සැමියන් තරම් පෞද්ගලිකත්වය බෙදා හදා ගන්නා වෙනත් සබඳතාවක් මානව සමාජයේ නැත.

* සමාජ වෙබ් අඩවිවලට මුදා හැරෙන්නේ බොහෝ විට ඒ ගිණුම් හිමියාගේ සැබෑ ස්වරූපය නොවෙයි.

යුග දිවි සබඳතාව ග්‍රස්ථිය තත්ත්වයට පත්වී ඇත්නම් එවන් අය සමාජ වෙබ් අඩවිවලින් දකින දෙය පරම සත්‍යයක් සේ පිළිගනී. සමාජ වෙබ් අඩවිවලින් හමුවන පිරිමියා/ගැහැනිය තම සහකාරිය/සහකරුට වඩා විශ්වාසවන්ත යැයි සිතයි. ඒ වැරැදි විශ්වාසයෙන් මුළු යුග දිවියම අවුල්කර ගනී.

* තමන් බිරියක/සැමියකු වශයෙන් නොගැළපෙනවා යැයි සිතීම තවත් වරදකි.

* පමණට වැඩි විශ්ලේෂණය, පමණට වැඩිය සිතීම යුගු දිවියට කරන්නේ විශාල වරදකි.

සබඳතා ග්‍රස්ථියෙන් පීඩා විඳින්නන් කෙටි පණිවුඩ යැවීමේ දී බොහෝ විට නිවැරැදි වචනයම යොදා ගනී. වදන් කෙටි කිරීම් මොවුනගේ ශබ්ද කෝෂයේ නැත.

* වර්තමානයේ ජීවත් නොවීම අනාගතයේ පමණක් ජීවත්වීම මොවුන් කරන වරදකි.

සහකරු /සහකාරිය සිතන දේ ගැන ද මොවුහු වධ වෙති.

* ඇතැම් අඹු සැමියන්ට මනෝ උපදේශනය පැතීමට ද සිදුවෙයි.