රන් හා සමාන මොහොතක් අහිමි කරගන්න එපා

දෙසැම්බර් 18, 2019

කෙන්දක් තරම්වත් අප ගණනකට නොගන්නා දේවල් සමහර විට කඹයකටත් වඩා ශක්තිමත් වෙන අවස්ථා තිබේ. කෙමෙන් කෙමෙන් කාලයාගේ ඇවෑමෙන් සිදුවන මෙවැනි දේවල් ගැන අවධානය යොමු නොකිරීමෙන් අවසානයේ නියපොත්තෙන් කැපිය හැකි දේ පොරවෙන් කැපිය නොහැකි තත්ත්වයට පත් වෙයි.

බිරියගෙන් වාගේම සැමියාගෙන් ද මෙවැනි දේ සිදු වීමට පුළුවන. හරිම සාමාන්‍යයයි කියා සිතෙන මේ පුරුදු යුග දිවිය මොන තරම් නීරස කරනවාද?

මේ එසේ යුග දිවිය නීරස කරන බිරිය සැමියා අතින් සිදුවන වැරැදි පුරුදු කිහිපයකි.

* නිතර උපදෙස් දෙන්නට යාම - නව යොවුන් වියට පිවිසෙන වැඩි දෙනෙක් මාපියන් සෑම දෙයකටම උපදෙස් දෙනවාට අකැමැතිය. එහෙත් අඹුසැමියන් වූ පසු බිරිය / සැමියා වශයෙන් ඒ පුරුද්ද දිගටම පවත්වා ගෙන යනවාද? කුදුමහත් සෑම කටයුත්තකදීම කුඩා දරුවකුට මෙන් දිගින් දිගටම පවුලේ මුදුනා වෙමින් උපදෙස් දීමට යාම නොකළ යුතු දෙයකි. තමන්ට කැමැති පරිදි යමක් කිරීමට ඕනෑම කෙනකු කැමැතිය. ඒ නිසා අතදරුවකු ලෙස සලකා සෑම දෙයකටම උපදෙස් දීම නොකළ යුතුය. එය නීරස අත්දැකීමකි. සැම විටම සැමියාට බිරියට උපදෙස් දීම පුරුද්දක් වී ඇත්නම් අදම ඒ පුරුද්දෙන් ඈත් වන්න.

* අඹුසැමියන්ගේ කුටුම්බයේ සන්නිවේදනය මැති සබයේ සන්නිවේදනයටත් වඩා වැදගත්ය. පවුල් දිවියේ දියුණුවට දෙදෙනාගේ කතා බහට එක හා සමාන ඉඩක් වෙන් විය යුතුය. එහෙත් කතා කිරීමට ඇති සම අයිතිය උල්ලංඝනය කරන අඹු සැමියෝ ද සිටිති. අනෙකාට මොහොතක් හෝ කතා කිරීමට ඉඩ නොතබා තමන්ම කතා නායිකාව වීමට ගියහොත් පවුලක ඇතිවන්නේ යහපත් තත්ත්වයක් නොවෙයි. අනෙකාගේ කතාව හෙලා දකිමින් අනෙකාට ඉඩ නොදී කතා කරන්නට යාම විශාල වරදකි.

* අධි විවේචනය – විවේචනයට බොහෝ දෙනකු අකැමැතිය. ආදරණීයයන් දෙදෙනකු අතර විවේචනය සිත වගේම හදවත පාරවන කරුණකි. නොගැළපෙන කරුණක් ගැන වුවත් අදහස් දැක්විය යුත්තේ පරෙස්සමෙනි. සෑම අවස්ථාවකම විවේචනය කරමින් අනෙකාව පාලනය කිරීම ගැටුම් ඇති පවුල් සංස්ථාවල සුලබය. විවේචනය ප්‍රයෝජනවත් වන අවස්ථා ද තිබේ. එහෙත් එක වහලක් යට මියෙන තුරු එකට ජීවත් වෙද්දී එය කළ යුත්තේ පරෙස්සමෙනි.

“ ඔයා මං ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. හැම වෙලාවෙම කතාව මැදට පනිනවා. හරිම ආත්මාර්ථකාමියි.” කියනු වෙනුවට “ මං දන්නවා රත්තරන් ඔයාට ගොඩක් දේ කියන්න තියෙන බව. ඒත් මගේ අදහසටත් හොඳ ළමයා වගේ පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. “ යයි පැවසීම අගනේය.

2019/12/18 තරුණි බලන්න