වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඇය දිරිමත් රට සවිමත්
අපේ රටේ ගෙදර බුදුන් අම්මාය. පවුලේ වැඩිමල් සොයුරියට සලකන්නේ දෙවැනි මවට මෙන් ගෞරවයෙනි. සාමානාත්මතාවක් නොව ශ්‍රී ලාංකේය ජන සමාජයේ කාන්තාවට කවදත් ඇත්තේ නිසි ස්ථානයය.
සැමියා කෙතරම් හරිහම්බ කළ ද බිරිය නිසි ලෙස මුදල් කළමනාකරණය නොකළොත් ඒ නිවෙස සොහොන් බිමකටත් වඩා පාළු වී යයි. දියණියක් නැති පවුල මල් හට නොගන්නා ගසක් බඳුය.
පවුලක මවකගේ තැන හිස්වීම මුදුන් මුල ගැල වී යාමට සමානය. අම්මා නැති කල අප්පා කවර කල කියා ජන කවියා විමසන්නේ එබැවිනි. අපේ රටේ මවට, බිරියට, දියණියට හිමි තැන මේ සියලු දෙයින්ම සිතාගත හැකිය. මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය සඳහා තේමා පාඨය ලෙසින් ‘ඇය දිරිමත් රට සවිමත්’ යන වදන් පෙළ තෝරා ගෙන ඇත්තේ එබැවිනි. එහෙත් මෙවර අන්තර් ජාතික තේමාව ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම සමානාත්මතාව දැක්වීමයි.
* Each For Equal - සැමට සමානාත්මතාව
* I am generation Equality: realizing women’s rights - මගේ පරපුරේ සමානාත්මතාව:
කාන්තා අයිතිවාසිකම් අවබෝධ කර ගැනීමි ආදී වශයෙන් විවිධාකාරයෙන් එය අරුත් ගන්වා තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ අරමුණ වසර 2030 වන විටවත් ලොව කාන්තාවන් සියලු දෙනාම මානව සමාජයේ මූලික අයිතිවාසිකම්වත් සමසේ භුක්ති විඳිනු දැකීමයි.
වසර පනහකට පෙර මිනිසා සඳට ගියත් තවම මේ සරල ඉලක්කයට ළඟාවීමට ගැහැනියට ලොව වරම් දී නැත. තවමත් පිරිමින්ට නැති නීතිමය තහනමක් ඇතැම් රැකියාවන්ට ඇති නිසා කතුන් බිලියන 2.7 කට රැකියා අවස්ථා ගිලිහී ගොසිනි. 2019 වසරේ දේශපාලනයේ නියැළි කාන්තා ප්‍රතිශතය 25% කටත් අඩුය. තවමත් කතුන් තුන් දෙනකුගෙන් එක් අයෙක් හිංසනයේ ගොදුරකි.
සෑම තත්පර 90 කටම වරක් ගැබිනි වියේදී හෝ දරු ප්‍රසූතියේදී කාන්තාවක මිය යයි. නිසි දැනුමක් හා සෞඛ්‍ය සේවාවක් ලබා දුන්නා නම් මේ මරණ බොහොමයක් වළක්වා ගත හැකිය. කනගාටුදායකම කරුණ නම් ගැබිනි වියේදී කාන්තාවන් හතර දෙනකුගෙන් එක් අයෙක් ගුටි බැටවලට හෝ ලිංගික හිංසනයකට හෝ ලක්වීමයි. අවුරුදු 15 - 19 අතර පසුවන දැරියන්ගෙන් 44% ක් සිතන්නේ ද බිරියට හිංසා කිරීමේ අයිතිය සැමියාට හිමි බවය.
ලොව අවතැන් වූ සරණාගත වූ පිරිසෙන් 80% ක් කාන්තාවන්ය. සමතැන් ඇතැයි කියා උස් හඬින් මොර දෙන අමෙරිකාව වැනි රටවල පවා පිරිමින්ට දහඅට වැනි සියවසේදී ඡන්ද බලය හිමි වෙද්දී කාන්තාවන්ට ඡන්ද බලය හිමි වූයේ විසි වැනි සියවසේදීය. (එනම් 1920 වසරේදීය).
ලොව මිලියන 750 කට වැඩි ගැහැනු ළමයින් සංඛ්‍යාවක් (වයස 18 ට අඩු) ළමා මනාලියන් බවට පත් වෙයි.
කාන්තාවන්ට කරන හිංසනය තවමත් සමහර රටවල් හිංසනයක් කියා පිළි නොගන්නා බැවින් මේ මිහිතලයේ මිලියන 603 ක් වූ කාන්තාවෝ අනන්ත අප්‍රමාණ වූ දුක් වේදනාවන් විඳිති. ලෝක බැංකු වාර්තාවන්ට අනුව රටවල් විස්සක් පමණ මෙසේ උත්තරීතර මවු පදවිය ලබන ගැහැනිය පීඩාවට පත් කරනු ලබයි.
කාන්තාවන් තවමත් ලබන්නේ පිරිමියකු ලබන වැටුපට වඩා 20% ක පමණ අඩු වැටුපකි. මේ වැටුප් විෂමතාව වසර 2059 උදාවන තුරුවත් දුරු වන්නේ නැත.
විසි එක් වැනි සියවසට එළඹ සිටිය ද දැරියන් මිලියන 130 කට පාසල් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබී නැති බව යුනෙස්කෝ වාර්තාවන් පෙන්වා දෙයි. කාන්තාවකට අධ්‍යාපනය ලබාදීම සමස්ත සමාජයටම අධ්‍යාපනය ලබාදීමක් බව මහත්මා ගාන්ධි පැවසුවේ තුන්කල් දකිමිනි. උගත් මව දරුවන් අධ්‍යාපනයට යොමු කරයි.
අවාසනාවකට ලෝකයේ කාන්තාවන් බිලියන භාගයකට අකුරු කියවීමේ හැකියාවක් නැත.
බිලියනයකට වැඩි කාන්තාවන් පිරිසකට බැංකු ගිණුමක් නැත.
පිරිමි දරුවන් නිදහසේ විනෝදෙන් ක්‍රීඩාවෙන් කල් ගෙවද්දී වයස අවුරුදු 5 - 14 අතර දැරියන් පැය මිලියන 550 ක කාලයක් දවසේ වැඩ කටයුතු වෙනුවෙන් වැය කරයි. පිරිමි දරුවන්ට වඩා පැය මිලියන 160 ක් ගැහැනු දරුවෝ ගෙදර දොර කටයුතු සඳහා වැය කරති.