වෛද්‍ය සිහිනය බොඳවී අවසන් ගමන් ගිය ඉසුරු හේෂාන්

ජුනි 17, 2020

එදා ඇගේ ඒ සතුට පිරි මුහුණ... තවමත් මගේ මතකයේ තිබේ. එහෙත් ඒ සතුට සැඩ පහරකට හසුවී ගහගෙන ගියාදැයි අද මට සිතෙයි. ජනවාරි 08 වැනිදා තරුණී පුවත්පතේ පත්තිරු වැඩිම ප්‍රමාණයක් වෙන්ව තිබුණේ 2019 වසරේ උසස් පෙළ සමතුන්ගේ විශිෂ්ටත්වය ගැනයි.

වෛද්‍ය විද්‍යාලයට පා තබන්නට වරම් ලැබූ නිවුන් සොයුරන් වූ ඉසුරු හා රුසිරු ගැන සටහන් තබන්නට ඔවුන්ගේ නිවහන සොයා කෑගල්ලට යන්නට මට වාසනාව හිමි විය. එය සැබෑම වාසනාවක් යැයි මට ඒ මොහොතේ සිතුණි. කුරුළු කූඩුවක් සේ අහිංසකම, එකමුතුකම හා ළෙංගතුකම උතුරා ගැලූ ඒ නිවුන් සොහොයුරන් ගැන මා සටහන් තැබුවේ මහත් සතුටිනි.

එහෙත් ඒ වාසනාව අද කඳුළට පෙරළී හඬා වැටෙන අයුරු අකුරු ගළපන්නට මටම සිදුවීම සිත වාවාගත නොහැකි වේදනාවකි.

බුදු දහමේ අටලෝ දහම මෙයැයි අප දෑස් ඉදිරිපිට පෙන්වන මේ කඳුළු කතාව ජීවිතය කෙතරම් අස්ථිර දැයි හැඟෙයි.

මා එම නිවෙසට එදා ගොඩවන විට හිරු අවරට යමින් තිබුණි. එහෙත් ඉසුරු සහ රුසිරුගේ ජයග්‍රහණයෙන් ඒ නිවෙස පිරී තිබුණේ නිහතමානීකම පිරි සතුටකිනි. නිවුන් පුතුන් හා ආදරණීය දියණියකගෙන් පිරි මනතුංග පවුලේ සෙනෙහස හා ළෙන්ගතුකම ආකර්ෂණීය වූයේ ඉසුරුගේ මව වන හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ ගුරුතුමියක වූ සාගරිකා මනතුංග මහත්මියගේ වදන් පෙළය. කෑගල්ල නගරයේ ව්‍යාපාරිකයකු වූ ජගත් මනතුංග මහතා මේ සොහොයුරන් දෙදෙනාගේ ආදරණීය පියා ලෙසින් ඉමහත් කැපවීමක් කළ අයුරු පැවසුවේ මහත් සතුටිනි.

“මට හිතෙන්නේ මේ දරුවෝ දෙන්නා මගේ කුස තුළට එන්න ඇත්තේ පෙර ආත්මගත පිනකට. දරුවෝ ඉපදිලා දෙන්නම මගේ අතට දෙනකොට මම ප්‍රාර්ථනා කළේ මේ දරුවෝ දෙන්නා කවදා හරි ලෝකය සුවපත් කරන වෛද්‍යවරු දෙන්නෙක් කරන්න මට වාසනාව ලැබෙන්න කියලා.” මෙලෙසින් සාගරිකා මනතුංග මහත්මිය පවසන විට ඇයගේ නෙතඟට එදා කඳුළක් ආවේ සතුට වැඩිකමටය.

 

 ඡායාරූප - දයාරත්න බණ්ඩාර කෑගල්ල දිස්ත්‍රික් සංචාරක

2020/06/17 තරුණි පුවත්පත බලන්න.