වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආදිවාසි නායකයා තනිකර හීන්මැණිකා යන්නම ගියාය
අප පමණක් නොවේ දැන් ලොවේ බහුතරයක්ම හිතට සැනසිල්ලක් නැති යුගයක් ගෙවමින් සිටින්නෙමු.
ජීවිතේ දහසක් වැඩකටයුතු සමඟ දිවි ගෙවන අප අද ගැන පමණක් සිතමින් බොහෝ අවිනිශ්චිත දිවියක් ගෙවන්නෙමු. මරණය ඔබ අප කාටත් පොදු ධර්මතාවයකි.
නමුදු මරණයේ වේදනාව වැඩි වැඩියෙන් දැන් අපට දැනෙන්නට පටන් ගෙන ඇත. රටේ සිව් දෙසින්ම මේ ලියන මොහොතේත් කොහේ හෝ අප දන්නා, නොදන්නා කවුරුන් හෝ මියගොස් ඇත. ඒ කොරෝනා වයිරසයට ගොදුරු වීමෙනි.
පසුගිය කාලයේ එසේ මිය ගිය පිරිස බොහෝය. අප දන්නා නොදන්නා බොහෝ පිරිස් මේ මරණයන්ට ගොදුරු වී ඇත. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ අපේ රටේ ආදිවාසි නායක වන්නිලැ ඇත්තන්ගේ බිරිඳ හීන්මැණිකාගේ මරණය සම්බන්ධයෙනි. කැලෑ ගමේ නායක ඇත්තන්ගේ බිරිඳ වූ හීන්මැණිකා දිවි ගමනින් සමුගත්තේ කිසිවෙකුත් නොසිතූ අයුරුනි. ඒ කොරෝනා වයිරසයට ගොදුරු වීමෙනි. කලක් තිස්සේ වකුගඩු රෝගයයෙන් පීඩා විදි ඇයට මීට කලකට පෙර වකුගඩුවක් බද්ධ කෙරිණි. කෙසේ වුවත් ඇය කොරෝනා වයිරසයට ගොදුරු වුවාය.
දරුවන් නව දෙනෙකුගේ මාතාවක් වූ ඇය මිය යන විට 64 වැනි වියේ පසුවුවාය. ඇය මිය ගියේ ඉකුත් හතරවැනිදාය.
ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය. ආදරණීය මාතාවක් වූ ඇයගේ මතකයන් බොහෝය.
අපේ රටේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමු වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන්ගේත් ආදරණිය බිරිඳ වූ හීන්මැණිකාගෙත් ආදර කතාව අපූරුය. මීට වසර කිහිපයකට පෙර දඹානට මා ගියේ ඒ ආදර කතාව සොයා ගෙනය. ඊට පෙරද කිහිපවරක් එහි ගොස් ඇත. අපේ එදා ගමනට සහාය වුයේ කලක් දඹාන විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ ආරියපාල රත්නායකයන්ය.
වයස අවුරුදු තිහේදී පමණ වන්නිලැ ඇත්තන්ට තම දිවි මඟෙහි සහකාරිය හමුවේ. එය ඔහුට අපුරූ මතකයකි.
‘‘ඒ කාලේ මම කැකුළියෝ එක්ක කතා කරන්න ලැජ්ජයි. යාළුවෝ විහිළු කරනවා. එතකොට මට ලැජ්ජයි. මම ඒ කාලේ දුංකොළ වවලා වේළන තැනක වැඩ කළා. හීන් මැණිකෙත් එතැන සේවය කළා. ඔය කාලේ වෙනකොට හීන් මැණිකෙගෙ අයියත් කැකුළියක් එක්ක යාළු වෙලා හිටියා. මම අයියගේ යාළුවට ගියා . කොහොම හරි මගෙ අප්පිලැත්තන්ටයි අම්මිලැත්න්ටයි කවුදෝ කියලා මම කැකුළියක් එක්ක යාළුයි කියලා. ඒ වෙනකොට මම හීන් මැණිකා එක්ක යාළුවෙලා හිටියේ නැහැ.
අවුරුද්දකට විතර පස්සේ මම මගේ ආදරය ගැන හීන් මැණිකාට කිව්වා. එදා මට තේරුණා ඇය මට කැමැති බව. මේ බව කියලා මාස හතරකට විතර පස්සේ අප්පිලැත්තෝ මේ බව දැනගෙන මට හොඳටම බැන්නා. අප්පිලැත්තෝ මගෙන ඇහුවා කසාඳ බදින්න හදන්නේ රස්සාවක් තියෙනවද , ගෙයක් තියෙනවද කියලා. මම ගෙදරින් ගියා . ඒකාලේ තිබුණා ගොවි හමුදාව කියලා එකක්. මම ඒ ගෙවල් හදන තැනක වැසිකිළි වළවල් කපන්න ගියා. ඒ කාලේ එක වළකට රුපියල් විසිපහක් ගෙවනවා. මම නතර වෙලා හිටියේ මගෙ බෑණා කෙනෙක්ගේ සහෝදරියකගෙ ගෙදර. අප්පිලැත්තෝ දැනගෙන මම ඉන්න තැන. දවසක් අර බෑණා ඇවිත් කිව්වා
“මාමා ගෙදර යමු, නැත්නම් අප්පිලැත්තෝ මාව මරයි කියලා“ එදා බෑණා ගැන හිතලා මම ගෙදර ගියා. ගෙදර ගියේ රෑ වෙලා. අම්මිලැත්තෝ දන්නවා මම ආවා කියලා. පහුවදා උදේ අප්පිලැත්තෝ මට කතා කළා.
“ කැකුළා ඒ කැකුළිට කැමැති නම් අද දවස ඇතුළත එක්ක එන්න කිව්වා. මම කන්න අඳින්න දෙන්නම් කිව්වා.“
ඒක මට ලොකු අභියෝගයක් වුණා. මම මේ ගැන හිත හිතා පාරේ ගියා. ඒ යනකොට හීන්මැණිකේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක පාරේ එනවා. මම ඇයට කතා කරලා කිව්වා වෙලා තියෙන දේ. හීන්මැණිකෙ එවලෙම මා එක්ක එන්න කැමැති වෙලා ආවා. මම ඇයත් සමඟ ගෙදර එනවිට අම්මිලැත්තෝ උයනවා. අපි දවල්ට කෑවා. අප්පිලැත්තෝ හිතුවේ නෑ මම අභියෝගය භාර ගනිවී කියලා. එදා හවස් වෙනකොට හීන්මැණිකෙගෙ අයියා දිග පොල්ලකුත් අරගෙන අපේ ගෙදර ආවා මට ගහන්න . අම්මලැත්තෝ ඔහුට කතා කරලා කන්න දුන්නා. එදා ඔහු යන්න ගියේ අපිට දැනමුතුකම් දීලා. පහුවදා ගෙයක් හදන්න ගත්තා. හේන් කරන්න ගත්තා. ඒ සියලුම දේට එයා මට උදව් කළා.‘‘
එසේ පටන් ගත් වන්නිලැත්තන්ගේ පවුල් ජීවිතය දවසින් දවස සරුවුයේය. සිය පියා වූ තිසාහාමිගෙන් පසු රැහේ නායකත්වය වන්නිලැත්තන්ට හිමි විය.
“මගේ දරුවෝ බොහෝම හොඳින් ජීවත් වෙනවා. හින් මැණිකා විටින් විට රෝගී වුණා. අවසානයේ ඇයට වකුගඩුවක් බද්ධකරන්නට වුනා. හීන්මැණිකාට වකුගඩුවක් දුන්නේ අපේ දුව. “ එදවස ආදිවාසිනායක වන්නිලැත්තන් තම බිරිඳ හා දරුවන් ගැන කතා කළේ එසේය.
මීට පෙර කවුරුවත් මගෙන් බිරිඳ ගැන අහලා තිබුණේ නැහැ. ඇය බොහෝම හොඳ කෙනෙක්. කවුරු මා ගැන මොනවා කිව්වත් හීන්මැණිකාට මා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මගේ බිරිඳ අකුරු දන්නේ නෑ. සමාජයේ ඇවිදලා නෑ. ඒත් මම යමක් කරන්න යන්නට පෙර ඇය සමඟ ඒ ගැන කියනවා. ඇතැම් දේවල් ඇය එපා කියද්දි කරලා මට වැරැදිලත් තියෙනවා.“
එදවස අදිවාසී නායකන් පැවැසුවේ හිනැහෙමිනි. නමුදු අද ඔහු සිටින්නේ බොහෝ ශෝකයෙනි. තමන් සමඟ ජීවිතය බෙදාගත්, ඇය යන්නම යන්න ගොසිනි. දරුවන් සමඟ ඔහු තනිවිය. නමුදු තම වරිග පරම්පරාව වෙනුවෙන් පමණක් නොව දැන් ඔහුට රට වෙනුවෙන් ද යමක් කළ යුතුව ඇත. සිය ආදරණීය සහකාරියගේ වියෝව දැන ගත් මොහොතේ ඔහු පැවැසුවේ රටේ කාටත් පරිස්සම් වන ලෙසය.
කොරෝනා වයිරසය කාටත් පොදුය.
නමුදු මේ මොහොතේ සිය බිරිඳගෙ වියෝවෙන් ඔහු තැවන්නේය. දැවෙන්නේය. ඒ තම ජීවිතයේ ළඟින්ම සිටියේ ඇයම බැවිනි .