උසස් පෙළ ලකුණු අඩු වුණත් ගොඩයන්න පුළුවන් ක්‍රම

මාර්තු 7, 2022

උසස් පෙළ විභාගය වෙනස් කරන හැරවුම් ලක්ෂයකි. මෙවර උසස් පෙළ සඳහා තුන් ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය හතළිස් දෙකක සිසුන් සංඛ්‍යාවක් ඉදිරිපත් වූයේ තමුන්ගේ අනාගතය පිළිබඳ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය. මෙලෙස උසස් පෙළට පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ සියයට හතක් අටක් තරම් ප්‍රතිශතයකි.

ඉතිරි සිසුන්ට උරුම වන්නේ කුමක්ද? තරුණයෙක් නම් ත්‍රී රෝද රථයක් ගෙන පාරට බැසීමද..? තරුණියක් නම් ඇඟලුම් කම්හලක රැකියාවද...? මේ අප සමාජයේ පහසුවෙන්ම සොයාගත හැකි රැකියාවන්ය.

එහෙත් මේ පටු චින්තනය බිඳගෙන ජීවිතය ජය ගත හැකි මාර්ග බොහෝය. ඒ වෙනුවෙන් ඔබ කැප කළ යුත්තේ තවත් කෙටි කාලයකි. මාස හයක් හෝ වසරක් තුළ ඔබට ගැළපෙන හොඳ පාඨමාලාවක් හැදෑරීමට ගත කරන කාලය ඔබේ මුළු ජීවිතයටම ශක්තියකි. එය ඔබගේ මුළු ජීවිතය පමණක් නොව අනාගතයට ද හොඳම අත්තිවාරමකි.

ඔබට උසස් පෙළ ප්‍රතිඵල මදි වෙලා Z-score මදිවෙලා විශ්වවිද්‍යාලයට යන්න බැරිව ළතැවෙන්න අවශ්‍ය නැහැ. උසස් පෙළ අසමත් වෙලා හෝ ප්‍රතිඵල අඩුවුණාම ඔබට යන්න පුළුවන් වෘත්තීය ප්‍රධාන පාඨමාලා බොහෝය. අද අප ඔබට හඳුන්වා දෙන්නේ ඒ පාඨමාලා අතුරින් කිහිපයකි. ඔබටත් මේ පාඨමාලාවක් තෝරාගත් විට එය හැදෑරීමෙන් පහසුවෙන්ම රැකියාවක් සොයා ගන්න හැකියාව ලැබේවි. ඇතැම්විට උපාධියක් හැදෑරීමෙන් ලබන වැටුපට වඩා හොඳ වැටුපක් ලැබෙන රැකියාවකුත් පහසුවෙන්ම සොයා ගන්නත් හැකිවේවි.

1. විවෘත විශ්වවිද්‍යාලය. මේ සඳහා ඔබට යොමුවීම සඳහා විෂය ක්ෂේත්‍ර රැසක්ම වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාලයකට වඩා අඩු මුදලකට මෙහි පාඨමාලා රැසක් පැවැත්වෙන අතර ඒ සඳහා අවස්ථා රැසකි.

2. එසේම රාජ්‍ය විශ්ව විද්‍යාල මඟින් පවත්වන බාහිර උපාධි පාඨමාලා කිහිපයක් ද වෙයි. මේ සඳහා විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී බාහිර පංතිවලට සහභාගි වී හෝ පෞද්ගලිකව අධ්‍යනය කර ඔබට මේ උපාධි පාඨමාලාව සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමි වේ. මෙලෙස පවත්වන උපාධි අතර GAQ, VIIT, Business Management උපාධිය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

 3. කාර්මික විද්‍යාල මඟින් අප රටේ පවත්වන පාඨමාලා රැසකි. වෘත්තීය පුහුණු අධිකාරිය හා රට පුරා පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් පවත්වන පාඨමාලා මඟින් ජාතික මට්ටමේ පාඨමාලාවක් හදාරා තාක්ෂණ විශ්ව විද්‍යාලය මඟින් විශ්ව විද්‍යාලය උපාධිය ලබා පශ්චාත් උපාධිය දක්වා ගමන් කිරීමට අවස්ථාව හිමි වෙයි.

 4. එසේම කාර්මික අධ්‍යයනය සඳහා ඇති ජර්මන් කාර්මික විද්‍යාලය ද එවැනිම පාඨමාලාවකි.

5. තවද ජාතික මට්ටමේ ඩිප්ලෝමා පිරිනමන ආයතනයක් වන්නේ SLIATE (Sri Lanka Institute of Advance Technological Education) ආයතනයයි. එම ආයතනයට අනුබද්ධ වූ තවත් ආයතන රාශියකි. එමඟින් ද ඔබට ඉතාම වටිනා පාඨමාලා රැසක් පවත්වන අතර එම පුහුණුවෙන් පසු වටිනා සහතිකයක් ද හිමි වෙයි.

6. කොතලාවල ආරක්ෂක ඇකඩමිය (KDU) - මේ ආයතනය මඟින් උපාධි පාඨමාලා කිහිපයක්ම පවත්වයි. වෛද්‍ය උපාධිය සඳහා ද අවස්ථාව හිමිවන මෙය ජාතික ආරක්ෂක පීඨය ලෙස නම්කර තිබේ. මෙහි සිවිල් පුරවැසියන්ට ද පාඨමාලා හැදෑරීමට අවස්ථාව දැන් හිමි වී ඇත.

 7. විද්‍යාපීඨ පාඨමාලා - මෙහි වාර්ෂිකව බඳවාගෙන පාඨමාලාව හැදෑරීමෙන් රජයේ ගුරු වෘත්තිය සඳහා සුදුසුකම් හිමිකර කර ගැනීමට අවස්ථාව ලබාදේ. මේ පාඨමාලා ඉදිරියේදී උපාධිය දක්වා හැදෑරීමට ද අවස්ථාව හිමිවනු ඇත.

 8. රජයේ හෙද විද්‍යාලය - හෙද විද්‍යාලය Nursing Training School (NTS) සඳහා තෝරා ගැනීම සිදුවන්නේ උසස් පෙළ විද්‍යා විෂය හැදෑරූ සිසුන්ගෙනි. එසේම පවුල් සෞඛ්‍ය සේවිකාවන් (midwife) පුහුණුව සඳහා උසස් පෙළ සමත් සිසුවියන් බඳවා ගැනීම සිදු කරනු ලබයි. මෙලෙසින් රට පුරා හෙද විද්‍යාල කිහිපයක් සඳහාම වාර්ෂික බඳවා ගැනීම් සිදු කරනු ඇත.

 9. නීති විද්‍යාලය (Law College) - නීතිඥයකුවීම සඳහා ඔබට තේරා ගත හැකි ආයතන දෙකකි. එක් ආයතනයක් වන්නේ නීති විද්‍යාලයයි. එසේම බාහිර විශ්ව විද්‍යාලය මඟින් ද නීතිය හැදෑරීමට පාඨමාලා පවත්වයි. නීති විද්‍යාලයට ප්‍රවේශවීම සඳහා පවත්වන විභාගය සඳහා ආයතන රැසක පංති පැවැත්වීම ද සිදු කරනු ලබයි.

10. විදේශ රැකියා සඳහා පවත්වන පාඨමාලා - කොරියාව හා ජපානයේ රැකියා සඳහා අපේ තරුණ තරුණියන් වැඩි උන්නදුවක් දක්වයි. ඒ සඳහා එම රටවල භාෂා දැනුම තිබීම මූලික සුදුසුකමකි. මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් පාඨමාලා පවත්වන අතර පෞද්ගලික පංති ද රටපුරා පවත්වනු ලබයි.

 

මේ පිළිබඳ තවත් විස්තර හා තොරතුරු දැනගන්න Studentlanka.com වෙබ් පිටුවට පිවිසෙන්න.

සටහන
දුමින්ද කාරියවසම්