කෝවිඩ් අභියෝග හමුවේ HDFC සමඟින් ජය මාවතට...

සභාපතිනී - වසන්ති මංචනායක
මාර්තු 7, 2022

කොවිඩ් 19 රෝගය වසංගතයක්ව තිබී මේ වන විට රට පවතින්නේ යම් සන්ධිස්ථානයකට පැමිණි අවධියකයි. ව්‍යාපාර, ආයතන මෙන්ම පවුල් ඒකකවල ආදායම් පහළ බැස ඇති කාලයකි.

නමුත් අපට ජීවිතය අතහැරිය නොහැකිය. මේ නිසා වඩා යහපත් වූ ආර්ථිකයක් ගොඩනගා ගැනීමට හැකි වන ආකාරයේ මං පෙත් අප සොයා ගත යුතුය. HDFC බැංකුව මේ කරුණු හොඳින් ම අවබෝධ කරගෙන තම සේවාදායකයන්ට උපරිමයෙන් ම සාධාරණයක් සැලසීමට සැදී පැහැදී සිටියි. මේ පිළිබඳ කරුණු දැන ගැනීමට අපි නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ (HDFC) සභාපතිනී වසන්ති මංචනායක මහත්මිය හමුවුණෙමු.

* මේ අමාරු කාලයේ දී සේවාදායකයන්ට ලබා දුන් සහන ගැන කතා කළොත්...

මේ දිනවල දී අපි ණය සහන ලබා දීලා තියෙනවා. දැනට ණය ලබා ගෙන ඇති පුද්ගලයන්ට ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම වගේම ලබාගත් ණය මුදල් එකවර ගෙවීමේදී බැංකුව විසින් අය කළ අතිරේක ගාස්තුවෙන් ණය හිමියා නිදහස් කිරීම මෙහිදී ලබා දී ඇති සහනවලින් මූලික සහන කීපයක්. එමෙන්ම ණය වාරික ගෙවීම් අපහසු වීමේදී අයකරන දඩ මුදල් සඳහා ද සහන ලබාදීමට කටයුතු යොදා තියෙනවා.

* මේ දිනවල ණය ලබා ගැනීමේ ප්‍රවණතාව මොන වගේද?

ණය ලබා ගන්න බොහෝ පිරිසක් උනන්දුයි. මොකද මේ ගතවෙන්නේ අවුරුදු දෙකකට පස්සෙ රට යථා තත්ත්වයට පත්වෙමින් තියෙන වෙලාවක්. ආයෙත් සුපුරුදු ජීවන රටාවට මුහුණ දෙන්න මිනිස්සු උනන්දුවෙන් වැඩ කරන වෙලාවක්. ණය ඉල්ලුම් කිරීම් පවා දැන් online ක්‍රමයට සිදු කිරීමට අප අවස්ථාව සලසාදී තිබීම සේවා දායකයන්ට ලොකු පහසුවක්. බැංකුවේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ e banking මඟින් සිදු කළ හැකිවීම ඔවුන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීමක්. ඒ වගේම කාර්යක්ෂමව කටයුතු කිරීමටත් මේ නිසා හැකියාව ලැබෙනවා.

e banking වලට අමතරව just Pay App හරහා අපේ බැංකුවේ සාමාන්‍ය ගිණුම් (ප්‍රතිලාභ) හිමි ඕනෑම ගිණුම් හිමියකුට විදුලි බිල්පත්, ජල බිල්පත්, දුරකථන බිල් නැතිනම් රීලෝඩ් කිරීම් වැනි ඕනෑම ගෙවීමක් ඉහතින් කී mobile Apps හරහා සිදු කළ හැකියි. මෙය ඉතාමත් කාර්යක්ෂම සේවාවක් නිසා ගනුදෙනුකරුවන්ගේ කාලයත් ඉතිරි කරනවා.

* කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති ණය ව්‍යාපෘති මොනවාද?

අපි අලුතෙන් හඳුන්වාදුන් ණය ව්‍යාපෘතිය තමයි ‘ගුරු සෙවණ‘. මෙය කලින් පැවතුණත් මෙවර නව මුහුණුවරකින් එය හඳුන්වා දී තිබෙනවා. මෙහිදී ණය ආපසු ගෙවීමට රාජ්‍ය අංශයේ ගුරුවරුන්ට වසර 13ක් හා අර්ධ රාජ්‍ය සේවයේ ගුරුවරුන්ට වසර 07ක් ලබා දෙනවා. ඇපකරුවන් ලබා ගැනීමේදීත් සහන සලසා තිබෙනවා.

සෞඛ්‍ය සේවයේ යෙදෙන අය සඳහා ‘සුව සෙවණ‘ ලෙසින් ද මේ ව්‍යාපෘතිය සිදු කරනවා. එමෙන්ම ආරක්ෂක සේවයේ නිලධාරින් සඳහා ද මේ ණය ව්‍යාපෘතිය හඳුන්වා දී තිබෙනවා.

‘ගුරු සෙවණ‘ යටතේ ණය ලබා ගන්න කැමැති අය කිහිපදෙනෙක් එකතු වුණොත් door step service වලින් නිලධාරියෙක් ඒ පාසලට ගිහින් ණය ඉල්ලුම්පත් ආදී ණය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සිදු කරනවා. මේ පහසුකම එම පාසලට ළඟම ශාඛාව හරහා ලබා දිය හැකියි. නැතිනම් බැංකුවේ 0112356800 දුරකථන අංකයට කතා කිරීමෙන් එම පහසුකම හා ණය පිළිබඳ කරුණු දැනගන්න පුළුවන්. HDFC බැංකුවේ ශාඛා 39ක් දිවයින පුරා පිහිටා තිබෙනවා.

* සුළු කර්මාන්ත, ස්වයං රැකියා සඳහා ණය ලබාදෙනවාද?

ඔව්, ව්‍යාපාර ණයවලදී බොහෝ විට සුළු කර්මාන්ත නැතිනම් ගෘහාශ්‍රිත කර්මාන්ත සඳහා අපි ණය ලබා දෙනවා. මෙවැනි කර්මාන්තවල දී බොහෝ විට මූලිකත්වය ගන්නේ ගෘහණියයි. මල් වගාවක්, ඇඳුම් මැසීම, රුපලාවණ්‍ය ආයතන, ආහාර සම්බන්ධ ව්‍යාපාර ආදී බොහෝ ව්‍යාපාර කාන්තාවන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනවා.

අපේ බැංකුව මූලික වෙන්නේ නිවාස ණය ලබා දීමට වුවත් ඒ හදාගත් නිවෙසේ සතුටින් මූල්‍ය අර්බූදයකින් තොරව සිටීමට ඒ පුද්ගලයන්ට හැකි විය යුතුයි. ඒ සඳහා යම් දායකත්වයක්, අතදීමක් වශයෙන් තමයි අපි මෙම ව්‍යාපාර ණය ලබාදීම සිදු කරන්නේ.

විශේෂ ස්තුතිය - අනුර දිසානායක
(ජ්‍යෙෂ්ඨ කළමනාකරු සංවර්ධන ණය)

දීපානි ප්‍රියංකා (කළමනාකාරිනී අළෙවිකරණ)

 

අයන්ති උඩුගම්පල