වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආදරෙයි මං ආදරෙයි
මං නිවෙසට ගියේ යන්නන් වාලේ. දෙපාවලින් පියවර තිබ්බා නොවෙයි ඉබේ යැවුණා කියලා මට හිතුණා. වෙලාව දහයටත් කිට්ටුයි. තාමත් නිවෙසේ විදුලි පහන් දැල්වෙනවා. රැහැයියන්ගේ හඬ පරදන හඬක් ඇසෙන්නේ මුළුතැන් ගෙය පැත්තෙන් පමණයි. බිරිය මගේ හෙට දවසේ කෑමට එළවළු කපනවා ඇති. තව සුළු මොහොතකින් ඇය රාත්රී ආහාරය රැගෙන කෑම මේසයට පැමිණෙනවා.
අද මං ඇයට මාස ගණනක් පුරා සිතේ තෙරපෙන ඉන්න ඒ කතාව කියන්න ඕන. වෙනදට වඩා වේගයෙන් මං ක්රියාත්මක වෙලා. මා ගියේ පුතුගේ කාමරය අසළින් නිසා ඔහු සුව නින්දක බව පෙනුණා. දැන් අපේ කතාවට කිසිම බාධාවක් නැහැ.
මූණ කට සෝදා ගෙන එද්දිත් මට කල්පනා වුණේ සෙනායාව. අද ඇඳ ගෙන ආව දණිස්ස ළඟට දිග ගවුම එයාට හරිම ලස්සනයි. අද දවස පුරාම එයා ඇස්වලින් මොන තරම් කතා කිව්වද ? ඒ සුවඳ තාමත් නාස් පුඬු සිසාරා යනවා. ජීවිතයේ හතළිස් පස් වැනි සැතපුම් කණුව පහුකර ගෙන යන තුරුත් මට ඒ වගේ හදවතට දැනෙන සෙනෙහසක් ලැබිලා නැහැ.
නෙත්මායි සෙනායයි අහසයි පොළොවයි වගේ. නෙත්මාව මං යාළු කර ගත්තේ මොන තරම් අමාරුවෙන්ද? වචනයක් අහ ගත්තේ ගලෙන් පට්ටයක් ගන්නවා වගේ. ඒකට සෙනායා ගිරවියක් වගේ කියවනවා. එයා මගේ හදවතට ආවේ පුංචි සුරංගනාවියක් වගෙයි. ඒ පුංචි සුරංගනාවි මාව ආදරයේ දෙවි විමනට අරගෙන ගිහින්. ආයෙ නම් ඒ විමානෙන් බහින්නේ නැහැ.
මං සාලෙට යද්දි නෙත්මා රාත්රී කෑම මේසයෙන් තබා බලාගෙන ඉන්නවා. "මෝඩ ගෑනි. පිරිමියකුට ආදරය දෙන්න දන්නෙ නැහැ." කටින් පිට කරන්න බැරි වචන ටික සිතින් පිට වුණා.
"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා." මං ඇයට කිව්වම ඇය විමසිලිමත්ව මා දෙස බැලුවා. ඇයි කියා නොවිමසා බලා ගෙන හිටියා. එයාගෙ මූණෙ පුදුමයකට වඩා ශෝකී බවක් ඇතිවෙලා. පුදුමයි. හරියට කියන දේ තේරිලා වගෙයි.
නිහඬතාව බිඳිමින් අවසානයේ ඒ වචන ටික මං කිව්වා. "මට ඔයාගෙන් දික්කසාද වෙන්න ඕන. " ඇය මොහොතකට පණ පිටින් ගල් වුණා ද කියා මට සිතුණා. ජනෙල් කවුළුව දෙස නෙත් යොමා ගෙන ඇය මගෙන් විමසුවේ එක දෙයයි. "ඒත් ඇයි ?"
" ඔයා දන්නවනෙ කාලෙක ඉඳන් අපි අතරෙ හොඳ බැඳීමක් නෑනෙ. අපි ගැළපෙන්නෙ නැහැ. "
"ඒක ඔයාට තේරෙන්න අවුරුදු දහයක්ම ගියා..."
නෙත්මා මගේ නෙත් දෙස බලාගෙන පැවසුවේ එපමණයි.
" මට හැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා දැනෙන්න ගත්තෙ සෙනායා මුණ ගැහුණට පස්සෙ." එයාට ඇත්තම කිව්වෙ මට ඕන සෙනෙහස දෙන්න දන්නෙ නැති නෙත්මා ගැන ඇතිවූ පුංචි කේන්තියකින්.
වචනයක්වත් නො කියා නෙත්මා නිදන කාමරයට ගියා.
මට වගේම එයාටත් එදා රාත්රිය දිගු වන්න ඇති.
පහුවදා සුපුරුදු පරිදි එයා මගේ තේ කෝප්පය ඇඳ ළඟටම ගෙනාවා. පුදුමයි ඒ මුහුණේ කිසිදු වෙනසක් නැහැ. මට ඕන වුණේ ඇයව නුදුටුවාසේ ඉන්න. කොහෙත්ම එයා ගැන තැකීමක් කළේ නැතිව මං තේ කොප්පය තොල ගාන්න ගත්තා. ඒත් එයා මොනවදෝ මට කියන්න බලාගෙන ඉන්න බව තේරුණ නිසා ඇයගේ මුහුණ බැලුවා. "මං දික්කසාදය දෙන්න කැමැතියි. ඒත් ඊට කලින් ඔයා කාරණා කීපයකට එකඟ වෙන්න ඕන."
ඒ වචන ටික කනට මී පැණි වත්කරන්නාක් වැනි අත්දැකීමක් වුණා. දික්කසාදය දෙනවා නම් ඇය කියන ඕනම දෙයකට එකඟ වන්න මං තීරණය කළා. " මට ඔයාගෙන්
ඔයාගෙන් මුදල්වත් වෙන කිසි දෙයක්වත් ඕන නැහැ. මට ඕන මාසයකට පස්සෙ දික්කසාද වෙන්න. ඒ මාසය පුරාම අපි දික්කසාද වෙන තුරුම අපේ නිදන කාමරයේ ඉඳන් ඉස්සරහ දොර ළඟට මාව වඩා ගෙන යන්න ඕන. "
" මේ ගෑනිට පිස්සුද කොහෙද ? " මට එහෙම හිතුණා. දික්කසාදය ලැබෙනවා නම් ඒ පිස්සුවත් මට හොඳයි. සිතට දැනුණේ පුදුම සැහැල්ලුවක්. හරියට මිටින් හළ කුරුල්ලෙකුට වගේ. නෙත්මා දුන් උදේ ආහාරයත් දවල් කෑමත් අරගෙන අඩියට දෙකට මෝටර් රථය වෙතට ගියේ සුසන්තිකා දුවපු වේගයෙන්දෝයි සිතුණා. සෙනායා අද වෙනදටත් වඩා උදෙන් ඇවිල්ලා ඇති.
මං සිතුවා හරි. ඇයට ඒ සුබ ආරංචිය පියාඹන හාද්දකින්ම දුන්නා. ඇය සතුටින් ඉපිල ගියා. එයා නෙත්මාට සිනාවුණා. ඇයගේ උමතුවට අනුකම්පා කරන බව පැවසුවා. අද සෙනායා වෙනදාටත් වඩා හැඩයි වගේ.
පසුවදා උදෑසන නෙත්මාව නිදන කාමරයේ සිට ඉදිරි දොර වෙත ඔසවා ගෙන යද්දි මට දැනුණේ ඇත්තටම මේ මහ පිස්සු වැඩක් කියලා. ඒත් තවමත් ළදරු පාසල් වයසේ සිටින පුංචි පුතුට මේක හරිම විනෝදජනක අත්දැකීමක් වුණා.
සෙනායා උර මත වෙළී ඇති දෑත් තද කරමින් මගේ කනට ළංවී පැවසුවේ අපේ දික්කසාදය ගැන වචනයක්වත් පුතාට පවසන්න එපා කියලා. මාත් ඒකට එකඟ වුණා. එකඟ වුණත් මොකක්දෝ වේදනාවකින් හදවත වෙලා ගත්තා. නෙත්මා බිම තැබුවම පුතා දුවලා ඇවිත් අපි දෙන්නවම බදාගෙන උඩපනිමින් සිනාසුණා. කාලෙකින් පුංචි පුතා ලොකු සතුටක් ලැබුවා.
දෙවැනි දවසේ උදේ නෙත්මා වඩාගෙන යද්දී කලින් දවසේ වාගේ අපහසුවක් දැනුණේ නැහැ. ලේසියෙන්ම බෝනික්කියක් වගේ එයාව ඔසවා ගත්තා. එයා මගේ පපුවට තුරුලු වුණා. එයාගේ විලවුන් සුවඳින් මගේ ගතම නැහැවුණා වගේ දැනුණා. මං කාලෙකින් නෙත්මා දිහා ඇස් කොනකින් වත් හරියට බලලා නැ නේද? මං මගෙන්ම ප්රශ්න කළා. ඇය නිහඬයි. ඒත් වෙහෙසකර බවක් පෙනුණා. අපේ විවාහයේ බර ඇත්තටම දරා ගත්තේ නෙත්මා බව මට හැඟුණෙ එවිටයි.
හතර වැනි දවසේ ඇය උර මතින් ගෙන යද්දි මට හිතුණෙ මේ ලස්සන ගෑනිට මං මොන අපරාධයක්ද කරන්න යන්නෙ කියලයි. දෙයියනේ එයාගෙ ලස්සන ජීවිතෙන් අවුරුදු දහයක්ම මං වෙනුවෙන් කැප කරලා.
පස්වැනි දවස උදා වුණා. එදා මට දැනුණේ අපේ මංගල රාත්රිය ගත කරනවා වගේ හැඟීමක්. ඒත් ඒ සතුට මැද්දේ එයා තවත් කෙට්ටු වෙලා. දුර්වල වෙලා බව පෙනුණා.
හයවැනි දවසේ ඇය ඔසවා ගෙන ඉදිරි දොර වෙත ගොස් බිම තැබුවේ නැහැ. එයාව යළි අපේ නිදන කාමරයටම රැගෙන ගිහින් සෙමෙන් ඇය ඇඳ මත තැබුවා. ඇයගේ නළලට පුංචි හාදුවක් දුන්නා. " මට සමාවෙන්න. ඔයාව දික්කසාද කරන්න හිතුවට. මං කවරදාවත් ඔයාව දික්කසාද කරන්නේ නෑ. " මං සිතින් එසේ පැවසුවා. ඇය සෙනෙහසින් ම'දෙස බලා හිටියා. එදා ඇයගෙන් සමු ගෙන රැකියාවට ගියේ පුංචි පුතා ළදරු පාසල් ගිය පළමු දවසේ අකැමැත්තෙන් ගියා වගේ.
මෙපමණ කාලයක් මං නෙත්මාට ආදරය කරලා නෑ. පුංචි පුංචි දේවල්වලට විවාහයක මොනතරම් චමත්කාරජනක මායාවන් පාන්න හැකිද ? ජීවිතයේ රස තැන් නීරස කර ගත්තේ එයා නෙවෙයි මමයි. මං මට ම දොස් පවරා ගත්තා.
සෙනායාට මං කිසිදවසක නෙත්මා දික්කසාද නො කරන බව පැවසුවාම යක්ෂණියක් මෙන් මා දෙස රවා බැලුවා. කිසිවකු සිටිනවාදැයි බැලීමට වටපිට බැලූ ඇය මගේ කම්මුලට ද ගසා පිටවුණේ සාප කරමින්. ඇයගේ සුන්දර රුවේ සඟවා ගෙන සිටි ගිනිදැල් පිට වන්න ගත්තා. තව පොඩ්ඩෙන් මා ඒ ගින්නේ දැවී අළුවී යනවා. නෙත්මා ඇය ඔසවා ගෙන යාමට නොකිව්වා නම් අද මං මේ මිරිගුවේ අතරමං වන්නේ පුංචි පුතුත් සමඟයි. එදා රැකියාව නිමවී මං කෙලින්ම මෝටර් රථය පදවා ගෙන ගියේ මල් කඩෙන් ලස්සන රතු රෝස මල් පොකුරක් අර ගන්න. දස වසරක් පුරා මගේ දුකට සැපට සෙවනැල්ල මෙන් සිටි දයාබර බිරිය රෝස මල් පොකුර ළමැදට තුරුලු කරගෙන මඳහස පාන තුරු මට ඉවසිල්ලක් නැහැ. වාහනය පෝටිකෝවේ නවත්වා මං මුළුතැන් ගෙට දිව ගියා. ඇය එහි සිටියේ නැහැ. අවසානයේ මං උඩ තට්ටුවේ ඇති අපේ නිදන කාමරය වෙත දිවගියා. ඇය සයනයේ වැතිර සිටියා. මං සෙමෙන් සෙමෙන් ළං වුණේ එක්වරම ඇය තිගැස්සවා පුදුමයට පත් කිරීමටයි. එහෙත් ඇය තද නින්දේ. නෙත්මා යළි කිසි දිනක අවදි නො වන ලෙස නින්දට ගොස් ඇති බව මට වැටහුණේ ඇයගේ දෑත් අල්ලා ගත් විටයි. ඒ දැත් හොඳටම සීතලයි.
නෙත්මා පියයුරු පිළිකාවකින් මාස ගණනක් පීඩා වින්දා. සෙත්මාට සෙම්ප්රතිෂ්යාව වැලඳුණත් කලබල වුණු මං නෙත්මාගේ පිළිකාව ගැන විමසීමට තරම් කාරුණික වුණේ නැහැ. මට මං ගැනම ඇති වුණේ ඉහවහා ගිය කෝපයක්. රෝසමල් පොකුර ඇයගේ ළමැදෙන් තැබූ මං ගියේ පුංචි පුතුගේ කාමරයට. ඇය තමන් ඉක්මනින් මිය යන බව දැන සිටින්න ඇති. ඇයට වුවමනා වුණේ පුතුට අප සතුටින් ජීවත් වන අම්මා තාත්තා කෙනකු බව හැඟවීමටයි. නෙත්මා දුන් නෙත් මා යළි කිසි දිනක අන්ධ කර ගන්නේ නැහැ. නෙත්මාගේ නළලට අත තබා දිවුරුවත් දැන් පමා වැඩියි.
විවාහ ජීවිතයේදී පුංචි පුංචි දේ ගැනත් සැලකිලිමත් විය යුතුයි. එසේ සැලකිලිමත් නො වුණොත් ඇතිවන විශාල රික්තකය කිසි දිනක පිරවීමට බැහැ. හරියට මට නෙත්මා ට රතු රෝසමල් පොකුර දී "මං ඔයාට ආදරෙයි. ජීවිතේට ඔයාව දික්කසාද කරන්නේ නෑ " කියන්න බැරි වුණා වගෙයි. වයස අවුරුදු විසි අටක තරුණියක හතළිස් හැවිරිදි විවාහක එක්දරු පිරිමියකුට පුදන සෙනෙහස කෙබඳුදැයි මගේ බිරිය නිසා මට වැටහුණා. වත්පොහොසත්කම්, රැකියාව අහිමිවූ තැන සෙනායා වැන්නන් පලා යන්නේ පැදුරටත් නො කියා. එහෙත් මං අාබාධිතයකු ලෙස සයනයේ සිටියත් නෙත්මා වැන්නියක හැර යන්නේ නැහැ. ඒ බව අවබෝධ වන විට ඇය මට නො කියාම යන්න ගිහින්. අද උදෑසන සිතින් පැවසූ වදන් මුවින් ඇයට පවසන්න හැකි වූවා නම් ......... ප්රමාදය විවාහයට මොන තරම් හලාහල විසක්ද?