වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
භාවනාව සහ ජීවිතය දෙකක් නොව එකක්මය
මඟ ඵල ලබන්නට නම් වෙර වීරියෙන් භාවනා කළ යුතුයි. ඒ වෙනුවෙන් ම කැප වී සිත දියුණු කළ යුතුයි. එසේ සිත දියුණු කරගෙන මඟ ඵල ලැබූ අපේ කාලයේ ගැහැනියකගේ කතාවේ අවසන් කොටසයි මේ. දීපා මා නම් වූ ඇගේ කතාව ඔබේ ජීවිතයට ද වෙනසක් ගෙනෙනු ඇත.
කෙසේ හෝ දීපාගේ භාවනා ඉගැන්වීම ගැන කටින් කට පැතිරෙන්න විය. වැඩිදෙනා සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අය විය. ඇය ඔවුනට කතා බහ කරන විට, ඉවුම් පිහුම් කරන විට, දරුවන් බලා ගන්නා විට මේ සියල්ල කරන විට සතිමත් වන අයුරු ඉගැන්වීය. “ ජීවිතය සහ භාවනාව යනු දෙකක් නොව එකක් ම ය” ඇගේ නිරන්තර පණිවුඩය විය.
සිය සිසුන්ට කරන්නට කී සියල්ල ඇය ද ඒ අයුරින් ම සිදු කළා ය. නිති පන්සිල් රැකීම, පැය හතරක් පමණක් නිදා ගැනීම, දිනකට පැය කිහිපයක් භාවනා කිරීම ඒ චර්යාවන් විය. බෙන්ගාලුවන් නිරන්තර දොඩමලු වීමට ප්‍රිය කළ ද දීපා මා නිහඬ බව අගය කළාය. ඇය ඇසුරට ආ බොහෝ දෙනා නිරායාසයෙන් ම නිහඬ විය.
කාලය ගත වෙත් ම ඇගේ අසපුව ඉන්දියානුවන්ගෙන් පමණක් නොව බටහිර භාවනා සිසුන්ගෙන් ද පිරෙන්නට විය. සමහර දිනෙක බොහෝදෙනාට එළියේ සිටගෙන සිටින්නට සිදුවිය. ඇගෙන් භාවනාව ඉගෙන ගත් රශ්ටපාල මහ නායක හාමුදුරුවන් 1970 වසරේ දී ඉන්දියාවේ පළමු විදර්ශනා භාවනා මධ්‍යස්ථානය බුද්ධගයාවේ ඇරැඹීය.
දීපා මා ගේ ආගමනයෙන් පසුව කළහකාරී, ඝෝශාකාරී එම කල්කටා තට්ටු නිවාස පරිසරය ද සන්සුන් වන්න පටන් ගත්තේය.
ජෝසෆ් ගෝල්ඩ්ස්ටයින් දීපා මා මුණ ගැසෙන්නට පැමිණි පළමු උතුරු අමෙරිකානු භාවනා ශිෂ්‍යයා යි. (ගෝල්ඩ්ස්ටයින් අමෙරිකාවේ විපස්සනා භාවනාව ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා යි. ඔහු විසින් රචිත ඉතා විශිෂ්ට බෞද්ධ පොත් ගණනාවකි.)
ඔහුට දීපා මා ව මුලින් ම හමු වූ අවස්ථාව ගැන සඳහන් කරන්නේ මෙසේ ය.
“සිව් වැනි මහලේ පිහිටි ඇගේ කුඩා කුටියට පිවිසීමට සෙනගින් පිරුණු අඳුරු පටු මාවත් ගණනාවක් පසු කරමින් යන්නටත් එවැනිම අඳුරු පියගැට පෙළක් තරණය කරන්නටත් සිදු විය. නමුත් ඇගේ කුටියට පැමිණි වහාම ඒ තුළ මහත්වූ ප්රභාවක් තිබෙන සෙයක් දැනිණ. ඇගේ හමුවෙන් පසුව අපිරිසුදු, සෙනගින් පිරුණු කල්කටා නගරයේ කලබලකාරී මාවත් අතරින් මා ගමන් කළේ පා වෙන්නා වැනි හැඟීමකිනි. එය එතරම් ම අපූර්ව පූජනීය අත්දැකීමක් විය”.
ජෝසෆ් ගෝල්ඩ්ස්ටයින් ගේ හමුවෙන් පසු දීපා මා ගැන තොරතුරු අමෙරිකාවේ විපස්සනා භාවනා සිසුන් අතර ප්‍රචලිත විය. 1980 දී ඔවුන් ඇය අමෙරිකාවට ගෙන්වා ගත්හ. 69 වැනි වියේ දී සිය දුර්වල සෞඛ්‍ය තත්ත්වය මැද වුවත් ඇය එම ආරාධනය පිළිගෙන සිය දියණියත් ඇගේ කුඩා දරුවාත් භාෂා පරිවර්තකයෙක් සමඟින් කැලිෆෝනියාවට සැපත් විය.
අමෙරිකාව ඇයට අරුම පුදුම තැනක් විය. වතුර මලෙන් දිය නෑම, බල්ලන් ගෙතුළ සිටීම සහ උන්ට බඳුන්වල කෑම දීම, නගරයේ බිත්තිවල තිබෙන පෙට්ටියක් වැනි තැනකින් මුදල් ලබා ගැනීමට හැකි වීම ඇයට මැජික් විය.
ඇය පළමු වරට ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා අයුරු බලා සිට “අනේ පවු, ඒ බිත්තිය ඇතුළෙ තියෙන කුඩා කාමරයේ දවස පුරා සිටින මිනිසාට ඔබගේ කාඩ් එක කියවා මුදල් දීම, මොනතරම් පීඩාකාරී කටයුත්තක් වන්නට පුළුවන් ද?" කියා පවසා ඇත. එවිට ඇගේ අමෙරිකානු මිතුරෙක් පවසා ඇත්තේ ‘නැහැ දීපා මා. ඒ පෙට්ටිය තුළ කෙනෙක් නැහැ. කිසියම් තාක්ෂණික ක්‍රියාවලියක් සිදුවනවා, එපමණයි” කියා යි. ඇගේ ක්ෂණික පිළිතුර වී ඇත්තේ “ හරියට අනාත්මය වගේ” එම මොහොතේ ම එම සංසිද්ධිය පාදක කොට ගෙන අනාත්මය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත. එම සංචාරයේ දී ඇය විශාල අමෙරිකානු සිසු පිරිසකට විදර්ශනා භාවනාව උගන්වා ඇත. ඇය අවසන් වරට අැමරිකාවට ගොස් ඇත්තේ 1984 දී ය. 1989 සැප්තැම්බර් 1 වැනිදා හැන්දෑවේ සිය දියණිය නිවෙසට පැමිණෙන විට දීපා මා අසනීපයෙන් සිටියා ය. ඇය දොස්තර කෙනෙක් ගෙන්වන්නට අකැමැත්තෙන් වුවත් ඉඩ දුන්නා ය.
සිය දියණිය පිරිත් කියද්දී දොහොත් මුදුන් දී අසාගෙන සිටියදීම ඉතා ශාන්ත ලෙස ඇගේ ප්‍රාණය නිරුද්ධ විය. දින කිහිපයකට පසු විශාල ජනකායක් මැද ඇගේ අවසන් කටයුතු සිදු කෙරිණි. ආදාහනයට ඇගේ නිසල සිරුර ඔසවන විට එය සිය සිසුන් විසින් අතුරන ලද මල්වලින් සම්පූර්ණයෙන් ම වැසී ගොස් තිබුණි.
දීපා මා ගේ ප්‍රකට ඉගැන්වීම්
1. ඔබට භාවනාවෙන් ප්‍රගතියක් ලබා ගැනීමට අවශ්‍ය නම් එක ක්‍රමවේදයක් දිගටම භාවිත කරන්න.
2. දිනපතාම භාවනා කරන්න. මේ මොහොතේ භාවනා කරන්න. පසුව වැඩියෙන් භාවනා කරනවා කියා නොසිතන්න.
3. ඕනෑම අවස්ථාවක් ධර්මය දැකීමට සුදුසුයි. අප සියලුදෙනා සතුව අසීමිත ශක්තියක් ඇත. එය අපට මෙන්ම අනෙක් අයට ද යහපතක් කරන්න භාවිතා කරන්න.
4. ඉවසීම පුරුදු කරන්න. සතිමත් බව සහ චිත්ත සමාධිය වඩන්නට අත්‍යවශ්‍ය ගුණයකි ඉවසීම.
5. ඔබේ සිත නිදහස් කරගන්න. එය පුරාම ඇත්තේ කතන්දරයි. ඒවා අත්හරින්න.
6. කේන්තිය ගින්නක්. එය නිවා ගන්න.
7. භාවනා මාර්ගය සතුටින් යා යුත්තකි. ඔබ අවංකව භාවනා කරන්න. ඔබටත් සතුටින් සිටිය හැකියි.
8. සැහැල්ලු සරල ජීවිතයකට පුරුදු වන්න. එය සෑම අතින් ම සුදුසුයි. වැඩි සැප භාවනා මාර්ගයට බාධා ඇති කරයි.
9. ඔබ අවට සිටින සියලුදෙනාට ආශීර්වාද කරන්න. මෙත් වඩන්න. එයම ඔබ සෑම මොහොතකම සිහියෙන් සිටින්නට දිරිමත් කරනු ඇත.
10. භාවනාව යනු සමස්ත ජීවිතයම වෙලාගන්නා ක්‍රියාවලියකි. එය ඔබේ ජීවිතයමයි.