ෆෝන් එක Slow නම් මෙහෙම Speed වැඩි කරගන්න

මැයි 30, 2022

 

මොබයිල් ෆෝන් එකක් අරගෙන අවුරුද්දක් විතර යද්දී ටික ටික ස්ලෝ වෙන්නත් ස්ටක් වෙන්නත් ගන්නවා. එය සාමාන්‍ය දෙයක්. දැන් එන ඇප්ස්වල බරත් වැඩියි. ඒ වගේම අපි කරන වැඩ ප්‍රමාණයත් වැඩියි. එය ෆෝන් එකට දරාගන්න අමාරු වෙනවා. ඇතැම් වෙලාවට ලොකු ස්ලෝ එකක් නැතත් කැමරා ඇප් ඕපන් වෙන්න නම් බොහෝ වෙලාවක් ගත වෙනවා. මේ ගැටලුවලට ප්‍රධානතම හේතුව වන්නේ Storage එක මදි වීමයි.

විවිධ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනවල විවිධ Storage ප්‍රමාණයන් දකින්න ලැබෙනවා. උදාහරණයක් ලෙස 8GB, 16GB, 32GB, 64GB, 128GB ආදී වශයෙන් දැක්විය හැකියි. සමහර ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනවලට memory card එකක් පිටතින් දැමිය හැකි වන අතර සමහර ජංගම දුරකථනවල එසේ ද කළ නොහැකියි. ඉතින් එහෙම අවස්ථාවලදී ෆෝන් එකේ internal storage එකේ ඇති ඉඩ ප්‍රමාණය පමණක් භාවිත කිරීමට සිදුවනවා.

කෙසේ වෙතත් I phone වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන කාලයක් භාවිත කරන විට යම් විදිහක වේගය අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊට අමතරව Storage එක අඩු වීමකුත් දකින්නට ලැබෙනවා.

 

මෙසේ සිදු වන්නේ ඇයි?

කාලයක් ජංගම දුරකථනය භාවිත කිරීමේ දී එයට ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේ දී සහ අන්තර්ජාලය තුළ සැරිසැරීමේදී ජංගම දුරකථනයට අනවශ්‍ය තාවකාලික ෆයිල් රැසක් එකතු වේ. එමඟින් එම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය යම්තාක් දුරට වේගය අඩු කිරීමක් කරන අතර Storage එක ද අඩු කරයි. මේවා junk ෆයිල් යනුවෙන් හඳුන්වයි. තවද android apps වලින් සෑදෙන Cache data ද ඇත. මේ සියලු දේ මඟින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය Slwo කිරීමකට සහ Storage අඩු කිරීමකට ලක් වෙනවා.

Storage එක Full වීම පාලනය කර ගැනීමට ක්‍රම කිහිපයක්ම තිබෙනවා.

එක් ක්‍රමයක් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබෙන apps ඔබගේ memory card එකට move කිරීමයි. මෙහිදී සමහර ෆෝන්වල ඔබට එම android apps move කිරීමට system එක හරහාම හැකියාවක් ඇත. එසේත් නැත්නම් ඔබට phone එකක් root කිරීම මඟින් ද එම කාර්යය ඉටු කරගත හැකියි.

ඒ වගේම සීමිත දුරකථන ප්‍රමාණයකට පමණක් සිදු කළ හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. ඔබගේ ජංගම දුරකථනයේ Android Marshmallow මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නම් ඔබට ඔබගේ මෙමරි කාඩ්එක internal storage එක හැටියට සකස් කර ගැනීමේ හැකියාවක් පවතී.

තවද android දුරකථනයේ setting මෙනුව වෙත ගොස් device maintenance option එක මත tap කර storage option එක තෝරා එමඟින් storage clear කිරීමෙන් ඉඩ සකසා ගත හැකියි.

 

දුරකථනය ස්ලෝ වෙලා

තමන්ගේ දුරකථනය වෙනදාට වඩා වේගය අඩු බව දැනෙනවා නම් මුලින්ම සොයා බලන්න වේගය අඩුවෙලා තිබෙන්නේ ඔබේ Internet Connnection එකේද කියලා. මොකද ගොඩක් අය තමන්ගේ දුරකථනයේ වේගය අඩු වෙලා කියලා මැසිවිලි නඟන්නේ තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩුවීමක් නිසා වෙන්න පුළුවන්.

නමුත් වේගය අඩුවීම තිබෙන්නේ දුරකථනයේ නම් එය මෙහෙයුම් පද්ධතියේ තිබෙන ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා ඇති වූ දෙයක් වෙන්න පුළුවන්.

 

සමහර වෙලාවට stuck වෙනවා

මෙහෙම දේවල් වෙන්න ප්‍රධානම හේතුව තමයි රැම් එකේ ධාරිතාව අඩුවීම. ඔබට කරන්න තිබෙන වැඩ කන්දරාව වැඩිනම් දුරකථනයේ තාවකාලික මතකය හෙවත් රැම් එක දත්තවලින් පිරෙන්න ගන්නවා. stuck වීමට හේතුවකි.

තාවකාලිකව මේ තත්ත්වයෙන් මිදෙන්න නම් එක වරක දී භාවිත කරන මෘදුකාංග ප්‍රමාණය අඩු කරන්න.

තවද මේ සඳහා ඔබට කළ හැකි යම් සාර්ථක ක්‍රමයක් ඇත. google play store එකේ ඇති clean master වැනි app එකක් භාවිත කළ හැකිය. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරයේ ඇති ජන්ක් ෆයිල් සොයාගෙන ඒවා මකා දැමීම මෙම ඇප් එක හරහා කර ගත හැකියි.

 

අනවශ්‍ය ඇප්ස් ඉවත් කරන්න

play store එකට ගියාම නානප්‍රකාර ඇප්ස් install කළාම Internal Storage එක ඉක්මනින් පිරෙනවා. ඒ එක්කම Background run වෙන ඇප්ස් ප්‍රමාණය වැඩි වෙලා run එකට ඔරොත්තු දෙන්න අපහසු වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය app පමණක් තියාගෙන අනවශ්‍ය ඒවා Uninstall කරගන්න.

 

විජට්ස් අයින් කරන්න

Home screen එකේ විජට්ස් ගොඩක් දාගෙන ඉන්නවා නම් ඒවා අඩු කරගත්තාම ෆෝන් එකේ වේගය වැඩි කරගන්න පුළුවන්. මොකද මේවා වැඩි වුණාම මුල් තිරයේම ෆෝන් එකට වැටෙන බර ප්‍රමාණය වැඩි වෙනවා.

Huawei, Xiaomi වගේ ෆෝන්වල එන default launcher එකේ නම් ඇපල්වල වගේම Home Screen එකක් නම් නැහැ. එහෙම නොවන ඒවායේ විජට් එක උඩ ටච් remove කරන්න.

 

 

 

උපදෙස් -

අනුරාධ කාරියවසම්

ශ්‍රී ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක