මම ගැන පුංචි ආඩම්බරයක් තියෙනවා...

සැප්තැම්බර් 5, 2022

 

"පොඩි දුව ඉපදිලා එයාගේ දකුණු අත අප්‍රාණිකයි කියලා දැනගත්ත වේලාවේ මගේ ජීවිතය කඩා වැටුණා වගේ දැනුණා. එතකොට මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් හිටියේ. දරුවා වෙනුවෙන් කැපවෙනවා කියලා හිතාගෙන ඒ රැකියාවෙන් ඉවත් වුණා.

 

එයා ඉපදෙන කොට අත හොළවන්නවත් බැහැ. ඇඳුමක්වත් අන්දවන්න බැරි තරමට අප්‍රාණිකවයි දකුණු අත තිබුණේ. දරුවාගේ අතේ ඇඟිලි පිටේ වදිනවා. නමුත් දරුවා සනීප කර ගන්නා උත්සාහය අපි අත්හැරියේ නැහැ. මුලින්ම දරුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා. ඒ ඉස්පිරිතාලේ දොස්තර මහත්වරු තමයි අත පහළට හිටින්න හදලා දුන්නේ. ඒ ප්‍රතිකාර කරන කාලේ අත තිබුණේ පණ නැතුව වැලක් වගේ එල්ලිලා.

ඒ අතරේ අපට මාතලේ වෙද මහත්තයෙක් හම්බ වුණා. එතකොට දුවට අවුරුදු 1 1/2ක් විතර ඇති. ඊට පස්සේ ඒ වෙද මහත්තයා කිව්වා දැන්ම ඔපරේෂන් කරන්න එපා. මේ අත මම වැඩ කරන්න හදලා දෙන්නම් කියලා. අපි ඊට පස්සේ සිංහල බෙහෙත් කළා. එයින් පසුව තමයි දුවට අතින් වැඩක් කරන්න පුළුවන් මට්ටමට ආවේ. අවුරුදු දෙකකට පස්සේ තමයි අපි දුව රිජ්වේ ආර්ය ළමා රෝහලට ගෙනිහින් ශල්‍යකර්මයක් කරන්න යොමු කළේ." මේ කතාව අපට කිව්වේ පැරා ඔලිම්පික් යෞවන ක්‍රීඩා උළෙලේ දී රන් පදක්මක් දිනූ ජනනී වික්‍රමසිංහගේ මවයි.

එක් අතක් පණ නැතිව ජීවය ලැබූ දැරියක් සියල්ලන්ම පුදුමයට පත් කරමින් අපේ පුංචි දිවයින රනින් බබළවන්නට තරම් හැකියාවක් උදා කර ගැනීම විස්මිතය. ඇගේ මේ සුවිශේෂී හැකියාව පිළිබඳ අසීමිතව ආඩම්බර වන්නේ ඒ සඳහා ඈට දිරිදුන් ආදරණීය මව සහ පියායි. තම දෑත දෙපය සවි ශක්තිය තිබිය දී අනුන්ගෙන් ජීවිතය ඉල්ලා හඬ වැටෙනවා වෙනුවට ඇය එක් අතක් හිමිව රන් පදක්කමක් දිනා ගැනීම අපගේ දේශයේ දූදරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කදිම ආදර්ශයකි.

 

ඉතින් අපි කතාකරමු.

ඇය කුලියාපිටියේ ජනනී වික්‍රමසිංහයි. නව යෞවනයේ විකසිත වෙන පියුමක් ලෙසින් අැය ලෝකය දකින්නේ සියල්ල පරිපූර්ණ දරුවකු ලෙසින් නම් නොවේ. තම දකුණු අත අප්‍රාණිකව මෙලොව උපත ලබන ජනනී අවුරුදු 17 දී පැරා ඔලිම්පික් ජයග්‍රහණයක් හිමි කර ගන්නට වාසනාව හිමිවන්නේ පසුගිය දා ඉන්දියාවේ බැංගලෝර්හි පැවැති යොවුන් පැරා ඔලිම්ලිපික් තරගාවලියේ දී ය.

දුව මොන්ටිසෝරි ගියා. එයින් පස්සේ පාසල් යන්න පටන් ගත්තා. ඒ කාලේ දරුවාට ක්‍රීඩා කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි ඒකට ඉඩ දුන්නෙත් නැහැ. එයාගේ අතට කරපු ලොකු ඔපරේෂන් එක නිසා. ඒත් දරුවාගේ නම් ආසාවක් තිබුණා. ඒත් එයාගේ තත්ත්වය අපි හරියටම දන්න නිසාත් ආයෙත් හදාගන්න අපහසු නිසාත් අපි ක්‍රීඩා කරන්න දුන්නේ නැහැ.

2019 දුව මට කිව්වා.... “අම්මේ මට දුවන්න හිතෙනවා දුවන්න ද" කියලා. මම කිව්වා එහෙනම් වැටෙන්නේ නැතුව දුවන්න කියලා. එයාලට ක්‍රීඩා පිටියක් නැති නිසා කුලියාපිටියේ ශිල්ප චාරිකා පිටියට තමයි ගියේ. එතකොට තමයි එයාගේ සර් මුණ ගැහුෙණ්. එයින් පස්සේ දුව දිගටම ක්‍රීඩා කළා. දුවට තනියම කොණ්ඩේ බැඳගන්න බැරුව හිටියේ. මේ තරගාවලට යනකොට ඒකත් තනියම කරගන්න එයාට පුළුවන් වුණා."

ජනනීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරන්නේ ඇයට අහම්බෙන් දක්ෂ ක්‍රීඩා පුහුණු ගුරුවරයකු හමු වීමෙනි. ඔහුගේ හමුවීමත් සමඟ ඇය ජාත්‍යන්තරය දක්වා පියවර තැබු‍වේ විශාල කැපවීමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ ගමන් මඟ ගැන ඇය අපට සඳහන් කළේ සතුටකිනි.

 

මේ ජයග්‍රහණය පිළිබඳ ජනනීගේ අදහස්.....

 

"මම පාසල් යන්නේ කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයට. මේ අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙළ අවසන් කළේ. මගේ පියා වජිර වික්‍රමසිංහ. ඔහු විදුලි කාර්මිකයෙක්. මට තව අයියෙක් ඉන්නවා. මම මුලින්ම අපේ පාසලේ පුහුණුවීම්වලට ගියා. ඒ යනකොට තමයි නලින් ද සෙනරත් සර් මම ක්‍රීඩා කරනවා දැකලා මට කතා කළේ. මගේ අත වෙනස් නිසා ඔහු මට පුහුණුවීම් කරන්න පාසලෙන් හා මව්පියන්ගෙන් අවසර ගත්තා. එදා ඉඳලා අවුරුදු තුනක් දිගටම පුහුණු වුණා. මේ අවුරුද්දේ තමයි ඉන්දියාවේ ජාතික පැරා ඔලිම්පික් තරගයට ගියේ. අපි ආරාධිත කණ්ඩායමක් හැටියට තමයි ක්‍රීඩා කළේ. අපේ කණ්ඩායමේ නව දෙනෙක් හිටියා. මම ක්‍රීඩා කළේ දුර පැනීම. හොඳ තරගයක් දුන්නා. මිනිත්තු 5. 011ක දක්ෂතාවක් පෙන්නලා තමයි රන් පදක්කම හිමිකර ගත්තේ.

මුලින්ම ජාතික පැරා ක්‍රීඩා උත්සවයකට සහභාගී වුණේ 2019 අවුරුද්දේ. ඒ තරගාවලියේ දී මීටර් 100, 200 දුර පැනීම තරග තුනෙන්ම රන් පදක්කම් දිනා ගත්තා. ඊට පස්සේ කනිෂ්ඨ හොඳම ක්‍රීඩිකාව වෙන්න පුළුවන් වුණා. මේ අවුරුද්දේ නම් දිනා ගත්තේ රිදී පදක්කම විතරයි. ඒ තරගය විවෘත තරගාවලියක්. මගේ හැමදේම හොයලා බලලා කරන්නේ අම්මායි තාත්තායි. ඒ දෙන්නම ක්‍රීඩා කරන්න අවසර දුන්නා. හැබැයි අධ්‍යාපන කටයුතු අතපසු කරන්න එපා කියලා තමයි හැම වෙලාවෙම කියන්නේ. මලල ක්‍රීඩාවට පොඩි කාලේ පටන්ම ආසාවක් තිබුණත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි නලින් සර් හම්බ වුණාට පසුව ඔහු මාව දිරිගන්වලා පියෙක් වගේ මට අත දුන්නේ. 2021 දී යොවුන් ක්‍රීඩා උත්සවයක් බහරේන්වල පැවැත්වුණා. ඒ තරගයේ දි ක්‍රීඩා ඉසව් තුනෙන්ම ලෝකඩ පදක්කම් ලබා ගත්තා. ඇත්තටම දැන් මම ඉන්න මට්ටම ගැන පුංචි ආඩම්බරයක් තියෙනවා. ක්‍රීඩාවයි අධ්‍යාපන කටයුතුයි සමබරව කරගෙන ඉදිරියට යෑම තමයි මගේ එකම සිහිනය"

ජනනීට ඇත්තේ අපේක්ෂා දැල්වූ අවිහිංසක හීනයකි. එය ඇයට ජය ගැනීමට ද අපහසු නොවේ.ඈ සතු වූ ආත්ම විශ්වාස හා කැපවීම දිනෙක ඇයට තවත් ජයග්‍රහණ හිමිකර දෙනු ඇත.

 

ඡායාරූප

ස්ටුඩියෝ ෆ්ල්ම් පික්ස් හි

නලින් රත්නායක