වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මගේ පුතා අපේ වත්තට රාජ කිරුළ අරන් ආවා
උදේ පහේ කනිසමට සෙම්බුව නාද වූයේ පළාතම අවදි කරමිනි. මීදුමෙන් වැසී ගිය ගනඳුර අතුරින් හමා එන්නේ හිරිගඬු පිපෙන සීතලකි. ගතට වාරු නැති වුණත් සිතට වාරු ගත් සුගනලෝජීනී කුප්පි ලාම්පුවක් දැල්වූයේ ලයිම් කාමරයේ ගනඳුර නිමමින් කුස්සියේ දොර පළුවක් යාන්තමින් විවෘත කරමිනි.
තවමත් මහ පොළොවට හිරු එළිය වැටෙන්නට කාලය ඉතිරිය. ඇලුමිනියම් කෝප්ප පෙළට තබා තේ මඩියෙන් කහට වත් කරන ශබ්දයට දියණිය නිදිගැට කඩමින් කුස්සියට ආවේ තරමක අලසකමකින් පිරි ගමනකිනි.
අයියෝ.... මගල් උඔත් තව ටිකක් මහන්සි වුණා නම් හරිනේ.... බලපන් මගල් දැන් උඹලගේ අයියා... මුළු වත්තටම ආඩම්බරයක්නේ. කමක් නැහැ මගල් උඹේ කැමැත්තනේ. හැමොටම විශ්වවිද්‍යාලයට යන්න ලැබෙන්නේ නැහැනේ. ඒ අතින් උඹලගෙ අයියා දක්ෂයා. මගේ මහන්සියේ ප්‍රතිඵල තිෙයනවනේ. අපේ කොල්ලා මේ වත්තටම රජකම ගෙනාවා. මට ඒ ඇති මුළු ජීවිතයටම. අද අපේ කොල්ලව පිළිගන්න මුළු වත්තම ලැහැස්ති වෙනවා. ඇත්තටම උඹලගේ තාත්තාත් සනීපෙන් හිටියා නම්.... මොනතරම් ද? එහෙනම් මානික්කම් අද මුළු වත්තටම ලොකු කෑමක් තමා දෙනවා...."
මෙලෙසින් ඇය තම සතුටු කඳුළු වගුරවමින් දියණියට පවසන්නේ තම වැඩිමහල් පුතාගේ ජයග්‍රහණයේ සතුට ගැන තවත් කියන්නට කෙනෙකු නැතිවය. සැබැවින්ම ඇය සැබෑම දිරිය මවකි. මේ මහ පොළොවට ණය නැති ගැහැනියකි. ඇගේ දෑඟිලි මත වූ කරගැටවලට මිල කළ නොහැකි වූ වටිනාකමක් රැගෙන ආ ආදරණීය පුතාගේ කතාව මුළු රටම දැනගන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා ඉතාම වේගයෙන් ප්‍රචාරය වෙමිනි.
නානුඔය නාරයන් පුන්යචෙල්වම්.... ඔහු නානුඔය Glassugh ග්ලැක්සෝ වත්තට රැගෙන ආවේ රජකමටත් වඩා වටිනා කිරුළකි. තම දහඩිය කඳුළු තේ දල්ලටම යටවී පරව යන සමාජ වපසරියක ඉපදී මියදෙනවා වෙනුවට ඔහු එම සමාජ සම්මතයට අභියෝග කළේ සමස්ත වතු සමාජයටම ආදර්ශයක් වෙමිනි. ඔහු A සමාර්ථ තුනක් ලබා විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ 2018 වසරේදීය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා මහජන සම්බන්ධතා පිළිබඳ උපාධියක් හදාරන පුන්යචෙල්වම් තම උපාධිය හිමිකර ගන්නේ දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් ලබමිනි.
සාමාන්‍යයෙන් වසරකට විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත්වන සංඛ්‍යාව සිය දහස් ගණනකි. එහෙත් පුන්යචෙල්වම් ලබාගත් උපාධි සහතිකයට ඊට වඩා ඉහළ ගෞරවයක් හිමි වෙයි. ඔහු නානුඔය ග්ලැක්සෝ වත්තෙන් බිහිවන පළමු උපාධිධාරියාය. එසේම නානුඔය නාවර් විද්‍යාලයෙන් A සාමාර්ථ තුනක් ලැබූ පළමු ශිෂ්‍යා ලෙසින් ද ඔහු වාර්තාවක් තබයි. මේ විශේෂිත වූ උපාධි සහතිකය ලැබූ පුන්යචෙල්වම් ඒ සතුට අපට පැවසුවේ මෙලෙසිනි.
"ඇත්තටම මේ උපාධිය ලැබෙන්න ඕනේ මගේ අම්මාට... අපේ අම්මා තමයි ගතට වඩා හිත ශක්තිමත් කියන පාඩම මට ඉගැන්නුවේ. මටයි නංගිටයි උගන්වන්න අම්මයි, තාත්තයි කරපු කැපවීමට මට කිසිම දවසක ණය ගෙවන්න බැහැ. එයාල මේ වත්තේ තේ දලු කඩලා මහන්සි වෙලා හොයපු හැම සතයක්ම වියදම් කළේ අපේ ඉගෙනීමට. එයාලා කිසිම දවසක් සතුට කියන දේ ලබලා නැහැ. නමුත් එයාලට බැරි වුණු දේ අපි කරයි කියලා විශ්වාසයක් තිබුණා. අපේ තාත්තා හෝටලයක රැකියාවක් කළා. ඒ නිසා අපි පුංචි කාලේ අපට යාන්තමින් ජීවත් වෙන්න මුදලක් ලැබුණා.
මට මතකයි අපි බඩගිනි වෙලා අඬනකොට එක රොටිය දෙකට කඩලා නංගිටයි මටයි දෙනවා. අම්මයි තාත්තා බඩගින්නේ ඉන්නවා. එහෙම කරලා තමයි අපට ඉගැන්නුවේ. දැන් තාත්තා ලෙඩ වෙලා එකතැන. එයාට රැකියාවක් කරන්න බැහැ. අම්මා වත්තේ දලු කඩලා හොයපු මුදලින් තමයි අපට උගන්වන්නේ, ගෙදර වියදම් කරන්නේ. මම වගේම නංගිත් හොඳට ඉගෙන ගත්තා. නමුත් එයාට කැම්පස් යන්න බැරි වුණා. නංගි ගුරු විද්‍යාලයට අයදුම් කළා. ඒකත් ලැබෙයි. ඇත්තටම දැන් නම් මට රස්සාවක් කරන්න පුළුවන්. ඒත් මගේ බලාපොරොත්තුව පශ්චාත් උපාධියක් කරන්න. මට විදේශ රටක ගෞරව උපාධියක් කිරීම තමයි ලොකුම හීනය."
මේ සිහිනය සැබෑ කර ගැනීමට පුන්යචෙල්වම්ට අසීරු නොවෙයි. ඔහු මේ වන විට අසීරුම ඉලක්කය පසුකර හමාරය. ඒ නිසා ඔහුගේ අනාගතය ගැන තවත් සටහන් තැබිය යුතු නොවෙයි. එහෙත් ඔහු ආ ගමනේ කටුක අත්දැකීම් ගැන ද අපට සිහිපත් කළේ මෙලෙසිනි.
"මම පුංචි කාලේ මුලින්ම වත්තේ ළමා දිවා සුරුකුම් මධ්‍යස්ථානයට තමයි ගියේ. ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ග්ලැක්සෝ දෙමළ විද්‍යාලයෙන්. ඊළඟට තමයි නානුඔය නාවලර් විද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ විද්‍යාලයෙන් තමයි විශ්වවිද්‍යාලයට තේරුණේ. දිස්ත්‍රික්කයේ 8 වැනියා ලෙසින් කලා අංශයෙන් තමයි මම විශ්වවිද්‍යාලයට සමත් වුණේ. ඇත්තටම මම ඉගෙන ගන්න සෑහෙන්න දුක්වින්දා. මට පන්ති යන්න සල්ලි තිබුණේ නැහැ. පයින් තමයි හැමදාම පාසලට යන්නේ. නුවරඑළියේ රාජ්‍ය නොවන ආයතනයකින් මට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දුන්නා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිය කාලේ අම්මා තමයි සම්පූර්ණයෙන් වියදම් කළේ. මහපොළ ශිෂ්‍යත්වය මට ඉගෙන ගන්න සෑහෙන්න ප්‍රයෝජනයක් වුණා. ඇත්තටම ඒ උදව් නිසා තමයි මට මේ උපාධිය ලබා ගන්න හැකියාව ලැබුණේ."
මේ උපාධියේ නියම හිමිකාරිය වන්නේ ඔහුගේ මවයි. ඇය හෙළු දහඩිය කඳුළු මතින් තම දරුවන් දෙදෙනා ලැබූ ජයග්‍රහණයේ වටිනාකම ගැන පවසන්නට තරම් දැනුමක් ඇයට නොවෙයි. එහෙත් තමාට හැකි පමණින් එම මහන්සියට වටිනාකමක් ලබා දුන් බව පමණක් ඇය දනියි. ඒ ජයග්‍රහණය ගැන රාමසාමී සුගලෝචිනී තම පුතා ගැන අපට සතුට පළ කළේ මහත් හැඟුම්බරවය.
"ඇත්තටම අපේ ජීවිතේ කළේ දලු කඩන එකනේ.. අපේ දරුවන්ට එහෙම නොවෙන්න උගන්වන්න ඕනේ කියලා විතරයි හිතුවේ. ඒත් අපේ පුතා විශ්වවිද්‍යාලයට ගියා කියපු දවසේ ඒ තිබුණු දුක ඔක්කොම නැතුව ගියා. අපටත් ජීවිතයක් තිෙයනවා කියලා සතුටක් දැනුණා. ඒ සතුට මුලින්ම මේ වත්තේ ලැබුණේ මටනේ. ඇත්තටම අපේ පුතාට රජකම ලැබුණා වගේ තමයි ඒක. අපට ලොකු බලාපොරොත්තු නැහැ. අපේ දරුවෝ දෙන්න මට බැරි දවසක සලකයි. ඒ මට හොඳටම ඇති. දරුවන්ට ඉගැන්නුවේ අපි වගේ දුක් විඳින්නේ නැතුව සතුටින් ඉන්න."
ඇයගේ සතුට මෙවැනි දුක් විඳින දහසක් මවුවරුන්ට ආදර්ශයකි. ඇය තම ස්වාමියා ඔත්පලව සිටියදී දරුවන් දෙදෙනාට අකුරු කරන්නට කැපවී ඇත්තේ තමා උපයන සුළු මාසික වැටුපෙනි. තමුන්ට ලැබෙන ඉතා සුළු මාසික වැටුපෙන් දරුවන් දෙදෙනාට නැණ නුවණ පාදා දෙමින් ඇය කළ කැප කිරීම නානුඔය සිසාරා මුළු රටම උපහාර පිදිය යුතු සිද්ධියකි.