කාන්තාව වෙනුවෙන් වගකීම් රැසක් පැවරෙන සිංහල අවුරුද්ද

අප්‍රේල් 3, 2023

ගෘහිණිය නැති නිවෙසක් තුළ අවුරුදු නැති තරමටම සිංහල අලුත් අවුරුද්ද  ඇය හා බැඳී පවති. ඒ අතර අවුරුද්ද ලබා අවසන් වනතෙක්ම හෙළ චාරිත්‍ර චාරිත්‍රානුකූලව කටයුතු කිරීමේ දී ඇයට පැවරෙන්නේ සුවිශාල වැඩකොටසකි. 

සිංහල අලුත් අවුරුද්ද කී සැනින් සිහියට එන්නේ සිංහල අවුරුදු චාරිත්‍රයන් මේ චාරිත්‍ර  ඉටු කිරීමේ දී ප්‍රධානත්වය මෙන්ම  එහි වගකීම ගන්නේ සිංහල කාන්තාවය.  අවුරුද්දට පෙර සූදානම ගත්තත් අවුරුදු දා චාරිත්‍ර  ගත්තත් මෙහිදී මූලිකයා වන්නේ ද ඇයයි.

සිංහල අවුරුදු සමය උදාවත්ම නිවෙස අලංකරණය - පුරාණයේ නම් ගෙබිම ගොම මැටි ගෑම, මකුළු දැල් කැඩීම, කුණු මුත්තා පිදීම යනුවෙන් හැඳින්වෙන නිවෙස අතුපතුගා පිරිසුදු කිරීම, ළිප අළු ඉවත්කර පිරිසුදු කිරීම, නිවෙසේ අයට අලුත් ඇඳුම් තේරීම, කැවුම් කොකිස් ඇතුළු කැවිලි පෙවිලි සූදානම් කිරීම මෙන්ම අවුරුදු දා ළිප ගිනි මෙලවීම, කිරි ඉතිරීම හා ආහාර මේසය සකස් කිරීම බොහෝ කටයුතු ඇයට පැවරෙයි. ඒ නිසා ගෘහිණිය නැති නිවෙසක් තුළ අවුරුදු නැති තරමටම සිංහල අලුත් අවුරුද්ද  ඇය හා බැඳී පවති. ඒ අතර අවුරුද්ද ලබා අවසන් වනතෙක්ම හෙළ චාරිත්‍ර චාරිත්‍රානුකූලව කටයුතු කිරීමේ දී ඇයට පැවරෙන්නේ සුවිශාල වැඩකොටසකි.  නෑදෑ ගමන් යාම ආදී ආගන්ත සත්කාර ඉටු කිරීමේදී තම නෑදෑයින් හිතවතුන් සමඟ සුහදශීලිව කටයුතු  කිරීම පිරිමි පාර්ශවයට වඩා වගකීමක් කාන්තා පක්ෂයට පැවරී තිබීම ඒවායෙහි ඇති හර පද්ධතියන් ආරක්ෂා කරලීමට එදා මෙන් අදද කාන්තාව මුල් වී කටයුතු කරන්නීය.

අවුරුදු උළෙලේ සුවිශේෂී අංගයක් වන අවුරුදු කුමරිය තේරීමේ තරගය ද එහි ප්‍රධානතම අංගය ලෙසින් ගමේ ජනප්‍රියතාවය, ජීවිතය පුරාවම ලැබෙන්නේ ඇය සඳහාමය. මේ අයුරින් බලන විට සිංහල අවුරුද්ද යනු කාන්තාවගේම අවුරුද්දක් ලෙසින් හැඳින්වුවාට වරද නැත. අද වනවිට ද සෑම නිවසකම ඉටුකළ යුතු සියලු යුතුකම් ඉටුවෙමින් පවතින්නේ ද නිවෙසේ ගෘහිණිය වෙතින් බව ඔබ අප කවුරුත් දන්නා රහසකි. පුණ්‍ය කාලයේ සිය ස්වාමියා ප්‍රමුඛ දරු කැළ ඒකරාශී කරගෙන පන්සලට ගොස් ආගමික කටයුතු සිදු කිරීම අලුත් පන්නයේ ගැළපෙන ඇඳුම් ආයිත්තම් තෝරාගෙන රසවත් ආහාර පිස සිය නිවැසියන් තුරුලු කරගෙන ආහාර, අනුභව කිරීම මෙන්ම බුලත් දී වැඩිහිටියන් නැමදීම වැනි සියලුම දේට අනුබල දෙන්නේ ද තම දූ පුතුන් ඒවාට යොමු කිරීම වැනි දේ ගෘහිණිය නොවන්නට ඒවා වළපල්ලට ගොසිනි.

මේ සිංහල අවුරුදු චාරිත්‍රවල තිබෙන වටිනාකම මෙතෙකැයි කියා නිමවන කළ නොහැකිය.

නැකැත් ශාස්ත්‍රයට අනුව අවුරුදු උදාවීම, පන්සල් යාම, නැකතට ගිනි මෙලවීම, ආහාර අනුභවය වැනි දේ එකම වේලාවට එකම හඬට එකට සිදු කිරීම වෙනත් කිසිදු රටක නොවන එකමුතුකම ලොවට හඬ ගා කීමත් ඒ හැරෙන්න නැදෑගමන් යාම, අවුරුදු ක්‍රීඩා සිදු කිරීම, නෑ සිය හිතවතුන් හා සෙසු පිරිස් සමඟ එකට අත්වැල් බැඳ ගැනීම ආදී ප්‍රබල අවස්ථාවන්ය. ශරීර සෞඛ්‍යයේ ප්‍රධානම අංගයවන ආහාර පිළිබඳව ගත්තත් රසට ගුණට ආහාර විශාල ප්‍රමාණයක් කරලියට එන්නේ ද මේ අවුරුදු සමයේ වීම මෙහි තවත් වටිනාකමක්. ඒ සියල්ලටම වගකිව යුත්තා ගෘහිණිය වීම මෙහිදී අපට ආඩම්බරයෙන් කිව හැකියි.

 

නව තාක්ෂණයත් සමඟ ගැටෙන හෙළ කාන්තාව ගත්තත් පංච කළ්‍යාණියක් වූ ඇය අද විවිධ ආලේප හා අලංකාරයන් කෘත්‍රිම ක්‍රම නිසා කෘත්‍රිම රූප ස්වභාවයකින් සිය ශරීරය සරසාගෙන ඇත. ආහාර පාන ගත්තත් එදා හෙළ ක්‍රමයට ඖෂධීය කුළුබඩු වෙනුවෙන්ම කෘත්‍රිම රසකාරක යොදා ගනිමින් ඒවා පරිභෝජනයට හුරු කරගෙන ඇත. ඇඳුම් පැළඳුම් ගත්තත් අපේකමට නොගැළපෙන විදේශීය වූ විවිධ අඩ නිරුවත් විලාසිතා යොදාගෙන ඇත. චාරිත්‍ර වාරිත්‍ර ගත්තත් ඒවා කිසිවිට නොසලකන තත්ත්වයකට පත්ව ඇත. එය ඔබට ආදර්ශයක් නොවේද. ඉතින් මේ හැම යුතුකමක් චාරිත්‍රයක්ම සිංහල අවුරුදු පමණක් නොව මතුවටත් අපේ ඉදිරි පරපුරටත් ඉතිරි කරදීම ගෘහණියක් ලෙස ඔබට පැවරෙන විශාල වගකීමයි. එය ඉටුකළ හැක්කේ ඔබට පමණයි.

 

උපදෙස්

සුබසෙත හිටපු ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි