ලිමන්සාට අපි ඉගැන්නුවේ අපේකමයි මනුස්සකමයි

මැයි 27, 2024

 

අම්මාට සහ තාත්තාට ලෝකයේ හමුවන උත්තරීතරම දායාදය වන්නේ තම දරුවන් ය. ලෝකයේ ඕනෑම තරාතිරමක ඕනෑම රටක ඕනෑම ජාතියක ඕනෑම පාටක කෙනකුට එය හුදු ලෝක ධර්මතාවයකි. අද අප මේ කතා කරන්නට යන ජව සම්පන්න දූ සිඟිත්තිය ද මේ අම්මාට සහ තාත්තාට අමිල ආලෝකයක් ගෙනෙනා ගෞරවාභරණයකි. ඒ ගෞරවණීයත්වයට තවත් අගයක් එක් කරන්නේ මේ දූ සිඟිත්තියගේ ආදරණීය අම්මා සහ තාත්තා ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයම දන්නා ආදරණීය ගෞරවනීයයන් වීමය.

අද අපේ කතා නායිකාවගේ සෙනෙහෙබර තාත්තා ද ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම ඔසවා තැබීමට ඇප වූ කැප වූ ඉන් තම නාමය ඔප දැමූ විශිෂ්ටයෙකි.

ටී. එම්. ඩිල්ෂාන් එසේත් නැතිනම් තිලකරත්න ඩිල්ෂාන් ලෝකයේ ක්‍රිකට් වංශකතාවේ පරිච්ඡේදයක් තමා වෙනුවෙන්ම වෙන්කර ගත් අවිවාදාත්මකවම ශිෂ්ට විශිෂ්ටයෙකි. ඩිල්ස්කූප් නම් තාක්ෂණය ලෝක ක්‍රිකට් පොතට එක්කළ මේ ජවසම්පන්නයා අද අපේ කතා නායිකාවගේ ආදරණීය පියා, හොඳම මිතුරා මෙන්ම පුහුණුකරුවා යන භූමිකා ත්‍රිත්වයම දරයි. රටම කතා කරන අපේ කතා නායිකාවගේ අම්මා ගැන ද අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවේ. ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන, නොකිලිටි නමක් සටහන් කළ ඇය කලාකාමී සැමගේ හදවත් තුළ මැවූ සුන්දර චිත්‍ර අපමණය. ඇය නමින් මංජුලා තිළිණි.

ඩිල්ෂාන් මංජුලා කැදැල්ලට වාසනාව රැගෙන පැමිණෙන මේ දූ සිඟිත්තිය නමින් ලිමන්සා තිලකරත්නය. කාන්තා ක්‍රිකට් ලොවේ ක්‍රමානූකූලව, තම පිරිපුන් හැකියාව හරහා නාමය ගොඩනඟන ලිමන්සා මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය ආදරණීය චරිතයක් බවට පත්වූයේ ඉකුත්දා අාරම්භ වූ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමත් සමඟය. මේ කතාව එසේ ඇරඹෙන මොහොතේ ලිමන්සාගේ ක්‍රිකට් ඉතිහාසය අාරම්භ වන්නේ ඔස්ට්‍රේලියාවේදී සිදුවන එක්තරා

අහඹු සිදුවීමක් නිසාය.

කුඩාම අවදියේදි ඔසවා ගැනීමට නොහැකි තාත්තාගේ ක්‍රිකට් පිත්ත අමාරු වාරුවෙන් අතට ගත් ලිමන්සා තාත්තා ක්‍රීඩා කරන සෑම විටෙකදීම ආසාවෙන් බලා උන්නාය. රටක් දිනවන්නට තාත්තා වෙහෙසෙන බව එදා නොදන්නා මුත් ලිමන්සා හරිත වර්ණ පිටිය මැද දස්කම් පාන නීල වර්ණ මිනිසාට ආදරය කළාය. ඒ අතීතය ඉතා සුබදායි සුවදායී එකකි. ඒ ඉමිහිරි අතීතය මංජුලාට හොඳහැටි මතකය.

පුංචි කාලේ ඉඳලම ලිමන්සා ක්‍රිකට්වලට ගොඩක් ආසයි. ඉස්සර ඩිල්ෂාන් සෙල්ලම් කරන කොට ලිමන්සා ගොඩාක් ආසාවෙන් බලන් හිටියා මට මතකයි. ඉස්සෙල්ලම ලිමන්සා ඒ විදිහට බලන් හිටියේ තාත්තා දිහා. දන්න තේරුම් ඇති කාලෙදි ඩිල්ෂාන් තරගවලට රටින් පිටට ගියාම ලිමන්සා සමහර වෙලාවට තාත්තාව දැක්කේ ටීවී එකේ. ඒත් පුළුවන් හැම වෙලාවෙදිම ඩිල්ෂාන් මැච් බලන්න අපිව අරන් යනවා. ඒ හැම වෙලාවෙදිම ලිමන්සාගේ ඇස් තිබ්බේ ග්‍රවුන්ඩ් එක මැද්දේ.

ලිමන්සා මෙතරම් ජව සම්පන්න රූමත් ක්‍රීඩිකාවක වීමට මේ මව්පියන්ගේ සියලු දායාදයන් මනාව බලපාන්නට ඇතැයි මට සිතේ.

තිලකරත්න ඩිල්ෂාන් නම් විශිෂ්ටයා අපේ රටට ගෙන දුන් ආනන්දනීය දායාදය තරමටම ලිමන්සා මේ පවුලට ලද උතුම්ම දායාදයකි. ඒ දායාදය ගැන මේ උත්තරීතර අම්මා සිටින්නේ වචනවලට පෙරළා ගත නොහැකි සන්තෝසයකිනි. ලිමන්සා ඉන්න තැන ගැන අම්මා කෙනෙක් විදිහට වගේම ශ්‍රී ලාංකිකයෙක් විදිහටත් මට තියෙන්නේ ලොකු සතුටක්.

අපි ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට යන්නේ 2019 අවුරුද්දේ. ලිමන්සා ඉගෙන ගත්තේ එලිසබෙත් මෝය ජාත්‍යන්තර පාසලේ. ඒ දවස්වල ඉඳලම ලිමන්සා අධ්‍යාපන කටයුතුවලට වගේම පාසලේ පරිබාහිර කටයුතුවලට ලොකු උනන්දුවක් දැක්වූවා. ඒ වගේම තමයි ලිමන්සා බොහොම අහිංසක සමාජශීලි දරුවෙක්. එයාට හම්බෙන හැමෝම එක්ක සතුටින් කාලය ගත කරන්න තමයි ලිමන්සාට ඕනේ. එයාගේ තාත්තා වගේම ලිමන්සත් හැමෝගෙම ආදරණීය චරිතයක් බවට පත් වෙලා. ලංකාවේ ගෙදර ඉන්න කාලේ ඩිල්ෂාන් ගෙදර ඉන්න හැම වෙලාවෙම වැඩි කාලයක් ගතකළේ දරුවොත් එක්ක. ලිමන්සා පුංචි කාලේ ඉඳලම ඩිල්ෂාන් එක්ක ක්‍රිකට් ගැහුවා. එයත් එක්ක සෙල්ලම් කරන්නේ ලෝකයම දන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා ලිමන්සා දැනගෙන හිටියේ නැති වුණාට එයාගේ ලෝකේ වීරයා වුණේ තාත්තා.

අම්මා කෙනෙකු ලෙස ඈ මේ මොහොතේ උතුරා පිටාර ගලන සතුට හදවත පුරවාගෙන සිටින්නේ තම දරුවන් රටක ආදරය ලබන නිසාය.

ලිමන්සා ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ටික කාලයකින් ඒ රටේ ජීවන රටාව හොඳටම අල්ලගත්තා. ඒ රටේ දරුවෝ එක්ක ලිමන්සා කටයුතු කළේ හරිම සුහදශීලී විදිහට. ඇයගේ පාසලේ ගුරුවරුන් ලිමන්සාට ඉදිරියට යන්නට ගොඩක් උදවු කළා. මේ අතරෙදි ලිමන්සාගේ ජයග්‍රහණ රැසක් අපට දකින්නට පුළුවන් වුණා. ලිමන්සා ක්‍රිකට් ගහන්න විතරක් නෙවෙයි සිංදු කියන්න සිංදු ලියන්න, සොබා දහමට ආදරය කරන්න ගොඩක් කැමැති කෙනෙක්. පාසලේ ලැබුණු ජයග්‍රහණ නිසා ඇයට ත්‍යාග රැසක් ලැබුණා. මේ අතරින් ඇය කැමැතිම මොනවගේ බාහිර ක්‍රියාකරම්වලටද කියලා පාසලෙන් ඇහුවා ඒ සඳහා ඇයව යොමු කරන්න. ඒ වෙලාවේ ලිමන්සා කිව්වේ මම ආසයි ක්‍රිකට් ගහන්න. අන්න එහෙම අහම්බෙන් තමයි ලිමන්සා ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ.

හැබැයි ඒ වෙනකොට ඩිල්ෂාන් හිටියේ ශ්‍රී ලංකාවේ. ලිමන්සා ක්‍රිකට් ගහන්න පටන් ගත්තා කියලා ඩිල්ෂාන් දැනගෙන හිටියට එයා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කරනවා කියලා ඩිල්ෂාන් දැනගෙන හිටියේ නැහැ. ඔහොම කාලයක් ගත වුණා. ලිමන්සා දවසින් දවස එයාගේ දස්කම් විස්කම් බවට පත්කර ගත්තා. එයා සෙල්ලම් කරන විදිහ බලන්හිටියම මට හිතුණා. එයා මේ පාරේ ගොඩක් දුර යයි කියලා. මොකද ක්‍රිකට් කියන එක අපේ මුළු පවුලටම අලුත් දෙයක් නොවෙන නිසා. මෙහෙම කාලය ගත වෙලා ඩිල්ෂාන් ගෙදර අාපූ දවසක අපි ඔක්කොම එකතු වෙලා පැය ගාණක් සෙල්ලම් කළා. ලිමන්සා ගහපු පාරවල්වලට බෝලෙ ගිහිලා වැටුණේ අහල පහල වතුවලට. එදා ඩිල්ෂාන්ට ලිමන්සා ගැන පුදුම හිතුණා වගේම එයා ලිමන්සගේ අනාගතය ගැන දැක්කා කියලා මම ඩිල්ෂාන්ගේ සතුට උතුරන දෑස්වලින් දැක්කා. ලිමන්ගේ ක්‍රිකට් කතාව පටන් ගන්නේ අන්න එහෙම.

ලිමන්සා කියන්නේ පොඩි කාලේ ඉඳලම හරිම ශක්තිමත් චරිතයක්. එයා නිතරම ඉලක්කවලට යන්න හරිම ආස කෙනෙක්. පුංචි කාලේ ලිමන්සගේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයක් තිබුණා. ලිමන්සා දිවීමේ තරගයකට ඉදිරිපත් වුණා. මට හොඳට මතකයි ඒ සිද්ධිය. මඟදි ලිමන්සගේ සපත්තුවක් ගැලවිලා විසිවෙලා ගියා. ඒත් එයා නැවතුණේ නැහැ. සපත්තුව ගැන හිතන්නේ නැතුව තරගය නිමා කළා. අපේ දූ කොච්චර ශක්තිමත්ද කියලා එදා අපි ගොඩක් සතුටු වුණා. මංජුලා අතීතය වර්තමානය සහ අනාගතයේ සුබදායි සිහින අතර දෝලනය වුණා. අම්මෙකුට දුවෙක් තරම් ශක්තියක් කොයින්ද.. මංජුලාගේ වචනයක් වචනයක් පාසා ඒ බව ගැබ්ව තිබේ.

ඔස්ට්‍රේලියාවෙන් අපි ලංකාවට ආවා. ඩිල්ෂාන්ගේ තාත්තා වගේම මගේ තාත්තත් අසනීපෙන් හිටිය කාලෙදී තමයි අපි ආයෙත් ලංකාවට ආවේ. මේ අතරදි ලිමන්සා ටැමිල් යූනියන් එකේ ක්‍රිකට් ප්‍රැක්ටිස් පටන් ගත්තා. එයාට ලංකාවේ අපේ දරුවෝ එක්ක එකතු වෙලා වැඩ කරන එක අමුත්තක් වුණේ නැහැ. මොකද මං කිව්වා වගේම ලිමන්සා හැමෝමත් එක්ක හරි ඉක්මනින් එකතුවෙන දරුවෙක්. එයා මිනිස්සුන්ගේ ගුණාංගවලට ගොඩක් ගරු කරනවා වගේම ආදරය කරනවා. ඒ නිසාම ලිමන්සාටත් හැමෝම ආදරෙයි.

මංජුලාගේ කතාවේ බොහෝ දේ ගැබ්ව තිබේ. ආදරණීය දූ සිඟිත්ති යන සොඳුරු පැහැබර ගමන ගැන අම්මා කෙනෙක් ලෙස ඇයට ඇත්තේ හැඟුම්බර ගෞරවයකි. ලිමන්සා දැන් දැනුම් තේරුම් තියෙන දරුවෙක්. එයාගේ අනාගතය මොනවගේ වෙන්න ඕනෙද කියලා තීරණය කරන්න එයාටම පුළුවන්. ඒකට අවශ්‍ය ශක්තිය ලබාදෙන එක තමයි අපි කරන්න ඕනේ. ඩිල්ෂාන් වගේම මමත් එයාගේ ගමනට ශක්තියක් වෙන්න නිතර කැප වුණා. මොන දේවල්වලින් ඉදිරියට ගියත් නිතරම අපේකමයි මනුස්සකමයි හදවතේ පුරව ගන්න කියලා තමයි දුවට අපි කියන්නේ. ඕනෙම කෙනෙක් එක්ක හරිම ඉක්මනට සම්බන්ධ වෙන්න දුවට පුළුවන් වෙලා තියෙන්නෙත් ඒක නිසාමයි. ඩිල්ෂාන් වගේම ලිමන්සාත් කිසිමදාක දීප්තිය අඩු නොවන තරුවක් වනවා දැකීම තමයි මගේ බලාපොරොත්තුව.

අම්මා කෙනෙකුගේ බලාපොරොත්තුව දියණියකට ආදරණීය ආශීර්වාදයකි. තමාගේ දරු තරුව සුදීප්තිමත්ව අහසේ දිළෙනු ඇසි දිසියෙන් රිසි සේ හිඳීම මෙදියත සිටින සියලු අම්මා කෙනකුගේම උත්තුංග බලාපොරොත්තුවයි. තමාට ලෝකයෙන් ලද අමිල තිළිණය ගැන තිළිණි සිතන්නේ එලෙසය.

අම්මා කෙනකුට සේම තාත්තා කෙනකුට ද දරුවන් ගැන කීමට බොහෝ දේ ඇත. දැන් අප හමු වන්නේ ඒ සුවිශේෂි මොහොතේ තිලකරත්න ඩිල්ෂාන් නම් මහා වනස්පතියායි. ලිමන්සාට ඔහුගෙන් ලැබෙන රැකවරණය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. මේ ඒ ආදරය වචන වූ හැටිය.

ලිමන්සා ඉන්න තැන ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඇත්තටම දුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනවට තමයි මම ගොඩක් කැමැති. මොකද අපි නිතරම ලෝකේ කොහේ හිටියත් ජීවත් වෙන්නේ අපේකමත් එක්ක. තිලකරත්න ඩිල්ෂාන්ව ලෝකෙම දන්නේ ලංකාවේ කෙනෙක් විදිහට. ඒ නිසා දුව ශ්‍රී ලංකාව දිනවන්න ක්‍රීඩා කරනව නම් මට ඒක සතුටක්. ඒත් ඒ දේවල් කොහොම වෙයිද කියලා අපිට තීරණය කරන්න බැහැ. ඩිල්ෂාන්ගේ දුව විදිහට නෙවෙයි. එයා ස්වාධීන ක්‍රීඩිකාවක් විදිහට තමයි තමන්ගේ තැන හදාගෙන තියෙන්නේ. ඒක නිසා එයාගේ ගමන තීරණය කරන්න ඕනේ එයාමයි.

හැබැයි තාත්තා කෙනෙක් විදිහට ලිමන්සා යන පාර ගැන මට තියෙන්නේ සතුටක්. ඒ වගේමයි එයාගේ පුහුණුකරු විදිහට මට දැනෙනවා ලිමන්සට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ලිමන්සගේ හොඳම යාළුවා විදිහට මට තේරුණා එයා ඒ ගමනට ආසයි කියලා. ඒත් එක්කම පරිණත ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ලිමන්සා කියන්නේ වෙනම ස්ටයිල් එකක් තියෙන ක්‍රීඩිකාවක් විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ හැමදේම එකතු වුණාට පස්සේ ලිමන්සාගේ හිතේ තියන සතුට මට වචනවලට පෙරළන්න අමාරුයි.

ඒ තාත්තලාගේ තෙත් හිත්වල හැටිය. ඩිල්ෂාන් ද දරුවන් වෙනුවෙන් තිතට කැපවන පවුලෙහි සතුට වෙනුවෙන් නිරතුරුවම බැඳෙන තාත්තා කෙනෙක්.

ලිමන්සා ලංකාවේ සෙල්ලම් කරන කාලයේ එයා ගොඩක් විනෝද වුණා. නමුත් අධ්‍යාපනය තමයි ජීවිතයේ ජයග්‍රහණයේ අංක එක. ඒක නිසා අධ්‍යාපන කටයුතු අතරේ ක්‍රීඩාව වෙනුවෙන් කාලය කැප කරන්නේ කොහොමද කියලා අපි සැලසුම් කරමිනුයි ඉන්නේ. ඒ අනුව දුව ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන එක ගැන අපි සාකච්ඡා කරන කාලයක් තමයි මේ ගෙවෙන්නේ. මම හිතනවා හැම දෙයක්ම හොඳම විදිහට විසඳේවි කියලා.

සියලු දේ හොඳම ආකාරයට විසඳීම රටක ජයග්‍රහණයේ අරුණලු කැඳවීමකි. ඒ අරුණැල්ල ඉදිරියේදී රටක් එළිය කරනු ඇත.

මම ආස තාත්තා වගේ වෙන්න. තාත්තා ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට වෝල් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තාත්තා හරියට ශක්තිමත් බිත්තියක් වගේ. මටත් ඕනේ වෝල් එකක් වෙන්න. ලංකාවේ ගතවෙන කාලය හරිම ලස්සනයි. හැමෝමත් එක්ක මම සතුටින්ම ගත කරපු කාලයක්. මගේ තාත්තා ලෝකයම දන්න ක්‍රිකට් වීරයෙක්. මගේ ගමනේ සෙවණැල්ල මගේ අම්මයි තාත්තයි.

ඩිල්ෂාන් මුළු ලෝකයේම ඉතිහාසගත තරුවක් වූවා සේම ලිමන්සාගේ ද ඒ ගමන ආලෝකවත්කර ගැනීමට සියලු දෙනාගේ උතුම් ආශීර්වාදය එක් කරමු.

 

ලිමන්සා ඔබේ අනාගතය සුබම සුබයි!