ඒ කාලේ කවුරුත් මට රස්සාවක් දුන්නේ නැහැ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්තුමියගේ කටුක ගමන් මඟ
ජුනි 5, 2023

 

කුෂානි අනුෂා රෝහණදීර. මේ අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තු නව මහ ලේකම් ධුරය දරන්නියයි. ඇය ආදරණීය මවක්, බිරියක්, ගෘහණියක් සහ සමාජ සේවිකාවක් ලෙස යන මේ ගමන් මඟ බොහොම ප්‍රසංශනීයයි. බාධක, කම්කටුලු, ගල් මුල් නැතිවාම නොවේ. ඒවා ද ශක්තියක් කරගනිමින් අපේ රටේ සමස්ත කාන්තා පරපුරට ආදර්ශයක් ගන්නට හැකි චරිතයකට පණ පොවයි. මෙවන් භාරධුර තනතුරක් ලබන්නට ඇය ආ ගමන් මඟ පිළිබඳ තරුණීට කළ හෙළිදරව්වයි මේ.

 

ආදරණීය බිරියක උත්තරීතර මවක වගේම ශ්‍රී ලංකාවේ භාරධූරම වගකීම්වලින් එකක් හිස දරාගත් කාන්තාවක ලෙස ඔබේ ගමන් මඟ පිළිබඳ කතා කරමින් මේ මඟට පිවිසෙමු.

 

“මගේ අම්මා උදුලා ද සිල්වා. ඇය විදුහල්පතිනියක්. පියා ලේටන් ද සිල්වා. එතුමන් ගුරුවරයෙක් ලෙස සේවය කළා. මගේ සොහොයුරා උපුල් ඉන්ද්‍රජිත්. දැන් පදිංචිය අමෙරිකාවේ. මම පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙමින් මා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වුණා. 1987 වසරේ දී එම පාසලේම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලේ රටේ හැමතැනම භීෂණය. ඉතින් මට ඕනේ වුණේ ඉක්මනින් රැකියාවක් කරන්න. ඒ නිසාම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙනතුරු සම්පත් බැංකුවේ විධායක නිලධාරිනියක ලෙස සේවය කළා. කොහොම හරි රැකියාවට සමු දීලා නැවත විශ්වවිද්‍යාලයට පිවිසියා. එතැන දී තමයි මගේ ජීවන සහකරු මුණ ගැසුණේ . ඒ මගේ මිතුරියන්ගේ දැන හඳුනා ගැනීමකින්. ඔහු විශිෂ්ට ඉතිහාසඥයකු, පුරා විද්‍යාඥයකු හා සාහිත්‍යවේදියකු වූ ආචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ පුතණුවන් වූ හරිගුප්ත රෝහණදීර. මා පැමිණි සියලු ගමන් මඟ ශක්තිමත් කරගන්නට මේ ඉහත කී සියලුදෙනාම මට ශක්තියක් වුණා."

 

මේ සියලු කටයුතු අතර ඔබ මවු පදවිය ලබන්නේ ලෝකයේ උත්තරීතරත්වයට පත්වෙමින්.

 

ඇය නැවත අපේ කතාවට එක්වන්නේ සතුට පිරි මුහුණිණි.එහි මවු සෙනෙහස මනාවට ගැබ්ව ඇති සෙයකි.

 

සුදම්, යසිඳු, ජීවනහංස පුතුන් මගේ ලෝකයේ මිණිකැට. පවුලට දියණියකුත් පැතුවත් අද මගේ පුතුන් තිදෙනා ඒ හිඩැස අපුරුවට මකාලනවා. ලොකු පුතා සුදම් රට රටවල ප්‍රණීත කෑම හදන්න දක්ෂයි. රැකියාවට යන මව වෙනුවෙන් ඔවුන් නිවෙසේ වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ලොකු පුතා විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරය සඳහාත්, බාල පුතුන් දෙදෙනා නීතිඥ වෘත්තියටත් ඇතුළත් වීමට පෙරමං තනා අවසන්. ඇත්තෙන්ම මා මගේ වෘත්තියෙන් ඉහළටම යද්දී, මගේ සැමියාත්, පුතුන් තිදෙනාත් ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා.

ඔවුන් මාව ගෙදරට කොටුකර ගත්තේ නැහැ. කාන්තාවකට රැකියාවක් කරනකොට අභියෝග එනවා. ඒ සියල්ලට මනස නිරවුල් කරලා දුන්නේ මගේ සැමියා.

මම ලොකු පුතා ලැබෙන්න ඉන්න කාලයේ රැකියා කිහිපයකට අයැදුම් කළා. ඒත් දරු ගැබ නිසා එම රැකියා කිසිවක් සඳහා මාව බඳවා ගත්තේ නැහැ. ඔය අතරතුරේ පාර්ලිමේන්තුවට ලිපිකාරිනියන් බඳවා ගැනේ කියලා පුවත්පත් දැන්වීමක් මට හම්බ වුණා. ඒ තනතුර නිකම්ම ලිපිකාරිනී තනතුරක් නොවෙයි. උපාධිධාරී අයැදුම්කරුවන් තුන්දහසක් අතරින් තරග විභාගයක් පවත්වා තමයි මාව තේරුණේ.

ඉන්පසු මාස ගාණකින් පාර්ලිමේන්තුවේ පරිපාලන දෙපාර්තමේන්තු නිලධාරිනී තනතුර මට ලැබුණා. මගේ සේවයට වූ කැපවීම දක්ෂතාවය නිසාම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට බැඳුණු මා සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, සහකාර මහලේකම්, නියෝජ්‍ය මහලේකම් යන ධුර පසුකරමිනුයි මේ අසුනට පැමිණියේ."

 

සැබැවින්ම ඇය ශක්තිමත් ගැහැනියකි. ලෝකයේ ප්‍රගමනයට අවශ්‍ය ජීවය සපයන සැබෑ ගැහැනියකි. වෘත්තීය ජීවිතය තුළ ඇතැම් කලකිරීම් මානසික බිඳ වැටීම් ඇයට ද පොදු කරුණකි. ඒ සියල්ලට ශක්තිවන්තව මුහුණ දෙමින් වෘත්තීය වගකීම නොපිරිහෙලා ඉටුකරමින් ගැහැනිය ශක්තිමත් බව මේ වනවිට ඇය ඔප්පුකර හමාරය.

රැකියාවේ වගකීම් හමුවේ කිසිදු විටෙක පවුල මඟ හැර නොගත්තාය. ඉවුම් පිහුම් කලාව බොහොම අපුරුවට පිහිටා ඇති ඇය නිවෙසේ සියලු කටයුතු තම දෑතින්ම ඉටුකරන හොඳ ගෘහණියකි.

 

“මම හැමදාමත් බිරිය, මව ගෘහණිය කියන භූමිකාවල ජීවත් වෙන්න ආස කෙනෙක්. මෙතෙක් කිසිදු යුතුකමක් වගකීමක් මඟ හැරී නැහැ. මගේ වෘත්තියේ සාර්ථකත්වයට ආශීර්වාදය වුණෙත් එයමයි.

පවුලක් විදියට අපි අනුරාධපුරයේ රුවන්වැලිසෑය වඳින්න යන්න හරිම කැමැතියි. රටේ ලස්සන තැන්වල ඇවිදින්න යන්න වගේම චිත්‍රපට බලන්න, සිංදු අහන්න මම හරි කැමැතිියි. අදටත් මගේ පාසලේ, විශ්වවිද්‍යාලයේ යෙහෙළියන් මා සමඟ ඉන්නවා. ඒ වගේමයි වෘත්තීය ජීවිතයේ බාධා ආ තැන්වල මාව දිරි ගැන් වූ හොඳ මිතුරු කැලක් මා වටා සිටිනවා.

පාර්ලිමේන්තුව තුළ ළමා සංසදය, කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය, ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමාන බව පිළිබඳ විශේෂ කාරක සභාව, කාන්තා හා ළමා ප්‍රතිපත්ති සම්පාදනය යන කටයුතු සඳහා තවමත් මා දායකත්වය සපයනවා.

රටේ ජනතාව ඇතැම් විට පාර්ලිමේන්තුව පිළිබඳ විවිධ මත දරනවා. කොහොම නමුත් පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම තැනයි. පාර්මේන්තුවෙන් කෙරෙන කාර්ය භාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට අවැසියි. එබැවින් විශ්වවිද්‍යාලවලට කෙටි කාලීන පාඨමාලාවක් ලෙස මේ පිළිබඳ හැදැරීමක් ලබා දෙන්නට ක්‍රියාපටිපාටියක් ආරම්භකර තිබෙනවා. මා ඒ සඳහාත් දායකත්වය සපයනවා.

විශ්‍රාම සුවයෙන් පසුවන කාලයේ දී මගේ දැනුමෙන් රටට යම් සේවයක් කළා යැයි සැනසුම් සුසුමන් හෙළන්නට පුළුවන් විදිහට ජීවත් වෙන්නයි ඇත්තටම මට අවශ්‍ය වන්නේ."

 

ඇය අප සමඟ කෙටි කතාව නිම කරලයි.සැබෑවටම කාන්තාවනට තමාගේ උගත්කම ආභරණයකි. ඒ මනා ආභරණය කිසිවකටත් වඩා කාන්තාව දිදුලවයි. ඈ උගත්කම,දිරිය,විරිය මෙන්ම නිහතමානීබව මිනිස්සුන් ලෝකයේ දිදුලවන බවට කදිම සාක්ෂියකි.