වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
‘කොණ්ඩ දෙකක් බැන්දහම ඔයා හරිම ලස්සනයි.’
පෙර සටහන
වැහි අඳුරින් බර වූ කෙම්මුර බදාදාවකි. කාර්යාලය අද එතරම් කාර්යබහුල නැත. පිළිගැනීමේ නිලධාරිනියගෙන් පැමිණි දුරකථන ඇමතුමට අනුව කාන්තාවක මා සොයා පැමිණ තිබුණි. දුරකතනයෙන් නම නොකී ඇය මා හමුවීමට අවශ්‍ය බව දැන්වූයේ ලිපි ගොනුවක් භාර දීමට අවශ්‍ය යයි පවසමිනි. පිළිගැනීමේ පරිශ්‍රයේදී අප දෙදෙනා හමුවූ අතර, ඇය මාගෙන් කළ ඉල්ලීම වූයේ ඇගේ කතාව තරුණීට ලිවීමට කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ය.
එකවරම පිළිතුරක් සෘජුව ලබා දිය නොහැකි ඇගේ ඉල්ලීමට පිළිතුරක් දැක්වීමට මාසයක් යන්නට මත්තෙන් ඇය නැවත මා අමතා කියා සිටියේ ඇයගේ කතාව ඇය ලියමින් සිටින බවත්, එය මා හට ලැබීමට සැලැස්විය හැකි බවත් ය.
මීට මාසයකට පමණ පෙර එහි පළමු කොටස මා අතට පත් වූ අතර ඉන්පසුව මම ඇයව ඇමතුවෙමි. ඇය කියූ කතාන්දරය හරි අපූරු එකකි. ඒ නිසාම එය තරුණී නවකතාව ලෙස අප විසින් තෝරා ගන්නා ලදි.
මෙතැන් පටන් තරුණීහි පළ වන්නේ නම නොකියන ඈ ලියන ඇගේම කතාන්දරයයි.
මා විසින් එම නව කතාන්දරයට ශ්වේත සමනලී යන නම තබන ලදි. ඕනෑම පාටක් ආලේප කළ හැකි ඕනෑම දුරකට පියඹා යා හැකි ශ්වේත සමනලී දැන් කියවන්න.
මේ නම නොකියන, ඇය ලියන ඇගේ ජීවන අන්දරයයි.
මෙතරම් විශාල සුඛෝපභෝගී නිවෙසකට මා මීට පෙර ගොඩ වී ඇත්නම් ඒ සුපිරින්ටන්ඩන් මහත්තයාගේ බංගලාවටය. එය මේ තරම් පිළිවෙළ එකක් නොවීය. බංගලාවේ හතර කොණින් ගලන තේ දලු තැලෙන සුවඳ වෙනුවට මේ මාලිගාවේ හමන්නේ නමක් නොදන්නා හරිම පුසුඹ ආනන්දනීය මල් සුවදකි. ඒ සුවඳ කුමක්දැයි අදට ද නොදන්නා නමුත් නාස් පුඬු අතර මේ මොහොතේ ද ඒ සුවඳ සදානන්දනීයව පවතී.
‘මහන්සිත් ඇති නේද? අපි නම් කාල ඉන්නේ. අද කාලා නිදා ගන්න. හෙට උදේම ටිකක් කතා කරමු.’
කරුණාවන්ත ලොකු නෝනාගේ ස්වරූපය මා හට සුවදායක සිතුවිල්ලක් ගෙන දුනි.
තාත්තාට මා කොළඹට ආ බවට පණිවුඩයක් ලබා දීමට නොහැකි වීම ගැන මම යළි යළිත් යටි සිතින් කම්පා වුණි. නිවෙසින් පිට කලකට පසු ගෙවා දමන පළමු නුහුරු නුපුරුදු රාත්‍රිය මා හට ආගන්තුක එකකි.
‘කොනේම කාමරේ ඔයාට. ඒකේම වොෂ් රූම් එකක් තියෙනවා. මොනවා හරි ඕනෙ නම් කතා කරන්න.’
ජීවිතේ පළමු වතාවට මා උඩු වියන් සහිත සුව පහසු ඇඳක් සහිත කාමරයක රාත්‍රියක් ගත කරන්නට සුදානම් විමි.
නිවෙසේ මෙහෙකාරියක ලෙස කොළඹට පැමිණීමට තුන් හිතකවත් අදහසක් නොවූ මා හට අද සිට එම රාජකාරිය පැවරේ. ලැබෙන ඕනෑම වගකීමක් දිවිහිමියෙන් ඉටු කිරීමට කුඩා කල සිටම වෙර දැරූ මා හට කුමක් දෝ නොදන්නා වගකීමක් පැවරී තිබේ.
හෙට උදෑසන මම මාගේ රාජකාරිය ආරම්භ කළ යුතුව ඇත.
අප්පාත් අම්මාත් රැක බලා ගැනීමේ වගකීම හෙට සිට මා හට පැවරෙනු ඇත.
මේ රාත්‍රිය මට සුවදායක යැයි ඔබට සිතෙන්නට හේතු බොහෝ තිබෙන්නට පුළුවනි. බඹරැල්ලේ සිට කොළඹ ආ මට සැබෑවටම මේ ලැබුණු විශාල කාමරය සුවදායක එකකි. නමුත් මාගේ සිතුවිල්ල එතරම් සුබදායක නැත.
මහා කඳු මුදුනක අපිළිෙවළට ඉදිකළ දිගු ලයිමේ අහස පෙනෙන කුඩා කාමරයේ මට ලැබුණු මානසික නිදහස දැන් මට දැනෙන්නේ නැත. උදෑසනම අවදි වී කඳු පාර අතරින් කුඩා දිය සීරා පසුකර ගඟ ගාවට ගොස් අරඹන ජීවිතය තරම් මේ ජීවිතය අලංකාර නොවිය හැකිය.
කෙනකු තවත් අයකුගේ ජීවිතයේ සුවය සැපය නිගමනය කරන්නේ ඇය හෝ ඔහු දකින බාහිර ස්වරූපයෙන් නම් මම එය තරයේ ප්‍රතික්ෂේප කරමි.
මෙම කතාව පියවරෙන් පියවර පෙළ ගස්වද්දී අැතැම් සියුම් සංකීර්ණ තැන් මඟ හැරීමට ඉඩ ඇත. ඒ පිළිබඳ සමාවන්න. මන්ද මේ කතාවේ ඇතැම් තැන් මා විසින් සිතාමතාම අමතක කොට දමා ඇත.
එතරම් දිගු රාත්‍රියක් මීට පෙර මා හට උදා වී නැත. කල්පනා කළ දේට වඩා කල්පනා කිරීම උත්සාහ නොකිරීමට ගත් තැන මගේ නින්ද වරින් වර බිඳ දැමුවේ අනවසරයෙනි.
“උඹට පුළුවන් වේවිද මැරෙනකම් අපිව බලා ගන්න. බෑ නේද?”
කඳුළින් දෑසම තෙත් කරගත් අම්මා මගෙන් නිතර අසනු මේ මොහොතේ ද මගේ සිතෙහි ඇඳේයි. එය මා අතින් ඉටූවුවාද නැද්ද යන වග සහ ඇය මට මඟ හැරුණා ද නැද්ද යන වග ඉදිරියේදී ඔබට දැනගැනීමට හැකිවනු ඇත.
එකවරම අැස් අරින විට මට දැනුණේ නුහුරු නුපුරුදු ගතියකි. මා සිටින්නේ කොහිදැයි සිතා ගැනීමට ටික වේලාවක් ගත වුයේ රැය පුරා වැරූ නින්ද නෙත් පුරා තැවරී තිබු නිසාවෙනි.
‘Good Morning? හොඳට නින්ද ගියාද?’
ලොකු නෝනා කාමරයට එබුණේ අනවසරයෙනි. මම ඇයට නොපෙනෙන්නට නිරුවත් දෙපා රෙද්දෙන් වසා ගත්තෙමි.
‘වොෂ් එකක් දාගෙන එන්න. ටිකක් කතා කරන්න ඕනෙ.’
ලොකු නෝනා කාමරයෙන් එළි බැස ගත්තේ ප්‍රිය මනාප මුහුණකිනි.
ජීවිතයේ පළමු වරට මම කොණ්ඩ දෙකක් ගැට ගසා ගත්තෙමි. ජීවිතයේ පළමු වරට එතරම් විශාල කන්නාඩියකින් මම මුහුණ බැලුවෙමි.
‘කොණ්ඩ දෙකක් බැන්දහම ඔයා හරිම ලස්සනයි.’
එතනදීත් මට සිහිවන්නෙත් මේඝවයි. මා සතුව තිබූ ලස්සනම ගවුම, දිගම ගවුම මට කෙතරම් නම් ලස්සන ගෙන දේ දැයි මට සිතුණි. ලොකු නෝනා ඈඳි ගෙන සිටියේ සාලය මැද කළු පැහැති සැප පුටුවේය. මන්දගාමී වූ මම ඇය අසලට පැමිණියෙමි.
“ඔයාගෙ නම මොකක්ද?”
“ලක්ෂමී පාර්වතී ප්රභාහර්”
“අයියෝ, ගොඩාක් දිග වැඩියි”
“මම ඔයාට නමක් දාන්නම්”
මම කිසිවක් කර කියා ගත නොහැකිව බිම බලා සිනැසුණෙමි.
“අද ඉඳන් ඔයාගෙ නම ‘ප්‍රජාපති‘”
මම උප්පැන්නයක් නැතිව නැවත උපන්නෙමි.