ප්‍රතික්ෂේප වීමත් ජීවිතයට ආශීර්වාදයක්

ජුනි 17, 2024

 

ප්‍රතික්ෂේප කිරීම් කියන එක ඉතින් අපි ඕනම කෙනෙක්ගේ ජීවිතේ එක පාරක් හරි සිද්ධ වෙලා ඇතිනේ. ඔය ප්‍රතික්ෂේප කිරීම අපි යන ජොබ් ඉන්ටර්වීව් එකකදී කොහොම ඉන්ටර්වීව් එකට මුහුණ දුන්නත්, ජොබ් එක නොලැබී යෑමක් වෙන්න පුළුවන්.

අපේ නෑදෑයෝ, හිතමිත්‍රයෝ අපි ගැන මොකක් හරි නරක දෙයක් හිතාගෙන, අපිව ආශ්‍රය නොකර අත්හැරීමක් වෙන්න පුළුවන්. ඒ වගේම සුලබවම වෙන්න පුළුවන් ප්‍රතික්ෂේප වීමක් ගත්තොත්, ආදරයෙන් පැරදීම. ඇත්තටම එහෙම ප්‍රතික්ෂේප කිරීම් එකක් හරි ජීවිතේට සිද්ධ වෙලා නැත්නම්, ඒක මාරම ජීවිතයක් වෙන්න ඕනෙ. හැබැයි අපි මේ කතා කරන්නේ ප්‍රතික්ෂේප වීම් සම්බන්ධයෙන් නෙවෙයි. ඊට වඩා, අපි කොහොමද ප්‍රතික්ෂේපයක් හරි විදිහට භාරගන්නේ කියන එක තමයි මේ කතා කරන්නේ. ගොඩක් මිනිස්සුන්ට ප්‍රතික්ෂේපයක් කියන දේ හරිහැටි භාරගන්න බැහැ. සමහර වෙලාවට සමහර මිනිස්සු ප්‍රතික්ෂේප වෙන්නේ බොහොම සුළු කාරණාවකට වෙන්න පුළුවන්. ඒත්, ඒ මිනිස්සු ප්‍රතික්ෂේපය භාරගන්න විදිහ අනුව, ඒ කෙනා ගැන බොහොම නරක ඉමේජ් එකක් අනික් අයට ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා, ප්‍රතික්ෂේප වීමක් භාරගන්නේ කොහොමද කියන එකත් ඇත්තටම අපි ඉගෙනගෙන ඉන්න අවශ්‍ය කුසලතාවයක්.

අන්න ඒ කුසලතාව හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ කියන්න යන්නේ!

 

ප්‍රතික්ෂේපය වේදනාකාරී ඇයි?

කවුරුහරි අපිව ප්‍රතික්ෂේප කළොත්, මොකක් හරි දේකින් අපිව ප්‍රතික්ෂේප වුණොත්, අපිට හරියට රිදෙනවා. හා නැද්ද? ආන්න ඒ නිසා, ඇයි ප්‍රතික්ෂේපය වේදනාකාරී වෙන්නේ කියලා තේරුම්ගන්න එක, ප්‍රතික්ෂේපයක් හරි විදිහට භාරගන්න සෑහෙන්න වැදගත් වෙනවා. ඒක අපේ පරිණාමයත් එක්ක බැඳුණු කාරණයක් කියලා මේ ගැන එක්ස්පර්ට්ලා කියනවා. කොහොම වුණත් අපිව දේකින් ප්‍රතික්ෂේප වුණොත්, අපිට දැනෙන්නේ අපි එතනට වටින්නෙ නැහැ කියලනේ. අන්න ඒකත් එක්ක අපේ ස්වයං-අභිමානයට යම් කිසි පහරක් වදිනවා. අන්න ඒක තමයි වේදනාව. හොඳම දේ තමයි, අපි ජීවිතේ බලාපොරොත්තු වෙන ඕනෑම දෙයක් ගැන, පටන් ගැන්මෙදිම ලොකු බලාපොරොත්තු නැතිව ඒකට මූණ දෙන එක. ඉන්ටර්වීව් එකකට යනවා නම්, ඒ ජොබ් එක ගැන හැකිතාක් බලාපොරොත්තු නැතිව යන්න ඕනෙ. ගෑනු ළමයෙක්ගෙන් කැමැත්ත අහනවා නම්, ඒ ගෑනු ළමයව හිතින් තමන්ගේ අනාගත බිරිය කරගන්නෙ නැතුව ඒක කරන්න ඕනෙ. අන්න එතකොට, ප්‍රතික්ෂේපයක් සිද්ධ වුණත් වේදනාව අඩුයි. සාර්ථක වුණොත් ඒක බෝනස්!

 

තමා ගැන නරකට නොහිතන්න

ඊළඟ දේ  තමයි, මොන විදිහේ ප්‍රතික්ෂේපයක් නිසා වුණත්, තමන්ව හිතින් පහළට නොදාගන්න එක. ප්‍රතික්ෂේපයකදී අපිට හිතෙන්න පුළුවනිනේ අපේ වටිනාකමක් නෑ, අපිව එතැනට හෝ එයාට ගැළපෙන්නෙ නෑ, අන්න ඒකයි අපිව ප්‍රතික්ෂේප වුණේ කියලා. හැබැයි ඒකෙන් තමයි අපිට අපිව ප්‍රතික්ෂේප කරපු පාර්ශ්වය ගැන කේන්තියක් ඇතිවෙන්නෙත්, ඒ වගේම අපි ගැනම කලකිරීමක් ඇතිවෙන්නෙත්. හොඳට මතක තියාගන්න, ඔබ කියන්නේ ඔබ. සමහර වෙලාවට, ඔබට තාමත් වර්ධනය කර ගන්න ඕනෙ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඔබේ තියෙන හොඳ දේවල් ඒකෙන් වෙනස් වෙන්නෙ නෑ. ආන්න ඒක මෙනෙහි කරන්න. ඔබ ගැන නරකට නොහිතන්න.

 

අනෙකා ගැන නරකට නොහිතන්න

දැන් අපි ගැන අපිම නරකට හිතන එක වගේම, අපිව ප්‍රතික්ෂේප කරපු පාර්ශ්වය ගැන නරකට හිතන එකත් වෙන්න පුළුවන්. මුලින්ම අපිට ප්‍රතික්ෂේප කරපු අය ගැන කේන්තියක් එනවනේ. සමහර වෙලාවට අපි හිතනවා “අපිව ලබාගන්න, එහෙම නැතිනම් අපෙන් වැඩක් ගන්න අරුන්ට පින නෑ” කියලත්. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපිව ප්‍රතික්ෂේප වෙන්නේ ඇත්තටම එතනට අපේ සුදුසුකම් මදි නිසා, එහෙම නැතිනම් ඒ අයගේ අපේක්ෂාවන්ට අපිව ගැළපෙනවා මදි නිසා වෙන්නත් පුළුවන්. එහෙමනම් තියෙන්නේ අපිව සංවර්ධනයකර ගන්න. එහෙම නැත්නම් අපිව ප්‍රතික්ෂේප වෙන්නේ, හොඳ දෙයක් තෝරාගන්න අනික් පාර්ශ්වයට හැකියාව නැති නිසා වෙන්න පුළුවන්. එහෙම වුණත් අපිට තියෙන්නේ, අපිව තව දුරටත් සංවර්ධනයකර ගන්න. හැබැයි ඔය කෝක වුණත්, අපිව ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අනික් පාර්ශ්වයේ තෝරාගැනීමක්, තීරණයක්. ඉතින් ඕනෙම කෙනෙක්ට තමන්ට ඕනෙ දේ මොකක්ද එපා දේ මොකක්ද කියලා තීරණයක් ගන්න අයිතියක් තියෙනවනේ. ආන්න ඒ තීරණ ගැනීමේ අයිතියට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕනෙ. ඒ තීරණ ගැනීම ගැන අපි නරකට නොහිතන්න ඕනෙ. අන්න එතකොට, අපිට පුළුවන් අපිව ප්‍රතික්ෂේප කරපු පාර්ශ්වය ගැන නරකට නොහිතා ඉන්න.

 

තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතන්න

දැන් අපිව කවුරුහරි ප්‍රතික්ෂේප කළොත්, අපිව කොතැනින් හරි ප්‍රතික්ෂේප වුණොත්, අපිට ඊළඟට කරන්න හිතන දේ අපේ මමත්වයත් එක්ක සෑහෙන්න සම්බන්ධයි. ඊගෝ එක කියන්නේ, අන්න ඒක. දැන් අපි කියමු අපිව ගෑනු ළමයෙක්ගෙන් හරි පිරිමි ළමයෙක්ගෙන් හරි ප්‍රතික්ෂේප වුණා කියලා. එතකොට අපි හිතනවා ආයෙ ආයෙත් එයා පස්සෙන් ගිහින් කොහොමහරි කැමති කරවා ගන්න. එහෙම හිතනවා නම්, ඊට කලින් හිතන්න එහෙම කරනකොට තමන්ගේ ආත්ම ගෞරවයට මොකද වෙන්නේ කියන එක. ඒ විතරක් නෙවෙයි, අපිව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ට බණින්න අපිට හිතෙනවා නම්, ඒත් අපේ ආත්ම ගෞරවයටම තමයි හානියක් වෙන්නේ. ඉන්ටර්විව් එකකට ගිහින් අපිව තේරෙන පාටක් නැත්නම්, අපි ගිහින් එතැන ලොක්කට අපේ දුක කියලා හරි කොහොමහරි ජොබ් එක හදාගන්න හිතනවනේ. හැබැයි එතකොට අපේ ආත්ම ගෞරවයට මොකද වෙන්නේ? ආන්න ඒක ගැන හිතන්න. ඇත්තටම ඔය වගේ දේවලින් හානි වෙන්නේ අපේ ආත්ම ගෞරවය. අන්න ඒ නිසා, අපිව ප්‍රතික්ෂේප කරපු තැනකට හෝ කෙනෙකුට නරකට සලකන්න හිතනවා නම්, හොඳට මතක තියාගන්න, ඒකෙන් හානි වෙන්නේ අපේ ආත්ම ගෞරවය, ලෝකය අපිව දකින විදිහ කියන එක.

 

ඔබව අගය කරන්නන් හා කාලය ගත කරන්න

දැන් අපිව අගය කරන කවුරුහරි කෙනෙක් මේ ලෝකේ ඉන්න පුළුවනිනේ. නැතිවෙන්න බෑ, අපිව කොහෙන් ප්‍රතික්ෂේප වුණත්, අඩු ගා‍ෙන් අපේ අම්මා තාත්තා හරි, අපේ හොඳම යාළුවෙක් හරි අපිව අගය කරනවා. අපේ ඇත්තටම තියෙන දේවල් අගය කරන්න ඕනෙ කියලා දකිනවා. ආන්න එහෙම අයව මුලින් හොයාගන්න. ඒ වගේම, අපිව කොහෙන් හරි ප්‍රතික්ෂේප වුණොත්, අපිව අගය කරන අයත් එක්ක කතාබහ කරන්න, ඒ අය එක්ක කාලය ගත කරන්න. අන්න එතකොට, අපිට පුළුවන් ඒ ප්‍රතික්ෂේපය නිසා සමහර වෙලාවට ඇතිවුණු ආත්ම අභිමානය බිඳ වැටීමෙන්, සිත් වේදනාවෙන් ගොඩ එන්න. ඒ වගේම, ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න ඔබට ගන්න පුළුවන් ඉදිරි පියවර ගැන. අපිවම සංවර්ධනය කරගන්න නම් කළ යුතු දේ ගැනත් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න. ආන්න එහෙම අය අපි අවට ඉන්නකොට, අපිට ප්‍රතික්ෂේපයක් වුණත් ධනාත්මකව භාරගන්න හැකියාව ලැබෙනවා.

යහපත්, ආචාරශීලි, කාරුණික ගතිගුණ ඔබව නිර්වචනය කරයි

දැන් අපි ප්‍රතික්ෂේපයක් භාරගන්නේ කොහොමද? ඒ කියන්නේ මානසිකව විතරක් නෙවෙයි, ප්‍රායෝගිකව ගත්තොත්? අපිව ඉන්ටර්වීව් එකකින් ප්‍රතික්ෂේප වුණා කියලා අපි එතැනින් ගස්සගෙන එනවද, දඩාං ගාලා දොර වහගෙන යනවද? එතකොට කොල්ලෙක් අපිව ප්‍රතික්ෂේප කළා කියලා, අපි ඇවිත් තැන තැන ඒ කොල්ලගේ වැරදි කියලා බණිනවද? ඇත්තටම ඒ දේවලින් වෙන්නේ අපේ කොලිටි එක අඩුවෙන එක තමයි. ලෝකෙටත් අපි කොලිටියක් නැති මිනිහෙක් කියලා පේන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒ වෙනුවට අපිට බොහොම ආචාරශීලිව හිනාවෙලා, ස්තුතියි කියලා එන්න පුළුවන් නම්, අන්න ඒකෙන් අපේ කොලිටිය දන්නෙම නැතුව වැඩිවෙනවා. මතක තියාගන්න. අපිට හොඳ, යහපත්, ආචාරශීලි, කාරුණික ගති තියෙනවා නම්, අන්න ඒ ගතිලක්ෂණවලින් නිර්වචනය වෙන්නේ අපිව තමයි. ඉතින් ප්‍රතික්ෂේප වුණත් නැතත්, ඒ හොඳ ගතිලක්ෂණ අපි තියාගන්න ඕනෙ. අපිව ප්‍රතික්ෂේප කරන කෙනෙක්ට වුණත් කාරුණිකව සලකන්න අපේ ගතිගුණ දියුණුකර ගන්න ඕනෙ.

 

ඔබව වර්ධනයකර ගන්න

අවසානයට වැදගත් වෙන කාරණය තමයි මේක. ඝෘජුවම හරි විදිහට ප්‍රතික්ෂේපයක් භාරගන්න මේ කාරණාව වැදගත් නොවෙන්න පුළුවන්. හේතුව, අපි අපිව සංවර්ධනය කරගන්න හිතන්නේ ප්‍රතික්ෂේප වීමකින් පස්සේ නිසා. හැබැයි අපිට මතක තියාගන්න පුළුවන් නම්, ප්‍රතික්ෂේප වුණත් අපි තවදුරටත් සංවර්ධනය වෙනවා කියන එක, ප්‍රතික්ෂේපයක් කොයි මොහොතක කොයි විදිහකට ආවත්, ඒක භාරගන්න අමාරු නෑ. මොකද, අපි දන්නවා, අපි ප්‍රතික්ෂේප වෙන්නේ මොන හේතුවට වුණත්, ඒක හැමදාම පවතින්නෙ නැහැයි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත්, අපිව ජොබ් ඉන්ටර්වීව් එකකින් ප්‍රතික්ෂේප වෙනවා, ඒ ජොබ් එකට අපේ අධ්‍යාපන කුසලතා ප්‍රමාණවත් නැහැයි කියලා. හැබැයි අපිට අධ්‍යාපන කුසලතා ඇතිකර ගන්න බැරිද? පුළුවන්. තව උදාහරණයක් ගත්තොත්, අපිව ප්‍රතික්ෂේප වෙනවා ගෑනු ළමයෙක්ගෙන්, අපි ලස්සන මදි කියලා. හැබැයි අපිට බාහිර රූපය කියන එක හදාගන්න බැරි දෙයක් නෙවෙයි.

ඒ වගේම, ප්‍රතික්ෂේපයකදී අපි හිතන්න ඕනෙ තව ස්වර්ණමය නීතියක් තියෙනවා. ඒ තමයි උත්සාහය අත්නොහැරීම. ඒ කියන්නේ, කවුරුහරි කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කළොත්, ආයෙමත් ආයෙමත් ඒ කෙනා පස්සෙන් යන එක නෙවෙයි උත්සාහය අත්නොහැරීම කියන්නේ. හැබැයි එක්කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කළා කියලා, තවත් කෙනෙක් එක්ක කතා නොකර ඉන්න හිතන්නේ නැතුව, තමන්ට ගැළපෙන තවත් කෙනෙක්ට වුණත් කතා කරන එක තමයි උත්සාහය අත්නොහැරීම. තමන්ව එක ජොබ් ඉන්ටර්වීව් එකකින් ප්‍රතික්ෂේප වුණොත්, ඒ ගැන හිතමින් තැවෙන්නේ නැතුව තමන්ට ගැළපෙන තවත් ජොබ් ඉන්ටර්වීව් එකකට අයදුම් කරන එක තමයි උත්සාහය අත්නොහැරීම. අපි අපිව සංවර්ධනයකර ගනිමින්, උත්සාහය අත්නොහරිමින් ඉදිරියට යනකොට, එක දවසකදී මේ ප්‍රතික්ෂේපය කියන එක පිළිගැනීම බවට වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න. සමහර විට මේ ප්‍රතික්ෂේප වීම ඔබේ ජීවිතයට ආශීර්වාදයක් වෙන්නත් පුළුවන්. මීට වඩා හොඳ තැනකට යන්න එහෙමත් නැත්නම් හොඳ තෝරාගැනීමකට පිවිසෙන්න තියෙන්න මාර්ගයක් කියලත් අමතක කරන්න එපා.