වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
රජගල ගිරි අරණේ හෙළ විස්කම් ගුණ වරුණේ
සුධාධවල පොසොන් සඳ කිනිති සිරිලක පින්බිම් සිසාරා වැතිර සැතපෙයි. අසිරිමත් සිරිලකට බොදු සසුන රැගෙන අනුබුදු මිහිඳු හිමියන් වැඩම කළ මේ පුණ්‍ය සමය ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමත්හු සමරනු ලබන්නේ මහත්වූ භක්තිවන්තවමය.
පොසොන් සමය සමඟ නිතැතින්ම බැතිමත්ව සිහිපත්වන මිහිඳු මාහිමියන් ශ්‍රී ලාංකිකයන් නිතිපතා සිහි කරනු ලබන්නේ බෞද්ධ ආගම පමණක් නොව ශ්‍රී ලංකාවට පුනරුදයද රැගෙන පැමිණි නව යුගයක නිර්මාතෘවරයා ලෙසටය.
මේ පොසොන් සඳ වියන යටින් අප අද පාද යාත්‍රාවේ යෙදෙන්නේ මිහිඳු මාහිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත්කර නිර්මාණය කළා යැයි සැලකෙන මිහිඳු මහා සෑය ඉදිකොට ඇති පින්බිම වෙතටය. එපමණක් නොව ශ්‍රී ලංකාවේ විශාලතම පුරාවිද්‍යා බිමක් ලෙස සැලකෙන මෙම අසිරිමත් භූමිය අද වනවිට හඳුන්වනු ලබන්නේ රජගල ලෙසටය.රාස්ස හෙළ, රජගලතැන්න යන නමින් හඳුන්වනු ලබන මෙම පුරාවිද්‍යා බිම පිහිටුවා ඇත්තේ අම්පාරට නුදුරු උහන ප්‍රදේශයට යාබද උස් කඳු මුදුනක ය.
රජගලට පිවිසුම් මං දෙකකි. උහන ප්‍රදේශයේ සිට කඳුකර මාවත ඔස්සේ හරිත මංපෙතින් රජගලට පිවිසෙන්නෙකුට පරිසරයේ ළබැඳි මිහිරියාව මෙන්ම කටුක කඳුකර පරිසර පද්ධතියක අමිල සුන්දරත්වය ද විඳගත හැකිය. දෙවැනි පිවිසුම හමුවන්නේ පුළුකුණාව ගම්මානයෙනි. එම මඟට වඩා පරිසර සංවේදී ඔබ මෙම ගමන යා යුත්තේ උහනින් ඇරඹෙන නොකිලිටි හරිත මංපෙත ඔස්සේය. මුහුදු මට්ටමේ සිට අඩි 1038ක උස කඳුගැටයක් මත අක්කර 1025ක් පුරා අභිමානය පතුරන මෙම පුරාවිද්‍යා භූමිය ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන්නෙකුට මෙන්ම අපගේ සාඩම්බර ඉතිහාසය සියැසින් දැක බලා ගන්නෙකුට කදිම සංචාරක නවාතැන්පොළකි.
අනුරාධපුර සහ පොලොන්නරුව හැරුණු විට විශාලතම පෞරාණික ස්මාරක ප්‍රමාණයක් හමුවන රජගල ලජ්ජිතිස්ස රජතුමාගේ කාලයේ ඉදිකරන ලද සංඝාවාසයක් බවට ඉතිහාසය අපට කරුණු ගෙනහැර දක්වයි. ස්මාරක 700ක් සහ සියයකට අධික ශිලා ලිපි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති මෙම බිම අපේ රටෙහි ශෛලමය නිර්මාණයන්හි පරිණාමය කදිමට දැකබලා ගත හැකි පුරාවිද්‍යා බිමකි. කඳු මුදුන මත විහිදෙන තැනිතලා බිමට පිවිසෙන ඔබට මෙම ඓතිහාසික බිම්කඩ තුළ දැකිය හැකි නිර්මාණයන් බොහෝය. අපේ රටේ සංකේත වන්දනාවේ සිට බෞද්ධයන්ගේ පිළිම වන්දනාව තෙක් දිවෙන ඉතිහාස කතාන්දරය සාක්ෂි සහිතව දැක බලාගත හැකි මෙම බිමෙහි වැදි ජනයා විසින් අඳින ලද ඉපැරණි සිතුවම් කිහිපයක් ද දැක බලා ගැනීමේ දුලබ වරම ඔබට හිමි වනු ඇත. මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට නිර්මාණය කරන ලදැයි කියවෙන දාගැබ මෙම පුරාවිද්‍යා බිමෙහි විශේෂ ස්මාරකයක් ලෙස හඳුන්වාදිය හැකිය. එම දාගැබ අසළ ඇති ශිලා ලිපිය මෙම දාගැබ මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට තනා ඇති බවට ලිඛිතව සාක්ෂි දරයි.
සිංහලයන්ගේ ඉතිහාසගත තාක්ෂණය පිළිබඳව කදිම නිදසුන් මුණගැසෙන රජගල පුරාවිද්‍යා භූමියෙහි හමුවන නිර්මාණ අතර ගල් පාත්‍රයට සහ ගල් ඔරලෝසුවට විශේෂ තැනක් හිමි වේ. කඳු මුදුනක සිට ගල් බටවල ආධාරයෙන් සංඝාවාසය වෙත ජලය රැගෙන ආ අපූරු ක්‍රමවේදය අදට ද ඉතිහාසඥයන්ගේ විශ්මයට හේතු වී තිබේ. මෙම පුරාවිද්‍යා භූමියෙහි කැණීම්වලින් තහවුරු කරගත් ගොඩනැගිලි අතර, හමුවන දාන ශාලාව ලෙස නම් කරන ලද ගොඩනැගිල්ලෙහි කැණීම්
කටයුතු වලදී හමුවූ ගල් ඔරලෝසුව සිංහලයන් අනාදිමත් කාලයක සිට කාලසටහනකට අනුව දෛනික කටයුතු සිදුකළ බවට අපට නැවතත් පසක් කරයි. රජගල පුරාවිද්‍යා භූමියෙහි හමුවන ස්මාරක අතර අඩක් වැඩ නිම කොට අතහැර දමන ලද ගලින් නිමවූ විශාල බුදුපිළිමයට පුරාවිද්‍යාඥයන්ගේ විශේෂ අවධානයත්, සංචාරකයන්ගේ නොමඳ ගෞරවයත් ලැබී තිබේ. ක්‍රි.පූ. පස් වන සියවසට අයත් යැයි සැලකෙන මෙම
බුදු පිළිමය නිර්මාණය වෙමින් තිබූ සමයේ රට තුළට විදේශ ආක්‍රමණයන් සිදුවන්නට ඇති බවත්, එනිසා මෙහි විසූ ජනතාව මෙම බිම අතැර වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වන්නට ඇති බවත් ඉතිහාසඥයෝ අනුමාන කරති.
ගිරි මුදුනක් මත ඉතිහාසය සඟවා ගනිමින් සිටින මෙම බිමේ හමුවන ස්වාභාවික ගල් ලෙන් සමූහය සංචාරකයන්ගේ නොමඳ අවධානයට ලක්වේ. කටාරමින් සරසන ලද මෙම ගල්ලෙන් අලංකාර හැඩවලින් යුක්ත සුවිශේෂී නිර්මාණ වේ.
පුරාණ සිංහලයන් නාට්‍ය සහ කලාව සමීපතවම ඇසුරු කළ බවට මෙම බිමෙහි හමුවන සෙල්ලිපියක් අපට නිදසුන් සපයයි. එහි දැක්වෙන පරිදි නාට්‍ය ශාලාවක සේවකයකු බුදු බව පතා මෙම සංඝාවාසයට බැම්මක් ඉදිකොට දී තිබේ. ඒ අනුව එකල නාට්‍ය ශාලාවන් මෙම ප්‍රදේශයෙහි තිබූ බවට අපට පූර්ණ නිගමනයකට එලඹිය හැකිය.
පුරාවිද්‍යා බිමක් ලෙස අප්රකටව වැජඹෙන රජගල, පරිසරය විඳින්නන්ට ද කදිම සංචාරක ස්ථානයක් ලෙසට නම් කිරීම වරදක් නොවේ. නේක වර්ණ කැලෑ මලින් සැරසුණු මේ තැනිතලාවෙහි විවිධ වර්ගයේ සතා සීපාවන් නිරතුරුවම අපට හමුවේ. හරිත මංපෙත් ඔස්සේ විමසිලිමත්ව සංචාරයක යෙදෙන අපට අඩියෙන් අඩිය හමුවන ලඳු කැලෑවලින් වට වුණ පුරාවිද්‍යා ස්මාරක අපේ ඉතිහාසයේ සැඟවුණු බොහෝ දේ කියන්නට උත්සාහ දරයි. නිහඬ නිසසල විහඟ ගී අතර සුවදායක නොකිලිටි සුළං පොදක් පෙණහලුවලට පුරවාගත හැකි මෙම බිම සංචාරක අපට නවමු, අර්ථවත්, ඵලදායී අත්දැකීමක් ද එක්කරයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පාලනයවන රජගල කෙළවරෙහි ඉදි කොට ඇති පුරාවිද්‍යා කාර්යාලය මෙම ඓතිහාසික භූමිය පිළිබඳ නිවැරදි දැනුම ලබා ගැනීමට අපට අත්වැල් සපයයි. තවමත් ඉතා සුළු කොටසක් පමණක් කැණීම් කොට සංරක්ෂණය කරන ලද රජගල පුරාවිද්‍යා භූමියෙහි සම්පූර්ණ කැණීම් කටයුතු නිම කිරීමට තවත් පනස් වසක් වත් ගත වේ යැයි පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. ඒ අනුව ගත් කල මෙම සුවිශාල භූමිය කොතරම් ඉතිහාසගත තොරතුරු සඟවාගෙන ඇත්දැයි අපට නිගමනකට එළඹිය හැකියි.
පරිසරයේ සුවදායක බවත්, ඉතිහාසයේ ප්‍රෞඪත්වයත්, සිංහලයන්ගේ නිර්මාණාත්මක විස්කම් පෙළත් එකට කැටිවූ රජගල හෙට දිනයේත් ඉතිහාසය මහා පස් කඳු යට සඟවා ගනිමින් අප වෙනුවෙන් වැජඹෙයි. මේ සියල්ල අපගේ උත්තරීතර දායාදයයි.
එන්න මේ සොඳුරු ගිරි මුදුනතට අපි ඉතිහාසය සොයා සංයමයෙන් ගමන් කරමු.