වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මුහුදු පතුලේ උරුම හොයන අරුම ගැහැනිය
සාගරය කියන්නේ අමුතුම ලෝකයක්. හැමෝටම දකින්න නොලැබෙන හැමෝම දකින්න ආසාවෙන් ඉන්න ලෝකයක්. එහෙම අපූරු ලෝකයක් දැක ගන්න ලැබෙන්නෙත් කෙනෙක්ගේ වාසනාවකටයි. එහෙව් ලෝකයක අසිරිය විඳිමින් මුහුදු පතුල ගවේෂණය කරමින් එය තම වෘත්තියත්, ප්‍රියතම විනෝදාංශයත් බවට පත්කරගත් අයෙක් සිටියි නම් සැබැවින්ම එය විස්මිත සිදුවීමකි. මේ කියන්න යන්නේ එහෙම ගැහැනියක් ගැන. මවක, බිරියක, ගෘහිණියක ලෙස සාම්ප්‍රදායික රාමුවක සිරවුණු ගැහැනුන් අභ්‍යවකාශය පමණක් නොව මිහිකතද ජයගෙන අවසානයි. මේ කියන්න යන ගැහැනියත් මහ සයුරම ජීවිතය කරගත් අපූරු ගැහැනියකි.
ගාල්ල පෝද්දිවල පදිංචි ඇය ජිනාලි ඒකනායක. ජීවිතයම පරදුවට තබා මුහුදු පතුලේ සුන්බුන් සොයන ඇය සාගර පුරවිද්‍යා නිලධාරිනියක්.
මේ සඳහා ලංකාවේ ස්ථාපිතව ඇති මුහුදු පුරාවිද්‍යා ඒකකයේ වෘත්තිකයන් අට දෙනකු ඇති අතර ඇය එම සේවයේ යෙදෙන එකම කාන්තාවයි. මූලික අධ්‍යාපනය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සිදු කළ ඇය තුන වසරේදී පියාගේ වියෝවෙන් පසු මව සමඟ පෝද්දිවෙල ගමට පැමිණෙයි. පහ වසර ශිෂ්‍යත්වය සමත්ව පැමිණ ලබුදූව සිරිධම්ම විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කරනා ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ 2014 වසරේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරිනියක ලෙසින් ක්ෂේත්රයට පිවිසුණාය. රැකියාව සහ ජීවිතය තුලනය කරමින් මාරාන්තික අවදානම ද දෝතට රැගෙන මුහුදු පතුලේ සුන්බුන් සොයන ඇය සැබවින්ම වීර කාන්තාවකි.
ශක්තිමත් ගැහැනියකි. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද දස්කම් පෑ ඇය රුහුණු සරසවියේ පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවකි. මේ විස්මිත හැකියාවන් දෝත දරාගත් ජිනාලි තරුණී සමඟ කතා බහකට එකතු වුණේ මේ විදිහටයි.
මට පොඩි කාලේ ඉඳලම පීනන්න පුළුවන්. ඒක උපතින්ම ආපු දෙයක් කියලයි මට හිතෙන්නේ. හැබැයි මම මුලින්ම මුහුදක පීනුවේ වෘත්තියට පිවිසුණාට පස්සෙයි. මම ආසම දේ මුහුදු පතුලේ කිමිදිලා සැඟවුණු දේවල් හොයාගන්නයි. ඒ කියන්නේ ලෝකයෙන් සැඟවුණු දේවල්. මේක මගේ වෘත්තිය වුණාට මගේ විනෝදාංශය කියලා කිව්වත් හරි.
ඔබේ වෘත්තිය ගැන පැහැදිලි කළොත්...
මම මුහුදු පුරාවිද්‍යා නිලධාරිනියක්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ තමයි මම සේවය කරන්නේ. ලංකාව වටා තියෙන ගිලුණු නැව් සොයන එක, ඒ නැව්වල පුරාවිද්‍යාත්මක පැතිකඩ විමර්ශනය කිරීම තමයි අපෙන් සිදු කෙරෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මුහුදු මහා විහාරයේ පන්සල පිටින්ම ගිලුණා කියනවනේ. ඒ වගේ ගිලුණු දේවල් සොයලා ඒවා වාර්තාගත කරලා ඒවා අනාගත පරපුරට දැකගන්න විශේෂිත පුරාවස්තු නම් අපි ඒවා ගොඩබිමට රැගෙන එනවා. එහෙම නැත්තම් ඒවා තිබුණ තැනම සුදුසු ආකාරයට සංරක්ෂණය කිරීම සිදුකරනවා. ඊට අමතරව මුහුද යට තියෙන එවැනි දේවල් වීඩියෝ කරලා..ෆොටෝස් ගහලා තියාගන්නවා.
මේ වෘත්තියට පිවිසුණේ කොහොම ද?
මම රුහුණු කැම්පස් එකේ උපාධිධාරිනියක්. මම කළේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධියක්. ඒ හරහා මුහුදු පුරාවිද්‍යා ඒකකයට යොමු වුණා.
එතකොට මේ වෙද්දි කොතරම් ප්‍රමාණයක ගවේෂණ කටයුතු සිදුකරලා තියෙනව ද?
මේ වෙද්දි මම ත්‍රිකුණාමලය, දකුණු මුහුදු තීරය, ගාල්ල කොටුව අවට කලාපය, ගොඩවාය සහ පුත්තලම, කල්පිටිය ප්‍රදේශ ගවේෂණය කරලා තියෙනවා. ලංකාව වටා නැව් පමණක් නොව ගුවන් යානා වගේ දේවලුත් ගිලී තිබෙනවා. මම ගොඩක්ම සම්බන්ධ වුණේ අම්බලන්තොට ආශ්‍රිතව ගිලීගිය ගොඩවාය යාත්‍රාවේ ගවේෂණ කටයුතුවලටයි.
මේ වෘත්තිය වෙනස්ම විදිහක වෘත්තියක්. මේ වෘත්තියෙන් ඔබට ලැබෙන්නට ඇත්තේ වෙනස්ම අත්දැකීම් ගොන්නක්...
මුහුද කියන්නේ අපි හිතනවට වඩා ලස්සන පරිසරයක්. මුහුදේ කිමිදෙන තත්පරයක් ගානේම අත්දැකීම් අලුත් වෙනවා. පරිසරය කාලෙත් එක්ක හැම මොහොතේම වෙනස්වෙන නිසා ලැබෙන අත්දැකීම් හරි නැවුම්. මට හිතෙන්නේ මුහුදු පතුල කියන්නේම අපූරු සිද්ධි දාමයක එකතුවක් කියලයි. මුහුද යටට ගියාම මට වෙලාවකට හිතෙනවා මම ඉන්නේ මුහුද යටද කියලත්. ඒ තරමට මුහුදු පතුලට පුළුවන් අපිව ආකර්ෂණය කරගන්න. ලස්සන ලස්සන මත්ස්‍යයින් ඒ අතර විස සහිත සත්තු, කොරල්පර, ජලජ ශාක මේ සේරම දේවල් එක්ක මම පුදුමාකාර ආසාවකින් මේ වෘත්තිය කරන්නේ.
මේ වෘත්තියේ නියැෙළන්න බයක් දැනිලා නැද්ද?
මුලදී නම් ගොඩක් බය වුණා. හැබැයි තාමත් ඒ බය තියෙනවා. අපි කිමිදෙන කටයුතු කරද්දි කිසි අවස්ථාවක තනියම යන්නේ නැහැ. අපිත් එක්ක තව දෙන්නෙක් විතර යනවා. ඉතින් මොනවහරි වුණොත් තව දෙන්නෙක් උදව්වට ඉන්න නිසා ආරක්ෂිතයි කියන හැඟීම තියෙනවා. ඇත්තටම මේක තරමක අවදානමක් තියෙන වෘත්තියක් කිව්වත් වැරැද්දක් නැහැ. අපි කිමිදෙද්දි අපිව ඩයිවින් කම්පියුටර් එකකට සම්බන්ධ කරලා තියෙනවා. අපි වේගයෙන් උඩට එනවානම් එකෙන් අපිට පණිවිඩයක් දෙනවා වේගය අඩු කරන්න කියලා. එතකොට අපි ගොඩක් ගැඹුරට යද්දි මීටර් 5 සීමාවේදී විනාඩි තුනක් රැඳෙන්න ඕනේ. මොකද ඇඟ ඇතුළේ තියෙන නයිට්රජන් ප්‍රමාණය අඩු වැඩි වීම මත පැරලයිස් වීමේ අවදානමක් පවා තිබෙනවා. වැඩිම තත්ත්වයට ආවම මරණය පවා සිදුවිය හැකියි. ඊට අමතරව විස සහිත සත්තුන්ගෙන්, දියවැල්වලිනුත් බේරිලා ඉන්න ඕනේ.
මේ වගේ වෘත්තියක නියැෙළනවට ගෙදරින් විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?
අම්මා විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක්. තාත්තා හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක්. ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා අපි පොඩි කාලේද තාත්තා නැති වුණා. මට ඉන්නේ අක්කයි, නංගියි. ඉතින් අම්මා අපේ හැමදේටම සෙවණැල්ල වුණා. අපි කරන්නේ හරි දේ නිසා අම්මා කවදාවත් අපි කරන දේට විරුද්ධ වුණේ නැහැ.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මට දැන් වයස අවුරුදු 6ක දියණියක් ඉන්නවා. දුව මෞලි අබේතුංග. සැමියා කෝසල අබේතුංග. ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් සමහර දුර පැතිවල මුහුදු පතුල ගවේෂණ කටයුතු කරන්න වුණාම එහෙ නැවතිලා ඉන්න වෙනවා. එහෙම යද්දි දෝණිව ගෙදර තියලයි යන්නේ. සමහර වෙලාවට එහෙම මාස තුනක් වගේ ඉන්න වෙලත් තියෙනවා. ඉතින් මගේ වෘත්තිය වෙනුවෙන් මගේ අම්මත්, සැමියත් දෝණිව බලාගන්නවා. එයාලගෙන් ලැබෙන්නේ කියාගන්න බැරි තරමේ සහයෝගයක්. ඉතින් මම හැම තත්පරේම සැහැල්ලුවෙන් මගේ වෘත්තියේ නියැෙළන්නේ එයාලා නිසා. මේ තරම් මට නිදහස ලබාදෙන සැමියෙක් ඉන්න එක ගැන මම ආඩම්බර වෙනවා.