රාජ්‍ය ළමා චිත්‍ර තරගයෙන් පළමු වැනියා වුණු ඩිමල්කා

ජපානයේ යෝකොහාමා නගරයට ගිය එක හීනයක් වගේ
ජනවාරි 3, 2022

 

අගනුවරින් දුර බැහැර පැල්මඩුල්ල ධර්මාලෝක මහ විදුහලේ සිසුවියක් රාජ්‍ය ළමා චිත්‍ර තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් දිවයිනේ පළමු වැනියා වනවා. ඇය ලබා ගත් මේ ජයග්‍රහණයේ වටිනාකම වැඩි වන්නේ 2019 වසරේ ජපානයේ කනගාවා චිත්‍ර තරගයට ඉදිරිපත් වී රටවල් 96ක සිසු සිසුවියන් පරදා ජයග්‍රහණය කරමින් අපේ ලක්මාතාවට කීර්තියක් අත්කර දුන් සිසුවියක් ද වන නිසයි.

 

ඇය පිළිබඳව තොරතුරු සොයා ගිය අපට මේ පාසල පිළිබඳවත්, එහි චිත්‍ර කලා අංශය භාර ගුරුතුමා පිළිබඳවත් පාසල ලබා ඇති සුවිශේෂ ජයග්‍රහණ ගොන්නක් ගැන තොරතුරු හෙළිකරගන්නට හැකි වුණා.

 

මේ වසරේ රාජ්‍ය ළමා චිත්‍ර තරගයෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රහණය ලැබූ ඇය අයි. කේ. ඩිමල්කා ඉඳුරම්පිටිය දැරිවියගේ ජයග්‍රහණයයි. 11 හ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය මේ ජයග්‍රහණයේ සතුට අපට පැවසුවේ මහත් අභිමානයෙන්.

"මම පුංචි කාලේ ඉඳන්ම චිත්‍රවලට තමයි කැමැති. අපේ තාත්තා තමයි පැල්මඩුල්ල ගල්පොත්තෑව රාජමහා විහාරස්ථානයේ දේව රූපය වඩම්මන කරඬුව හදන්නේ. ඒ නිසා පොඩි කාලේ පටන්ම අපි දැක්කෙ සැරසිලි, චිත්‍ර තමයි. ඊට පස්සෙ පාසල් යන්න පටන් ගත්තු දා පටන්ම චිත්‍ර තරගවලට යන්න ගාමිණී සර් මාව උනන්දු කළා. පළාත් තරග, ජාතික තරග විශාල ප්‍රමාණයක් දිනලා තියෙනවා. 2019 දී මම ජපානයේ කනගාවා තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයට රටවල් 96 ක සිසුන් හිටියා. ඒ තරගාවලිය ජයග්‍රහණය කරලා ජපානයේ යොකෝහමා නගරයට ගියා. ඒක ඇත්තටම හීනයක් වගේ. අපේ පවුල දවස් 14ක් ජපානයේ සංචාරය කළා. ඒ සංචාරයෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා. චිත්‍ර සඳහා වැඩිදියුණු කළ තාක්ෂණ ගැන ලොකු දැනුමක් ලබා ගැනීමට ලැබීම විශාල වාසනාවක්.

ඇත්තටම අපේ රටේ හැකියාව තියෙනවා නම් කොහේ හිටියත් දිනාගන්න පුළුවන් කියලා අපි පෙන්නුවා. මේ වගේ ජයග්‍රහණ කවදාවත් බලෙන් ගන්න බෑනේ. අපේ පරිසරයත් එක්ක නිදහසේ අපේ පාසලේ චිත්‍ර අඳින්න අවස්ථාව තියෙනවා.ඒ පහසුකම නගරයේ දරුවන්ට නැහැ. ඒ අයට සල්ලිවලටත් ගන්න බැහැ."

*********************

නව වසරේ අලුත් පාසල්වාරය ආරම්භ වෙලා... දරු දැරියෝ අලුත් පංතියට පියනඟන්නේ හරිම උනන්දුවෙන්. මේ දරුවෝ අතර පුංචි කොළු ගැටයෙක් අලුත් පාසලට එන්නේ උසස් පෙළ පංතියට ඇතුළු වෙන්න. දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන එන දරුවාගේ ලොකුම ආසාව වානිජ අංශයෙන් උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට යන්න.

හැබැයි මේ බලාපොරොත්තුව නොසිතූ ලෙසින් බොඳවුණු දරුවා දෑසේ කඳුළු පුරවාගෙන ආපසු හැරී යන දසුන එම පාසලේ චිත්‍ර ගුරුතුමාගේ සිතට තදින් දැනෙනවා. සංවේදී හදවතක් ඇති මේ ගුරුවරයා තම නැන්දා සමඟ ආපසු හැරී යන දරුවා පසුපස පාසල් ගේට්ටුව අසලට යන්නේ ඒ කඳුළට අස්වැසිල්ලක් වෙන්න.

“පුතේ ඇයි ඔයා අඬන්නේ...“ගුරුතුමා ඇසුවේ හරිම ලෙන්ගතුකමින්.

“සර් මම මේ ඉස්කෝලෙට ආවේ කාමරංගපිටිය ඉස්කෝලෙන්. මට ඕනේ උසස් පෙළ කොමස් කරන්න. ඒත් මට රිසාල්ට් මඳි නිසා මාව ගන්න බැහැ කියනවා. දැන් ආයෙ මම උසස් පෙළ කරන්නේ නෑ සර්... තාත්තා එක්ක පතල් රස්සාවට යනවා.“ දරුවා ගුරුතුමා සමඟ දිගු සංවාදයකට මුල පිරුවේ ඉන් අනතුරුව.

“පුතේ ඔයාට චිත්‍රවලට සම්මාන සාමාර්ථයක් තියෙනවනේ. ඔයා චිත්‍ර කරන්න. මම ඔයාව කැම්පස් යවනවාමයි.... මාව විශ්වාස කරලා ඔයා මගේ චිත්‍ර පංතියට එන්නකෝ.‘‘

චිත්‍ර ගුරුතුමාගේ කියමනට දරුවා චිත්‍ර පන්තියට ආවේ නැවුම් බලාපොරොත්තුවකින්. ඒ දරුවා අද විදුහල්පතිවරයෙක්. ඔහු සෞන්දර්ය පීඨයෙන් පිටවුණේ චිත්‍ර උපාධියක් ලබාගෙන. පතල් වලක දෝනාවක ජීවිතය ගෙවා දමන්න උරුම වූ ඔහු තමයි මාධව දිනුෂ ප්‍රේමදාස.

ඔහු පැල්මඩුල්ල ධර්මාලෝක මහා විද්‍යාලයෙන් සෞන්දර්ය පීඨයට පිවිසුණු එක් සිසුවෙක් විතරයි.

මෙවැනි දරුවන් සිය දහස් ගණනක් මේ විදුහලෙන් සිප් සතර හදාරමින් දිවයින පුරා විවිධ ක්ෂේත්‍ර ගණනාවක දස්කම් දක්වන්නේ දහසක් වූ ගැටලු හා බාධක අභියෝග ජය ගනිමින්. කොළඹ සිට කිලෝමීටර් 120 පමණ දුරින් වූ පැල්මඩුල්ල ධර්මාලෝක මහ විද්‍යාලය ගැන අප මේ සුවිශේෂි සටහන තබන්නේ දිවයිනේ විද්‍යාල අතරින් සුවිශේෂි හැකියාවන් රැසක් හිමි දරුවන් රැසක් බිහි කළ විද්‍යාලයක් ලෙසිනි. ජාතික මට්ටමේ සම්මාන හා අන්තර්ජාතික මට්ටමේ සම්මාන රාශියක් ද හිමිකර ගනිමින් දැක්වූ දස්කම් අතර චිත්‍ර කලා අංශයේ දිවයිනේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල ලෙසින් වාර්තාවක් තබන්නේ කොළඹ සුපිරි පාසල්වලට ද අභියෝග කරමිනි. චිත්‍ර විෂය පමණක් හදාරමින් ජාතික පද්ධතියට ගුරුවරුන් 200ක් පමණ රත්නපුර දිස්ත්‍රික්කයේ දසත විසිර පැතිර යමින් එම විදුහලේ නාමය බබළවන්නේ මහත් අභිමානයෙනි. වසර 13ක් අඛණ්ඩව එක දිගට සමස්ථ ලංකා චිත්‍ර විෂයය සඳහා වූ සම්මානය හිමිකර ගන්නා මේ විදුහලෙන් බිහි වූ සිත්තරුන් විසින් කළ නිර්මාණ අති විශාලය.

අතිවිශාල වූ ජයග්‍රහණ රැසකට හිමිකම් කියන ධර්මාලෝක විද්‍යාලයේ කීර්තිය හා අභිමානය ඉහළටම ඔසවා තැබීමේ දැවැන්ත වූ ශක්තිය බවට පත්වන්නේ විද්‍යාලයේ ප්‍රතිරූපය නිර්මාණය කළ චිත්‍ර කලා ගුරුපියතුමා වන ගාමිණී මුහන්දිරම් මහතාය. වසර 27කට අධික කාලයක් මේ විද්‍යාලයේ චිත්‍ර කලා ගුරුවරයා ලෙසින් ඔහු ලබා ඇති ජයග්‍රහණ සහ ඔහුගේ සිසුන් ලබා ඇති ජයග්‍රහණ ගොන්න මෙතෙකැයි ගණනය කළ නොහැකි තරම්ය. මේ සම්මාන ගොන්න අතරින් 2021 වසරේ ජාතික චිත්‍ර තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට ද මේ විද්‍යාලයේ සිසුවියකට හැකිවීම ද සමස්ථ සිසු පරපුරටම ආදර්ශයකි. මෙවන් වූ ජයග්‍රහණ ගොන්නක් ලබා ගැනීමට හැකි වු පසුබිම හා පාසලේ වත්මන් ප්‍රගතිය ගැන මුලින්ම අපට සටහන් තැබුවේ විද්‍යාලයේ වර්තමාන විදුහල්පති අයි. කේ. චමන්ත අමිල චණ්ඩක්කාර මහතාය. “ඉතාම දීර්ඝ ඉතිහාසයක් තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක තමයි මේ පාසල පිහිටා තිබෙන්නේ. මිෂනාරි පාසලක් ලෙස පැවැති පැල්මඩුල්ල ධර්මාලෝක විදුහල 1976 වසරේදී තමයි රජයට පවරා ගැනීම සිදු වුණේ. නවෝද්‍යා පාසලක් ලෙස පැවැති මේ විද්‍යාලය වර්තමානයේ ජාතික පාසල් පද්ධතියට ඇතුළත් වී තිබීම විශාල ජයග්‍රහණයක්. දැන් මේ පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලය 120ක් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය 5 පමණ සිටින 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පවත්වන පැල්මඩුල්ල ප්‍රදේශයේ එකම පාසල ලෙස දරුවන් 2800ක පමණ සිසුන් ප්‍රමාණයක් ඉගෙනු ලබනවා. කලා, විද්‍යා, වානිජ අංශ තුනෙන්ම උසස් පෙළ හදාරණ සිසුන් සිටින පාසලක් ලෙස පසුගිය වසරේදී තමයි පළමු වරට තාක්ෂණික විෂයය ධාරවෙන් සිසුන් 20ක් උසස් පෙළට පෙනී සිටියේ. ඉන් සිසුන් 9 දෙනෙක් පළමු වරට විශ්ව විද්‍යාල වරම් ලැබීමත් සුවිශේෂි සිද්ධියක්.

මම මේ පාසලට ඇවිත් මාස 09ක් තරම් කෙටි කාලයක්. හැබැයි මේ පාසලේ දිගු ඉතිහාසයක් ඇති දීර්ඝ කාලයක් සේවය කළ විදුහල්පති කේ. විජේපාල මහතාගේ සේවා කාලය තුළ විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. එසේම මේ පාසල මේ තරම් ප්‍රගතියක් කරා රැගෙන යෑමට පාසලේ ආදි සිසුන් හා පාසල් සංවර්ධන කමිටුව දක්වන සහයෝගය අගය කළ යුතුමයි. පසුගිය වසරේ අප පාසලට අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් හිමිවුණේ ආදි ශිෂ්‍යයකුගේ පෞද්ගලික පරිත්‍යාගයක් ලෙසයි. සම්පත් බෙදීයෑම පිළිබඳ ගැටලු තිබුණත් මේ පාසලේ ගුරුවරුන්ගේ තිබෙන උනන්දුව නිසා තමයි මේ තරම් ජයග්‍රහණ රැසක් ලබා තිබෙන්නේ.“

මේ ජයග්‍රහණයේ සැබෑම හිමිකරුවා වන්නේ මේ විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයකු ලෙස සේවය කරන ගාමිණී මුහන්දිරම් මහතාය. ඉතාම නිහතමානී පුද්ගලයකු ලෙසින් ඔහු දක්වන කැපවීම අප විද්‍යාලයේ චිත්‍ර කාමරයට පිවිසෙන විටම දැක ගැනීමට හැකිවිය. මියුරු සංගීත ස්වරයෙන් පිරි චිත්‍ර කාමරය පුරා ඇත්තේ ජයග්‍රහණ හා සම්මාන ගොන්නකි. දරුවන් විශාල ප්‍රමාණයක් නිහඬව තෙලිතුඩින් මවන චිත්‍ර රටා හරිම සුන්දරය. ගමත් නගරයත් අතර වූ වෙනස අත්විඳිමින් අප ඔහුගේ හඬට ඉඩ දුන්නෙමු.

“මම මුලින්ම පත්වීම ඇරගෙන මේ පාසලට අවේ 1995 වසරේදි. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිය ලබාගෙන මේ පාසලට ඇවිත් දැන් චිත්‍ර ගුරු උපදේශකවරයෙක් ලෙසයි කටයුතු කරන්නේ. රත්නපුර කලාපයේ චිත්‍ර ගුරු උපදේශකයා ලෙස සේවය කරන අතර තමයි දැන් මේ විද්‍යාලයේ සේවය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඊට අමතර අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. දැන් ලංකාවේම වැඩිම ප්‍රමාණයක් උසස් පෙළ චිත්‍ර විෂයය හදාරන පාසල බවට පත්කිරීමට හැකිවී තිබීම අප ලබපු ලොකුම ජයග්‍රහණයක්.

ඇත්තටම මම චිත්‍ර ගුරුවරයකු ලෙස ලබපු ජයග්‍රහණ නම් රාශියක්ම තිබෙනවා. අපි පාසලක් ලෙස ජයග්‍රහණ ලැබීම ආරම්භ කළේ 2009 වසරේදී. එදා මෙදා තුර ලබපු ජයග්‍රහණ නිසා 2018 වසරේදී මට තායිලන්තයේ සංචාරයක් හිමි වුණා. ඒ වගේම ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් තිබුණු හැම තරගයම අපි ජයග්‍රහණය කළා. මම පෞද්ගලිකව ලබපු ජයග්‍රහණවලට වඩා මට වටින්නේ දරුවෝ ලබන ජයග්‍රහණ. ඇත්තටම මේ වසරේ අපේ පාසලේ ඩිමල්කා ඉඳුරම්පිටිය දරුවා ලබපු ජයග්‍රහණයක් එක්ක අපේ පාසල රටම දැනගත්තා. ඒ ගැන ඇත්තටම විශාල ආඩම්බරයක්.

 

 විශේෂ ස්තූතිය

නියෝජ්‍ය විදුහල්පති

සමන්තා නාලනී මහත්මිය

 

ඡායාරූප - සුලෝචන ගමගේ

 

 

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.