ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව නිමේෂා තාරුණී විජේසුන්දර

Sunday Observer SLT - Mobitel
දෙසැම්බර් 20, 2021

 

මෙරට පාසල් ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සම්මාන උළෙලයි. මේ සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

43 වැනි වරටත් පවත්වන ලද සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව වූයේ මිනුවන්ගොඩ, මාරපොල මධ්‍ය මහා විද්‍යලයේ නිමේෂා තාරුණී විජේසුන්දර ය. මෙවර තරුණී කවරය සැරසෙන්නේ ඇගේ රුවෙනි.

ඇගේ ඒ ජයග්‍රහණය පිළිබඳව තරුණී සමඟින් මෙසේ කතා බහ කළෙමු.

ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි පාසක් ක්‍රීඩිකාවන් විශාල පිරිසක් අතරින් ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩිකාව වෙන්න ලැබුණට. ඒ වගේම 2019 සහ 2020 වසරවලත් නොකඩවා ජනප්‍රියම ක්‍රීඩිකාව වෙන්න මට හැකි වුණා.

කොහොමද ක්‍රිකට්වලට මුලින්ම යොමු වුණේ...

පොඩි කාලේ ඉඳන්ම මම ක්‍රිකට්වලට හරි ආසයි. නොබලන ක්‍රිකට් මැච් එකක් නැති තරම්. මගේ පාසල මාරපොල මධ්‍ය මහා විද්‍යාලය. අපේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමක් තිබුණේ නැහැ. 2017 වසරේදී තමයි පාසලේ ක්‍රිකට් කණ්ඩායමක් හැඳුවේ. ඒ ගැන මං තමයි ගොඩක්ම සතුටු වුණේ. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන කාලේ. මාත් ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒ ආපු ගමන තමයි මාව මෙතෙක් දුර ගෙනාවේ.

වෙනත් ක්‍රීඩා කටයුතුවලට සම්බන්ධ වුණේ නැති ද?

පාසල් එල්ලේ කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළා. වසර 4ක සිට පාසල් ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කරනවා.

මෙතෙක් ලබා ඇති ජයග්‍රණ ගැන කතා කළොත්..

ක්‍රිකට් ක්‍රිඩාව පැත්තෙන් ලබා ගෙන ඇති ජයග්‍රහණ බොහොමයි. 2017 වසරේ කිරිමැටියාව බාලිකා විද්‍යාලය සමඟ පැවැති තරගයේදී නොදැවී ලකුණු 123ක් ලබා ගත්තා. බෝල 26ට ලකුණු 50ක් ගහන්න හැකි වුණා. ඒක මං ලබා ගත්ත රෙකෝට් එකක්. ඊට පස්සේ 2017 දී හෝලි එන්ජල්ස් බාලිකා විද්‍යාලයට එරෙහිව පැවැති තරගයේදී පන්දු 52 ට ලකුණු 88ක් ලබා ගත්තා. 2018 නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවැති තරගයේදී නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා. 2019 දීත් එම පාසල සමඟ පැවැති තරගයේදී පන්දු 24ට නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා. 2019 වාද්දූව, පානදුර මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවැති තරගයේදී නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා. ඒ වගේම සෙන් ඇන්තනීස්, වික්‍රමශීලා, නිවුස්ටඩ් සමඟත් තරග වැදී ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මං මුලින් තැබූ රෙකෝඩ් එක 2012 වසරේදී මටම අලුත් කරන්න හැකි වුණා. අපි ලංකාවෙන් 2018 වර්ෂයේ 5 වැනි ස්ථානයට ආව කාන්තා ක්‍රිකට් කණ්ඩායම වුණා. ඒ වගේ ශ්‍රී ලංකා කාන්තා 21 පහළ ක්‍රිකට් සංචිතයට තේරී තිබෙනවා.

 

ක්‍රීකට් ක්‍රීඩාවට යොමු වීම ගැන පවුලේ අය මොකද කියන්නේ..

මගේ අම්මා නාලනී විජේවර්ධන, තාත්තා ඩික්සන් විජේසුන්දර. මට අයියා කෙනෙකුයි නංගිලා දෙන්නකුයි ඉන්නවා. නංගිලා දෙන්නා නිවුන්නු. එයාලා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ ගමන යන්න. මගේ තරගයක් ති‍ෙයන දවසට පවුලේ ඔක්කොමලා එනවා බලන්න. දැන් නංගිලා දෙන්නගෙත් උනන්දුවක් තියෙනවා ක්‍රිකට්වලට. එයාලත් පුහුණුවීම්වලට එනවා.

මේ ගමන එන්න උදව් කළ පිරිසකුත් ඇති...

හැම සම්පතක්ම ලබා දෙමින් ශක්තියක් වුන පාසලේ විදුහල්පතිතුමා එස්. ඒ. එස්. පුෂ්පකුමාර. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, වරියන්. ක්‍රීඩා භාර ආචාර්ය තුමිය ප්‍රියංකා රණසිංහ ගුරුතුමිය.කාන්තා ක්‍රිකට් භාර ගයානි ලලන්තිකා ගුරුතුමිය. ඒ වගේම පාසලේ සියලු ගුරුවරුන්, ගුරුවරියන්. ඒ වගේම පාසලේ උ.පෙළ ආචාර්ය වරුන්. ඒ වගේම පුහුණුකරු එස්. බී. සේනානායක සර්. පුහුණුකාරිණී තිළිණි ලක්ෂානි. එමෙන්ම මගෙ ක්‍රිකට් ජීවිතේ පාසලේ අමතකම කරන්න බැරි චරිත දෙකක් තියෙනවා. දයාල් පතිරණ සර්. ඉරෝෂ් ගොඩැල්ලවත්ත සර්. ඒ වගේම පාසල් ක්‍රිකට් සංගමයේ භාණ්ඩාගාරිකතුමා මට පියෙක් වගේ හැමදේටම පිටි පස්සෙන් ඉන්න විජිත බණ්ඩාර පියාණන් සහ ඔහුගේ පවුලේ සියලුම දෙනා ශක්තියක් වුණා මට. ඒ වගේම පාසලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම සහෝදරියන් මාත් එක්ක මේ ගමනට ශක්තියක් වුණා.

අනාගත බලාපොරොත්තුව

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒවගේම IPL කාන්තා කණ්ඩායම එක්ක එකතු වෙලා IPL ගහන්නත් ලොකු ආසාවක් තියෙනවා. මගේ අනෙක් බලාපොරොත්තුව තමයි අලුතින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙන පාසල්වල ළමයින්ට උදව් කරන එක. දුෂ්කර පාසල් තිබෙනවා අවශ්‍ය උපකරණ නැති නිසා ක්‍රීඩාව යොමු නොවෙන. දිනෙක එවැනි දරුවන්ට මඟ පෙන්වනත් ඒ අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් මට අරමුණක් තිබෙණවා.

 

ඡායා - ශාන් රූපස්සර