වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සැප්තැම්බරයට ‘ඩොරිස්ගේ මතක සටහන්’ ගෙනෙන ප්‍රියංවදා ඇම්. බන්දුවර්දන
ප්‍රියංවදා ඇම්. බන්දුවර්දන කියන නවකතාකාරිනිය ගැන කතා කරද්දි ඇය තුළ ජීවත්වන පුවත්පත් කලාවේදිනියව අපට අමතක කරන්න බැහැ. වසර ගණනාවකට පෙර පුවත්පත් බොහොමයකට වාගේම තරුණී පුවත්පතට ද ලිපි සම්පාදනය කළ ඇය පසුකලෙක විදෙස්ගත වෙනවා.
නමුත් ඇය තුළ ජීවත් වන මාධ්‍යවේදිනියට, සාහිත්යවේදිනියට තමන්ගේ රටින් සමුගන්න බැහැ. ඒ නිසා ස්වීඩනයේ ජීවත් වූවද වසරකට වරක් හෝ තමන් උපන් රටේ මිනිසුන් වෙනුවෙන් පොතක් ලියන්නට ඇය අමතක නොකරන්නීය. ඇතැම් විට ස්වීඩන් භාෂාව සිංහලයට පරිවර්තනය කරන එකම සාහිත්යවේදිනියත් ඇය වන්නට ඇති. ඒ විතරක් නොවෙයි මෙරට පාඨක සිත් අමන්දානන්දයට පත් කළ ශ්‍රේෂ්ඨ ගත් කතුවරයකු, සාහිත්‍යවේදියකු වූ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ‘මඩොල් දූව‘ නවකතාව ඇය ස්වීඩන් භාෂාවට පරිවර්තනය කළාය.
මේ සාහිත්‍ය මාසයේදීත් පාඨක ඔබ වෙනුවෙන් නැවුම් පොතක් පිළිගන්වන්නට ලහි ලහියේ සූදානම් වන ප්‍රියංවදා තරුණී සමඟ පුංචි පිළිසඳරකට එකතු වන්නට අමතක නොකළාය.
සාහිත්‍ය ලෝකයේ දී සිංහල භාෂාව වාගේම ඉංග්‍රීසි සහ ස්වීඩන් භාෂාව හරි අපූරුවට හසුරුවන ඔබතුමිය මෙවර පාඨකයන් වෙත තිළිණ කරන අලුත් පොත ගැන අපි මුලින්ම කතා කරමු.
“එය නම් කරලා තියෙන්නෙ ‘ඩොරිස්ගේ මතක සටහන්‘ කියලා. Sofie Lundberg විසින් රචිත 'Red Address Book' කියන පොතේ පරිවර්තනය තමයි මේ විදිහට ඩොරිස්ගේ මතක සටහන් බවට පත් වුණේ. සත්‍ය කතාවක් ඇසුරෙන් ලියවුණු මේ නවකතාවෙන් කියවෙන්නෙ සැබෑ ප්‍රේමයක් වෙනුවෙන් බලාගෙන හිටපු ධෛර්යවන්ත ගැහැනියකගේ අප්‍රමාණ ශක්තිය පිළිබඳයි.”
ප්‍රියංවදා කියන්නෙ පුංචි කාලේ ඉඳන් පොතට පතට පෙම් බැඳි, පුවත්පත්වල ලිපි සම්පාදනය කළ තැනැත්තියක්. අපි ඒ අතීතය පිළිබඳ මතකය අවදි කළොත්.
“මාවනැල්ල, උතුවන්කන්දෙ ඉපදුණු මම පාසල් ගියේ උතුවන්කන්ද රෝමානු කතෝලික පාසලට. පුංචි කාලේ ඉඳන්ම මම පත්තරවලට හරිම ආදරෙයි. අපේ තාත්තා මටයි, මල්ලිටයි නිරන්තරයෙන්ම පත්තර ගෙනත් දෙන්න අමතක කළේ නෑ. මුලින්ම මම මේ පත්තරවල ළමා පිටුවලට පුංචි කවි, කතා ලිව්වා. ඊට පස්සේ කෙටි කතා ලිව්වා. දවස, රිවිරැස, ලංකාදීප, ජනතා, සිළුමිණ වනිතා විත්ති, තරුණී මේ හැම පත්තරේකටම මම ලිව්වා.“
ඒ නිසාම ජීවන සහකරුවත් පත්තරේකින්ම තෝරා ගත්තා.
“ඇත්තටම ඔව්. ඔහු විසිතුරු පත්තරේ වැඩ කළේ. මම පුදුමාකාර විදිහට පොත්, පත්තර කියවන්න කැමැති නිසා ඒ වෘත්තියේ නියැළෙන කෙනෙක් ගැළපෙයි කියලා හිතුණා. වැඩිදුර හිතුවේ නෑ. විවාහයෙන් පසුවත් ලේඛන කලාවට සමුදෙන්න මට ඕනෙ වුණේ නෑ.“
ඔය අතරේ ඔබේ පළමු පොත එළිදකිනවා.
“මගේ මුල්ම පොත‘ හෙටත් දවසක් උදාවෙයි.’ පුදුමාකාර ප්‍රතිචාරයක් ලැබුණා. අැත්තටම එය මගේ ලේඛන ජීවිතයට හොඳ උත්තේජනයක් සැපයුවා. හැබැයි අනෙක් පැත්තෙන් මගේ ජීවිතයට තහංචි වැටුණු කාලයක් වුණා. මගේ සැමියා කැමැති වුණේ සාම්ප්‍රදායික බිරියක් විදිහට දරුවන් හදාගෙන, නිවෙෙස් වැඩ කරගෙන ඉන්න ගැහැනියකට. ඉතින් ඔහුට හොරෙන් තමයි මම පත්තරවලට ලිව්වෙ. ඔහු මට පුදුමාකාර විදිහට හිරිහැර කළා. පොත් පත් ගිනි තිබ්බා. අපේ ගේ ළඟ තියෙන ඇළේ මගේ පත්තර පාවෙන්න පටන් ගත්තා. බැරිම තැන අන්තිමට අපි වෙන් වුණා. ඒ වෙනකොට මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මම ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ රැකියාවකට සම්බන්ධ වුණා.
හැබැයි තවත් ටික කාලයකින් ඔබ මේ රට හැර යනවා.
“මේ සමාජය දරුවෝ එක්ක තනිවුණු ගැහැනු දිහා බලන්නේ වපර අැහෙන්. විවිධාකාර ගැටලු නිසා මට මේ ජීවිතය එපා වෙලයි තිබුණේ. ලොකු දුව ඒ වෙනකොට විවාහක නිසා මම අනෙක් දරුවන් තුන්දෙනා සමඟ ස්වීඩනයට ගියා. මම මුලින්ම පුංචි පුංචි රැකියා කීපයක්ම කළා.“
ඒ රටේ භාෂාව හැදෑරීමත් සමඟ ඔබ නැවතත් ලේඛන කලාවට පිවිසුණා.
“ඔව්. භාෂාව ඉගෙන ගැනීමත් සමඟම මම ඒ රටේ විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය හැදෑරුවා. පෙර පාසලක හොඳ රැකියාවකුත් ලැබුණා. ඒ රටේ ඉඳන් ලංකාවේ පත්තරවලට ලිව්වා. මම දැනට පොත් 20කට වැඩි ප්‍රමාණයක් ලියලා තියෙනවා. මගේ ස්වතන්ත්‍ර නවකතා වගේම ‘මඩොල් දුව’ පොත ස්වීඩන් භාෂාවට පරිවර්තනය කළා. ඒ වෙනුවෙන් මම ස්වීඩන් රටේ දී සම්මානයටත් පාත්‍ර වුණා. මේ වෙනකොට මම වැඩි වශයෙන් පරිවර්තන කෘති කරන්න පෙලඹිලා තියෙනවා. ඒවාට හොඳ ප්‍රතිචාරත් හිමි වෙනවා. විශේෂයෙන්ම පසුගිය වසරේ මම සිංහලයට පරිවර්තනය කළ “නීනා පොතට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ නිසා මේ සැප්තැම්බරයේදීත් මගේ අලුත්ම පොත එක්ක ඔබව බලන්න ලංකාවට එනවා.”