ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටිය දිග්විජය කරමින් පදක්කම් තුනක් හිමිකර ගත්ත අපේ කෙල්ලෝ ඩබල

දෙසැම්බර් 16, 2024

ශ්‍රී ලාංකේය ක්‍රීඩාව පුළුල් පරාසයකට විහිදී යමින් තිබීම සුබවාදී නිමිත්තකි. අප රටේ පසුගිය කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩාවත්, දැල්පන්දු ක්‍රීඩාවත් හැර ජාත්‍යන්තර මට්ටමින් වෙනත් ක්‍රීඩාවන්ගේ හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවක් බිහි වූයේ මලල ක්‍රීඩාවෙන් පමණකි. නමුත් මේ වන විට ඈත ගම්දනව් සිසාරා විවිධ වූ ක්‍රීඩාවන්ගේ දක්ෂයන් බිහි වෙමින් තිබීම සුබවාදී පෙරනිමිත්තකි.

එලෙසින් අපට පසුගිය සතියේදී හමුවූයේ කරාතේ ක්‍රීඩාවේ දස්කම් පෑ අනුරපුර ක්‍රීඩිකාවන් දෙදෙනකි. අපට මෙවරත් එවැනිම දක්ෂ ක්‍රීඩිකාවන් යුවළක් හමුවන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙනි. ඒ හෂාරා විජේරත්න සහ හෂිනි අම්බලන්ගොඩගේ ක්‍රීඩිකාවන් යුගලයයි. පාසල් ක්‍රීඩා පිටියෙන් බැඩ්මින්ටන් පිටියට පිවිසි හෂිනි සහ හෂාරාගේ සුසංයෝගයෙන් අපේ රටට ජාත්‍යන්තර දස්කම් ත්‍රිත්වයක් රැගෙන එන්නට සමත්ව ඇත්තේ රන් පදක්කමක් සමඟිනි. මෑත කාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කාන්තා ක්‍රීඩිකාවන් යුගළයක් මෙතරම් ඉහළ ජයග්‍රහණයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර ඔවුන්ගේ දක්ෂතාව අනුව ලෝකයේ ‍ෙශ්‍ර්ණිගත කිරීමේ අංකනයට අනුව ඔවුන්ට 190 වැනි ස්ථානය දක්වා පැමිණීමට ද අවස්ථාව හිමි වි තිබේ.

මෙලෙසින් ජාත්‍යන්තර තරග තුනක් ජයගත් මේ ක්‍රීඩිකාවන් යුගලගේ තවත් සුවිශේෂීත්වයක් වන්නේ ඔවුන් දෙදෙනාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරි සිසුවියන් ලෙසින් තම උපාධිය හමාර කළ සිසුවියන් දෙදෙනකුවීමයි. එලෙසින් තම අධ්‍යාපන කටයුතු ද සාර්ථකව අවසන් කරමින් ජාත්‍යන්තර තරග ජයග්‍රහණ තුනක්ම හිමිකර ගත් සතුට සමඟින් ඔවුන් දෙදෙනා එම ජයග්‍රහණ හිමිකර ගනිමින් ලංකාවට පා තැබූ මොහොතේදී අපට මුණගැසීමට හැකිවූයේ ඔවුන්ගේ ජයග්‍රහණයේ උතුරා ගලන සතුට ද සමඟිනි. මෙහෙදී අපට මුලින්ම අදහස් දැක්වීමට එක් වූ හෂාරා විජේරත්න ක්‍රීඩිකාව තම ජයග්‍රහණය ගැනත් ක්‍රීඩාවෙන් තමන් ලැබූ තවත් ජයග්‍රහණ ගැනත් අපට සඳහන් කළේ මෙලෙසිනි. “මගේ ක්‍රීඩා ජීවිතය ආරම්භ වු‍ෙණ් අවුරුදු දහයේදී. ඒ කියන්නේ 2009 දී තමයි මම බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම ආරම්භ ක‍ෙළ්. මගේ අක්කා ඒ කාලේ බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා මම හරි ආසාවෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ මටත් ආසයි කියලා අම්මටයි තාත්තාටයි මම කිව්වා. මම පාසල් ගියේ තලවතුගොඩ විදුර විද්‍යාලයට. ඒ පාසලේ ක්‍රීඩා පුහුණුකාරිය වුණේ නිශාන්ති විදානගේ ගුරුතුමිය. ඊට පස්සේ මගේ පුහුණුකරු වුණේ දුෂාන් අනුරුද්ධික මහතා.

ඊට පස්සේ තමයි මට යුක්ති පෙරේරා සර් හමුවුණේ. අවුරුදු 14 සිට මේ දක්වාම ඔහු තමයි මගේ පුහුණුකරු වුණේ. ඇත්තටම මේ තරම් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ශක්තියක් වුණේ යුක්ති සර් තමයි. මම මුලින්ම 2014 දී තමයි පළමු ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වෙලා ජයගත්තේ. අවුරුදු 21 පහළ දකුණු ආසියානු බැඩ්මින්ටන් තරගයට මම ඉදිරිපත් වුණේ යුගළ තරගයක් සඳහා. මේ තරගයේදී මගේ සහාය තරගකාරිය වුණේ නයනතාරා තුෂාරී. ඉන් පසුව 2016 වසරේදී කනිෂ්ඨ ජාතික තරගාවලියේදී ශුරතාව දිනා ගත්තා. නැවත මට ජාතික මට්ටමේ ජයග්‍රහණයක් හිමිවුණේ 2023 වසරේදි. ඒ වසරේදී යුගළ ජාතික තරගය ජයග්‍රහණය කළා. ඊට පස්සේ මට ටික කාලයක් ක්‍රීඩා කරන්න බැරි වුණේ අධ්‍යාපන කටයුතු නිසයි. නමුත් මම කළමනාකරණ උපාධිය අවසන් කළාට පසුව නැවත ක්‍රීඩා කිරීමට අාසාවක් ඇති වුණා. මමත් හෂිනිත් පසුගිය දා ජාත්‍යන්තර තරග 3ක් නියෝජනය කළා. එහි පළමු තරගය තමයි සැම්බියාවේ පැවති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාව. එහිදී අපට රිදී පදක්කමක් හිමි වුණා. ඊට පසුව තරගය පැවතියේ බොට්ස්වානාහි බැඩ්මින්ටන් ශූරතාවලිය. මෙහිදී යුගළ තරගයෙන් අපට රන් පදක්කම හිමිකර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේදී යුගළ තරගයේ රිදී පදක්කම හිමිකර ගත්තා. ඒ අනුව මේ තරගමාලාවේදී අප දෙදෙනාට රිදී පදක්කම් දෙකක් සහ රන් පදක්කමකට හිමිකම් කියන්න හැකි වුණේ අප දෙදෙනා අතර සිදුවුණු සම්බන්ධතාවය නිසායි. මමත් හෂිනිත් එකට ක්‍රීඩා කරන්න පටන් අරගෙන දැන් වසර 2ක් තරම් කාලයක්. ඒ කාලය තුළ අපිට පුහුණුවීමේ කටයුතු ඉතාම හොඳට කරන්න කාලය ලැබුණා. අපේ අධ්‍යාපන කටයුතු අවසන් නිසා ඉදිරියේදී බැඩ්මින්ටන් ක්‍රීඩා කටයුතුවලට වැඩි කාලයක් ලබා දෙමින් මේ වගේ ජයග්‍රහණ රැසක්ම ලබන වසරේ ලබා ගන්න හැකිවෙයි කියලා අපි විශ්වාස කරනවා.“ හෂාරා සමඟ කළ කතාබහේ පසුව අපට හමුවූයේ හෂිනි අම්බලන්ගොඩගේ ක්‍රීඩිකාවයි. ඇය ද හෂාරා මෙන්ම දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි. පාසල් පිටියෙන් ක්‍රීඩාවට එක් වූ ඇය තම මිතුරිය සමඟ මේ ජයග්‍රහණය ලැබු අයුරු අපට සඳහන් කළේ මෙලෙසිනි.

‘මමත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියක්. මගේ ක්‍රීඩාව ආරම්භ වුණේ කොළඹ අනුලා විද්‍යාලයෙන්. පසුව විශාඛා විද්‍යාලයෙන් තමයි විශ්වවිද්‍යාලයට වරම් ලැබුණේ. මගේ පුහුණුකරු වුණේ මගේ පියා. ඔහු තමයි දයානන්ද අම්බලන්ගොඩගේ. මගේ පියා දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ඔහු වසර දෙකකට පෙර මියගියා. ඒ නිසා මම මේ ලබපු ජයග්‍රහණය දකින්න තාත්තාට බැරි වුණා. මම මුලින්ම ජයග්‍රහණයක් ලැබුවේ 2018 වසරේ දී. රටවල් 08 පමණ සහභාගි වුණ තරුණ බැඩ්මින්ටන් රිලේ ඔලිම්පික් තරගය තමයි මගේ මුල්ම රන් පදක්කම වුණේ. ඊට පසුව 2019 සාෆ් තරගාවලියේදී කාන්තා කණ්ඩායම් තරගයෙන් රිදී පදක්කමක් හා 2018 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ අර්ධ අවසාන තරගයටත් සහභාගිවීමට අවස්ථාව ලැබුණා. 2020 තමයි මම ජාතික කාන්තා කේවළ තරගයට සහභාගි වුණේ. ඒ තරගයේදී කේවල සහ යුගළ තරග දෙකෙන්ම රන් පදක්කම හිමිකර ගත්තා.

මගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය ලැබුවේ පසුගිය දා පැවති තරග තුනේදී. ඒ තරගයේදී හෂාරා අක්කා එක්ක ක්‍රීඩා කිරීමට ලැබීම ලොකු වාසනාවක්. අපි උපරීම දක්ෂතාව පෙන්වමින් මේ තරග තුනෙන්ම ජයග්‍රහණය කළේ ලෝකයේ රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් පරාජය කරමින්. ඒ තරගයට තරගකරුවන් හා තරගකාරියන් 500 පමණ සහභාගි වුණා. ඇත්තටම අපි දෙන්නාම දැන් උපාධිය අවසන් නිසා ඉදිරියේදී ක්‍රීඩාව වෙනුවෙන් සම්පූර්ණ කාලය යොදවමින් අපේ රටට කීර්තියක් ගෙන ඒම තමයි අපේ ලොකුම සිහිනය.”

 

[email protected]