පිළිවෙත් රකිමින් ශ්‍රවණය කරන්නේ නම් පිරිතේ බලය මහත්ඵලයි

පෙබරවාරි 6, 2019

ලෝකවාසී බෞද්ධයෝ දුකේදීත් සැපේදීත් තෙරුවන්ගේ පිහිට පැතීමට කවදත් හුරු පුරුදු වී සිටිති. තිසරණ සරණ මිස ඔවුනට අන් සරණක් නැත. සියලු දුක්, සියලු රෝග, සියලු බිය දුරුකොට සියලු සම්පත් ළඟාකර ගැනීමේ ශක්තියෙන් යුත් පිරිත නිරන්තරව භාවිත කිරීමට බෞද්ධයෝ ප්‍රිය කරති. මේ නිසා පිරිත පිළිබඳ අසීමිත භක්තියක් හා විශ්වාසයක් ඔබ තුළ ද ගොඩනැගී ඇත.

පින්වත් ඔබ තුළ ඇති දෙලොව යහපත පිණිස හේතුවන මෙම උනන්දුව ආරක්ෂාකර ගැනීමට අනුබල දීමත් තවදුරටත් වර්ධනය වීමට පහසුව සලසා දීමත් සදහම් සෙවණ ඔස්සේ අපි අපේක්ෂා කරන්නෙමු.

'සීල - සමාධි - ප්‍රඥාවන්ගෙන් දෙවියන්, මරුන්, බඹුන් සහ මිනිසුන් ඉක්මවූ තථාගතයාණන් වහන්සේගේ සත්‍යයෙන් ද, අර්ථයෙන් ද, පරමෝත්කෘෂ්ඨ බුද්ධ වචනය මඟින් කෙරෙන ආශිර්වාදය පිරිතයි. දේශක තෙමේ සිල්වත්ව, ගුණවත්ව හිඳිමින් ශ්‍රද්ධා, සීල ගුණ යුක්ත, ශ්‍රාවකයාගේ දර්ශන, ශ්‍රවණ, කෘත්‍ය ප්‍රධාන පංචස්කන්ධයෙන් පිරිතේ බලය අධ්‍යාත්ම ගතකොට ඔවුනගේ ලෙඩ දුක් කරදර පීඩා දුරුකොට ආරක්ෂාවත් අභිවෘද්ධියත් උදාකර දෙයි. පිරිතේ බලය එක් චන්ද්‍ර සූර්ය යුග්මයකින් ආලෝකමත් වන එක් චක්‍රාවාටයකට පමණක් නොව අනන්ත චක්‍රවාටයන්ට පතුරාලිය හැකියි.

සැබැවින්ම සුමට වූ සුමිහිරි වු වදන් තුළින් සහනදායී සාමකාමී වටපිටාවක් ගොඩනගා ගත හැකියි. ගැඹුරු වූ මානසික ශක්තිය තුළින් ගොඩනැගෙන සත්‍යවූත් හරවත් වූත් වාග් මාලාවකට ඇත්තේ එයටත් වඩා අපරිමිත වූ බලයකි. පිරිත නමින් හැඳින්වෙන්නේ ද සත්‍ය වූ ගුණ සමුදායක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීම තුළින් කරනු ලබන ආශිර්වාද දේශනයකි. මේ නිසාවෙන් පිරිත තුළ ඇත්තේ අසීමිත බලයකි. ශක්තියකි.

සතුරු උවදුරුවලින් ආරක්ෂාව, සතුරන් ජය ගැනීම, නිරෝගී බව, සම්පත් වර්ධනය, දරුඵල ලැබීම, අව්ව - වැස්ස ආදී බොහෝ දේ පතා එදා සමාජය තුළ මෙම ගායනා ක්‍රම භාවිත කෙරුණි.

පින්වත් ඔබට පිරිතේ ආනුභාවය හා ආරක්ෂාව සාකල්‍යයෙන්ම ඉටුකර ගැනීම පිණිස පිරිත් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුය. පිරිත හුදු දේශනාවක් පමණක් ම නොවේ. එහි අරමුණු සාධනය උදෙසා පිරිතේ ජීවමානත්වය ගොඩනගා ගත යුතුය. මේ සඳහා පිරිත් සූත්‍රයන්හි අර්ථය, එහි පරමාර්ථය, ඒ සඳහා දක්වන මානසික සම්බන්ධය, දේශනා මාධ්‍ය හා පිරිතේ දේශනයේ අක්ෂර, පද ආදී සෑම තන්හි ම අවදි ව සිහියෙන් යුතුව සැබෑ සත්‍ය ක්‍රියාවක ස්වරූපය ගොඩනගා ගත යුතුය. දේශකයාණන් පමණක් ම නොව ශ්‍රාවකයා ද තෙරුවන් පිළිබඳ සැබෑ සැදැහැයෙන්, සීලයෙන් විශ්වාසයෙන් යුතුව තමා වෙත පිරිතේ ජීවය ග්‍රහණය කළ යුතුය. සම්මා සතිය දේශක ශ්‍රාවක දෙපක්ෂය විසින්ම මනාව සුරැකිය යුතුය. මේ නිසා පිරිත යනු අරි අටඟිමග සපුරන්නක් වන අතරම අනික් අතින් එය මනෝ විද්‍යාත්මක පදනමක් සහිත ආශිර්වාදයක් ද වන්නේය.

අකුසල කර්මාවරණයෙන් ද, රාගා දී වූ ක්ලේශාවරණයෙන් ද නොඇදහීමෙන් ද යන තුන් කරුණින් යුත් පුද්ගලයාට පිරිතෙන් අනුහස් ලද නොහැකියි. මේ අනුව අසංවේදී, අවිචාරශීලී දේශක හා ශ්‍රාවකයන්ට පිරිතේ ප්‍රතිඵල ලද නොහැකිය.

පිරිතෙන්, පිරිත් නූලෙන් ලැබෙන ආශිර්වාදය මෙතැකැයි කිව නොහැකිය. මහරහතන් වහන්සේලා වැඩසිටි අවධියේ දී හෙල මහ රජදරුවන් පිරිතෙන් ජාතියටම ආශිර්වාදය කරනු ලැබීය. රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සව අවස්ථාවේ දී මහ සඟරුවන මුළු රෑ පිරිත් ධර්මය දේශනා කරන ලදී.

උපතිස්ස රජ දවස සිදු වූ මහා දුර්භික්ෂ අවස්ථාවේ දී රජතුමා ප්‍රධාන රටවැසියා සිල් සමාදන් කරවා නගරය සරසා මංපෙත් ඔස්සේ රතනසූත්‍ර දේශනාව පවත්වමින් දුර්භික්ෂ සමනය කළහ. පිරිතෙන් ලද අනුහස් හේතුවෙන් පිරිත් දෙසුම පැවැත්වීමට රාජ ආඥාවක් කළ බැව් ද මහා වංශයේ සඳහන් වේ.

පිරිත ඝණ සජ්ඣායනා වශයෙන් පිරිසක් එක්ව දේශනා කළ හැකි අතරම පුද්ගල දේශනා වශයෙන් තනි තනිව වුවද දෙසීමට බාධාවක් නොමැත. සෙත් පරිත් දෙසුමේ දී ලලිත වෘත්ත තරංග වෘත්ත දෙක ඇති කොට ද පිරිත් දේශනය කිරීම පෞරාණික චාරිත්‍රයකි. මේ අනුව පිරිත් දේශනය අධ්‍යාත්මික ශාන්තිය දනවන ස්වරයෙන් ම දෙසිය යුතුය. පිරිත් දෙසුමේ දී අධ්‍යාත්මික බාහිර පාරිශුද්ධිය සේම අර්ථ ගෞරවයත් ශබ්ද ගෞරවයත් ආරක්ෂා කරගත යුතුය.

පින්වත් ඔබට දෛනික ජීවිතයේ ජීවන දර්ශනයක් ලෙසත් භාවනා මාර්ගයක් ලෙසත් පිරිත භාවිතයෙන් නව ජීවයක් ලැබේ.

එහෙත් පිරිත් ශ්‍රවණය කිරීමේදී ගීතයක් රසවිඳිනවා මෙන් ආවාට ගියාට ශ්‍රවණය කිරීම නොකළ යුතුය. එය ඉතා ශ්‍රද්ධාවෙන්, මහත් භක්ති්‍යාදරයෙන් සිදුකළ යුත්තකි. දැන් දැන් බොහෝ නිවෙස්වල රාත්‍රිය පහන්වනතුරුත් අලුයම් කාලයේත් පිරිත් ඇතුළත් හඬ පටයක් දමන්නට හුරු පුරුදු වී සිටී. ඔබ මඳක් සිතන්න, මෙමඟින් සැබෑවටම ඔබට පිරිත් ශ්‍රවණය වීමක් සිදුවෙනවාද කියා. රැය පහන්වනතුරු ඔබ සුව නින්දක පිරිත් හඬ පටය අවසන්වන බවක්වත් ඔබ නොදනී. එසේම පිරිත කියන මේ මහා බලගතු දේ ඔබ භාවිත කරන්නේ නිවෙසේ ශීතකරණයේ මලකුණු පුරවාගෙන, එහෙමත් නැත්නම් ඔබ මස් මාංස අනුභවකර. නොඑසේ නම් නිවෙසේ ගෘහමූලිකයා මත්පැන් පානයකර. වර්තමානයේ ඇතැම් ගෘහණියන් කුස්සියේ ඉවුම් - පිහුම් කරන ගමන් පිරිත් ශ්‍රවණය කරන්නටත් හුරුවී සිටිනවා. ඇත්තෙන්ම පින්වත් ඔබට හැකි සෑම විටකදීම පිරිත් ශ්‍රවණය කිරීම යහපත් ක්‍රියාවක්. ඔබ එය වඩාත් සුදුසු පරිදි සිදු කරන්නේ නම් ලැබෙන ප්‍රතිඵලය මීට වඩා අතිශය යහපත් වේවි.

පින්වත් දරුවනි, අපි බුදු කුටියට පිවිසෙන්නේ නිර්මාංස වී ශරීරය පිරිසුදු කරගෙන, පිරිසුදු වස්ත්‍රයක් ඇඳගනයි. මල් පූජා කරන්නේ අත් දෝවනය කරගෙනයි. එසේ නම් පිරිත් ශ්‍රවණයේ දී විතරක් ඇයි අපි සිත, කය පිරිසුදු නොකර සිටින්නේ. ඕනෑම දෙයකින් යහපත් ප්‍රතිඵලයක් උදාකර ගැනීම පිණිස අප ඒ සඳහා ද යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතුමය. ඒ ධර්මතාවය හැමදේටම සුදුසුය.

අද පටන් ඔබ පිරිත්, සූත්‍ර ශ්‍රවණයේ දී ඉතාමත් ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම යහපත්ය. දවස පුරාවට නිවෙසේ පිරිත් දැමීම අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා ඔබට පේවී සිටිය හැකි එක පැයක් වෙන්කර ගන්න. යහපත්ව කටයුතු කිරීමෙන් ඔබේත්, පවුලේ සාමාජිකයන්ගේත්, නිවෙසේත් දියුණුව නිරෝගී භාවය, ආයුෂ, සතුට, සැනසීම ළඟාකර ගත හැකියි. එසේනම් පින්වත් දරුවනේ පිරිත හුදු පිං වැඩෙන අචේතනික දෙසුම් විලාසයක් සේ නොසලකා ජීවමාන සත්‍යක්‍රියා පිළිවෙතක් ලෙස යොදා ගන්නේ නම්, අසහනයෙන්, බියෙන් විපතෙන් තොර සාමකාමී අධ්‍යාත්මික ආශිර්වාදයක් ළඟා කරගත හැකියි.

බුදු දහම ජීවන දර්ශනයක් කර ගැනීමේ ක්‍රියාවලියේ දී පිරිත හා සම්බන්ධයෙන් එය වඩාත් අර්ථවත් කරගත හැකියි. එබැවින් පිරිත පින්වත් ඔබ සම්මා සතියෙන්, නිවැරැදි පිළිවෙතින් ශ්‍රවණය කරන්නේ නම් මහත්ඵල මහත් ආනිසංස ලැබෙනු ඒකාන්තය.

අනුශාසනාව ශාස්ත්‍රපති පූජ්‍ය

කැටවල හේමාලෝක

ස්වාමීන් වහන්සේ