ලොව බලගතුම සෑයේ වැඩ නිමවේ

දෙසැම්බර් 16, 2020

පසුගිය සතියෙන්...

 

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සියලු කටයුතු සුදානම් විය.

 

මහ රහතන් වහන්සේලා කෝටි ගණනක් මේ පුදබිමට වැඩියහ. විවිධ නර්තන කණ්ඩායම් ද පුදබිමට පැමිණ විවිධ වූ පූජාවන් පිණිස නර්තනයේ යෙදුණි. මහා සෑය වටා විචිත්‍රාකාරයෙන් සැරසිලි කරන ලදී. රටේ ජනතාව ද විවිධ ප්‍රදේශයන්ගෙන්, විවිධ මල් වර්ග රැගෙන මේ පුදබිම වෙත පැමිණි අතර රජු ද සර්ව ආභරණයෙන් සැරසී පෙරහරින් රජගෙදරින් පිටත් විය. රජු මාළිගයෙන් පිටත්වන මොහොතේ සෝනුත්තර මහරහතන් වහන්සේ නාග ලෝකය වෙත ධාතුන් වහන්සේලා රැගෙන ඒමට පිටත් වීම ද සුවිශේෂී කරුණකි.

නා ලොවට වැඩි සෝනුත්තර මහරහතන් වහන්සේ මහාකාල නාග රාජයාණන් ඉදිරියේ පෙනී සිටියහ.

මොහු නම් පැමිණයේ යහපත් කර්තව්‍යයකට නොවන බව නා රජු සිතූ නමුත් නා රජු, මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ වැඳ නමස්කාර කොට පැමිණි කාරණය විමසා සිටියේය.

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට මහා සෑයක් දුටුගැමුණු රජතුමා විසින් සාදන බවත්, එහි තැන්පත් කිරීම සඳහා ධාතුන් වහන්සේලා රැගෙන යාමට නා ලොවට පැමිණි බවත් සෝනුත්තර මහරහතන් වහන්සේ පවසා සිටියේය.

ස්වාමීන් වහන්ස, නා ලොව එම ධාතුන් වහන්සේලා නැහැ. ඔබ වහන්සේට යම් වැරැදීමක් සිදු වී ඇති බවයි පෙනී යන්නේ යැයි පැවැසීය. එම කාරණාව පවසන අවස්ථාවේ තමන්ගේ බැණා කෙනකුවන වාසුලදත්තට නා රජු ඇසින් සංඥාවක් සිදු කළේය.

වාසුලදත්ත විසින් එම ධාතුන් වහන්සේලා රැගෙන නාග ලෝකයෙන් පිටත් විය. පිටත්ව ගොස් එම ධාතු කරඬුව උදරයේ සඟවාගෙන මහාමේරු පර්වතය වටා එතී සිටියේය.

මහාකාල රජතුමනි, ඔබ වහන්සේ මෙසේ සිදුකරන්නට එපා. මෙය බුදුන්වහන්සේ විසින් සිදුකළ අධිෂ්ඨානයක් බව සැළකර සිටියහ. රජතුමනි, ඔබ වහන්සේ කොතෙක් පුද සත්කාර කළද ඔබ වහන්සේලාට පින් රැස්වෙනවා ඇරෙන්නට මාර්ගඵල අවබෝධයක් නොලැබේ. නමුත් මෙම ධාතුන් වහන්සේලා තැන්පත්කර ඉදිවෙන මහා සෑය හේතුවෙන් බොහෝමයක් දෙවියන් සහ මිනිසුන් මාර්ගඵල අවබෝධ කරගන්නා බව පැවසීය.

පසුව ස්වාමින් වහන්සේව රැගෙන ධාතු තැන්පත්කර තිබූ මන්දිරය වෙත ගොස් මෙසේ පැවසීය. බලන්න, මෙවැනි වූ ධාතු මන්දිරයක් ලක්දිව තැනිය හැකිද? මෙතරම් විශාල මැණික් ප්‍රමාණයක් මුළු ලක්දිවෙන් ම වත් ලබාගත නොහැකියි. මෙතරම් පුදසත්කාර කරන තැනක සිටන් පුදසත්කාර අඩු තැනකට මේ ධාතුන් වහන්සේලා රැගෙන යන්නේ ඇයි දැයි විමසා සිටියේ ය. එවිට සෝනුත්තර මහ රහතන් වහන්සේ, නා රජුනි, තථාගතයන් වහන්සේලා ධර්මය ගරු කළා මිසක් ආමිසය ගරු නොකරන බව පැවසීය.

ස්වාමින්වහන්ස නාග ලෝකයේ නම් ධාතුන් වහන්සේලා නැහැ. තිබෙන ස්ථානයක් දන්නේ නම්, එතැනින් රැගෙන යන්න ලෙස පැවැසීය.

එහෙමයි රජතුමනි. යැයි පවැසූ රහතන් වහන්සේ, දිවැසින් ධාතුන් වහන්සේලා වැඩසිටින ස්ථානය බලා කාහටත් නොපෙනෙන්නට ඍද්ධියෙන් අතක් මවා නාග වේශයක් මවා සිටි වාසුලදත්තගේ උදරයෙන් ධාතුන් වහන්සේලා සහිත කරඩුව රැගෙන පිටත් විය. කරඬුව අතුරුදන් බව දැනගත් නාගයන් හඬමින් ස්වාමින් වහන්සේගේ පිටුපසින් පැමිණියේ ය. ඉන්පසුව ඉතා සුළු ප්‍රමාණයක ධාතුන් වහන්සේලා නාගයන්ට ලබාදුනි.

පුදබිමට දකුණු දිශාවේ පොළොව තුළින් කරඬුවත් රැගෙන සෝනුත්තර මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළහ.

එසේ වැඩම කරනවාත් සමඟම සාධු නදින් අවට ගිඟුම් දෙන්නට පටන් ගත්තේ ය. මේ අතර විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ධාතුන් වහන්සේ තැබීමට මැණික් මණ්ඩපයක් මැවූ අතර, ශක්‍රදේවේන්ද්‍රයා මැණික් කරඬුවක් රැගෙන පැමිණියේය. සෑයට පළමුව කරඬුවක් පූජා කළේ ද උන්වහන්සේ ය.

දුටුගැමුණු රජතුමා කඩොල් ඇතා මූලික කොට ගෙන මහ පෙරහරින් රත්තරන් කරඬුවක් ද රැගෙන මලුව වෙත පැමිණියේය. දිව්‍ය අප්සරාවන් ප්‍රීතියෙන් නර්තනයේ යෙදෙනු අතර, මහා සෑයට අහසින් මල් වැටුණේය. හේවිසි හඬින් මෙන්ම සංඛ හඬින් මුළු භූමිය ම ගිගුරුම් දුන්නේය. මේ ආශ්චර්ය මැද රජු සක්දෙවිඳුගේ ධාතුන් වහන්සේලා සහිත කරඬුව ඔහුගේ රන් කරඬුව තුළ තැන්පත් කළේය. ඉන්පසුව තෙවරක් සෑය වටා ප්‍රදක්ශිණා කොට රහතන් වහන්සේලා සමඟ නැගෙනහිර දිශාවෙන් ඉදිකරන ලද පඩිපෙළකින් සෑය ගර්භය වෙත ගොස් ධාතූන් වහන්සේලා තැන්පත් කරනවාත් සමඟ රන් කරඬුව ඇරී ධාතුන් වහන්සේලා අහසට නැඟී තථාගතයන් වහන්සේගේ බුදුරුව මැවී යමක මහ පෙරහර පාන්නට විය.

මේ සිදුවීම මූලික කොට ගෙන බුද්ධානුස්සතිය වැඩූ ලක්ෂ ගාණක් වූ සංඝයා වහන්සේලා අරහත් වූ අතර දෙවි මිනිසුන් විශාල ප්‍රමාණයක් සෝවාන්, අනාගාමී බවට පත්විය.

නැවත කරඬුව වෙත පැමිණි ධාතුන් වහන්සේලා දැක රජු මෙසේ සත්‍ය ක්‍රියාවක් සිදු කළේය. මේ තථාගතයන් වහන්සේගේ ධාතූන් නිසා බෙහෝදෙනා පින් රැස් කරගන්නවා නම්, අවුරුදු 5000 සකට මෙහි ආනුභාවය පවතිනවා නම් , කිසිම සතුරකුට මෙයට හානි කිරීමට හෝ නොහැකි නම්, මෙම ධාතුන් වහන්සේලා කරඬුවෙන් පිටතට විත් ජීවමාන බුදුන්වහන්සේ සල්ගස් දෙකක් අතර සිදු වූ මහ පරිනිර්වාණය ආකාරයට ජිවමානවම මේ චෛත්‍ය ගර්භයේ වැඩ සිටීවා යැ යි කියා සත්‍ය ක්‍රියාවක් කළේය.

අද ලෝකයේ සෑම සෑයකම කරඬුවක් තුළම ධාතුන් වහන්සේලා තැන්පත් වී ඇති නමුත් ස්වර්ණමාලි මහ සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේගේ ජීවමාන රූපයෙන් අදත් සෑය ගර්භය තුළ වැඩ සිටියි.

අනතුරුව රජතුමන් සියලුම ආභරණ ගලවා ධාතූන් වහන්සේලාට පූජා කළේය. පසුව සියලුමඇමැතිවරු ද සියලුම ආභරණ ගර්භය වෙත ගොස් ධාතූන් වහන්සේලාට පූජා කළේය. ඉදින් දින හතක් රටේ සියලුම ජනතාවට ධාතු ගර්භය දැක බලාගැනීමට පහසුකම් සලසන ලදී.

බොහෝ මිනිසුන් තමන්ගේ කණකර වූ රන් ආභරණ සුවඳ පැනින් ධෝවනය කර ධාතුන් වහන්සේලාට පූජා කළේය.

රජතුමා රහතන්වහන්සේලා වෙත පැමිණ ධාතු ගර්භය වසා දැමීමට දැන් සුදුසු වේලාව යැයි පැවසීය.

එවිට නොපෙනෙන්නට තිබූ මේඝ වර්ණ ගල් පතුර රැගෙන ධාතු ගර්භය වසා දැමූ අතර මෙසේ ද අධිෂ්ඨාන කළේය. ධාතුන් වහන්සේලාට පූජා කරනලද සුවඳ මල්, සුවඳ මැටි වර්ග, කල්ක වර්ග, පරනොවී අවුරුදු 5000ක් කල් පවතිවා කියා අධිෂ්ඨාන කළේය. අදටත් ධාතු ගර්භය තුළ රජු එදා තබපු ආකාරයෙන්ම එම මල්, පහන්, සුවඳ කල්ක පරනොවී එලෙසම පවත‍ී.

අදටත් කිසිදු අයකුට ධාතු ගර්භයට කිසිදු හානියක් සිදුකළ නොහැකිය. සිදුකරත් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය අනුව ධාතු ගර්භය පොළොව තුළට කිදාබසින්නේය. එමෙන්ම මෙහි ඇති නිධන් වස්තු මාරයාට වත් සොලවන්නට නම් නොහැකිය.

පසුව සියලුම ගල් පතුරු ඒකට පැහැ වේවා කියා අධිෂ්ඨාන කළේය. ඉන්පසුව රජු රටේ ජනතාව අමතා පරම්පරාවෙන් එන ධාතුන් වහන්සේලා තිබේ නම් මහා සෑයට තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එවිට මිනිසුන් නිවෙස්වල පුදසත්කාර කරන කරඬු දහසක් ධාතු ගර්භය ගල උඩ තැබුවේය. එමනිසා මෙතරම් ධාතුන් වහන්සේලා පිරි ඉතිරෙන මහා ආනුභාවයෙන් පිරි සෑයක් මේ තුන්ලෝකයේම නොමැත. අද ඔබලා මේ සෑය වන්දනා මාන කරන්නට පැමිණෙන විට පසඟ පිහිටුවා නළල සෑය මත තබා ඒ උතුම් ආශීිර්වාද ලබාගන්න. අද මේ ලක්දෙරණ රැකෙන්නේ මෙහි ඇති ආනුභාවය නිසාය.

අනතුරුව සෑයේ හතරැස් කොටුව සෑදීමට පටන් ගත්තේය. ඒ වනවිට රජු අමාවක දවසක නාගයකුගේ දෂ්ට කිරීමකට ලක් විය.

ඒ කාරණාව මෙසේය. මහා සෑය වැඳීම සඳහා මහකෙළ නා රජු ගේ දියණිය ඇතුළු නාග අප්සරාවන් එන බව දැනගත් රජු සැඟව සිට එම රූප ශ්‍රීයෙන් පොහොසත් ඇය අල්ලා ගත්තාය. ඇය කරදර නොකරන ලෙස ආයාචනා කළත් රූප ශ්‍රීයෙන් මත් වූ රජු ඇයව ග්‍රහණයට ගනු ලැබීය. මින් කෝපයට පත් නා රජු මිනිස් වේශයක් මවාගෙන දුටු ගැමුණු රජුගේ වෙද දුරකු වන කපුරු නාථ ළඟ සේවය කර, නයි විස සුව කළ නොහැකි දින නැකැත් පිළිබඳ දැනුම ලබාගත් පසු නා රජු ප්‍රථමයෙන්ම හෝරාවක් බලා කපුරු නාථ වෙදදුරුව මරා දැමීය. ඉන්පසුව මරු නැකැතක් බලා දුටුගැමුණු රජුට උළුවස්සක් උඩ සිට දෂ්ඨනය කරනු ලැබීය. මින් රජු දැඩි ලෙස ගිලන් විය.

පසුව සද්ධාතිස්ස කුමරුව කැඳවන දුටුගැමුණු රජු මාගේ මරණයට පෙර සෑය ඉදිකරන ලෙස පැවසුවේය. රජු මරණාසන්න වී ඇති බව වටහාගත් සද්ධාතිස්ස කුමරු සුදු රෙදි ඔතා සෑය නිර්මාණය කර වැඩ නිම වූ බව රජුට සැළ කර සිටියේය.

පසුව රන් සිවි ගෙයක තබා රජුව රුවන්වැලි සෑයත්, ලෝවා මහ පායත් අතර ස්ථානයක තබන ලදී. රජු තමන් ඉදිකළ සෑයත්, ලෝවා මහ පායත් බලා සතුටු වූයේය. මෙහිදී රහතන් වහන්සේලා පිරිත් සජ්ජායනා කරන අතරතුර, රජු සමඟ යුද පිටියේ පෙරමුණ ගත්, දස මහ යෝධයෙක් ව සිට පසුව පැවිදි දිවියට පිවිස රහත්භාවය ලබාගත් තෙරපුත්තාභය රහතන් වහන්සේ පිළිබඳ විමසා සිටිනවා. එවිට ඝෘද්ධියෙන් පැමිණි තෙරපුත්තාභය රහතන් වහන්සේ රජු ඉදිරියේ පෙනී සිට මරණය ගැන පැහැදිලිකර දෙනවා. ඉන්පසු රජු තමන්ගේ පින්පොත කියවන්න යැයි පවැසුවේය. විශාල පින්කම් ප්‍රමාණයක් සිදුකරත් රජුට හිත පැහැදුණේ එක පිනක් කෙරෙහිය. ඒ් එතුමන් රජ නොවී සිටි කාලයේ මහ කැලයේ සිටින විට තමන්ගේ කණේ තිබුණු ආභරණය ගලවා රහතන් වහන්සේලා හත් නමකට දුන් දානය පිළිබඳව ය.

පසුව මහා සෑය දෙස බලාගෙන සිටින විට දිව්‍ය රථ හයක් පැමිණ රජුට ඔවුන්ගේ දිව්‍යතලවලට එන ලෙස ආරාධනා කළේය. රජු ඔවුන් සියලු දෙනාටම ඉන්න යැයි අතින් සංඥා කළේය. එවිට පිරිත් සච්ඡායනය ස්වාමීන්වහන්සේලා නතර කළේය. රජු ඔබ වහන්සේලාට නෙමෙයි මා කිවේ. අර අහසෙහි සිටිනා දිව්‍ය රථවලට යැයි පැවසීය. මේ බව රහත් වූ ස්වාමින්වහන්සේලා දුටුවේය.

නමුත් රජුගේ හැසිරීම දුටු ජනයා රජු කොතරම් පින් කරත් සිහි මුලාවී ඇති බව සිතන්නට විය. පසුව රහතන් වහන්සේලා මල්මලා සයක් රජුට දී එම දිව්‍ය රථ වෙත වීසි කරන ලෙස පැවැසීය. එම මල්මලා වීසිකරනවාත් සමඟ එය දිව්‍ය රථවල රැඳුණි. එවිට මිනිසුන්ගේ සිත් තුළ තිබූ සැකය දුරුවිය.

පසුව සද්ධාතිස්ස කුමාරු කැඳවූ රජු සිය රජකම ඔහුට භාර දී දැහැමි බවෙන් රට පාලනය කරන ලෙස පවසා මහා සෑය දෙස බලා ගෙනම මරණයට පත්විය.

මරණයත් සමඟම එම සථානයේම දේව ආභරණයෙන් සැරසී දුටුගැමුණු දෙවියන් ලෙස පහළ වී සෑය වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට තව්තිසා දෙව්ලොව බලා ගියේය. මේ සෑම සිදුවීමක්ම මේ උතුම් පින් බිමේම සිදුවීම කෙතරම් භාග්‍යක්ද?

භාතිකාභය රජතුමා දෑ සමන් මලින් ආවරණයක් සාදා දවස් හතක් වැව්වලින් වතුර ඉසීමේ ක්‍රමවේදයක් සැකසූ බවද සඳහන් වේ. තවද, මුතුවලින් මුළු සෑයම වසා පුද පූජා කළ බව ද සඳහන් වේ. මහදැලියාමාන රජු මේ සෑය මළුවෙහිම පහන් දල්වා පුදසත්කාර කර ඇත.

වර්තමානයේ බොහෝ මිනිසුන් තමන්ට කරදරයක් වූ වහාම නොයෙකුත් දේවාල යන්ත්‍රමන්ත්‍ර පසුපස නොගොස් මේ මහ සෑයේ සෙවණට විත් සෑය වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට පිරිත් කියා, මේ ගර්භය තුළ වැඩ සිටින ඒ තථාගතයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා මාන කරනවා යැයි සිතා මහා සෑයට නළල තබා වඳීන්න. ඔබට ඒකාන්තයෙන්ම සෙත සැලසෙනවාමයි. ඔබට දරු සම්පත නොමැති නම් මහ සෑයට විත් මේ උතුම් පින්බිමේ අනුහසින් පින්වත් දරු සම්පත් ලබාගන්න. සෑයට පුදසත්කාර කරන්න. ඔබගේ යම් අකුසල කර්ම තිබේ නම්, එම අකුසල කර්ම යට පත් වී ඔබට සෙත සැලසෙයි. එය ඒකාන්තයි. මේ සෑයට නළල තබන විට ඔබගේ යම් අමනුස්ස දෝසක් තිබේනම් ඔවුන් ඔබේ ශරීරයෙන් ඉවත්ව පලා යනවා.

සැදැහැ සිතින් වන්දනා මාන කරන ඔබට නෙක කරදරවලින් මිදීමට එකම පිහිට මේ සෑයයි.

සියලු දෙවිවරු මෙතනට වඩිනවා නම්, සෑය නමස්කාර කරන්න. ඔබ දේවාල පසුපස යන්නේ කුමටද? පැමිණ ඔබේ දුක දෙවියන්ට පවසන්න. ඔබට පිහිට අනිවාර්යයෙන්ම ලැබේවි. ඔබේ කුඩා දරුවන් රැගෙන විත් බුදු සරිපා මත තබනවා යැයි සිතා සෑය මත තබා දරුවා සෑයට පූජා කොට මගේ පුතා අද පටන් බුදුන්, දහම්, සඟුන් සරණ යන දරුවෙක් වේවා යැයි පාර්ථනා කරන්න. එම දරුවන්ට සෙත සැලසෙනවාමයි. විවාහවීමට සිටින ඔබ මේ ස්ථානයයෙන් ආශීර්වාදය ලබාගන්න. කුසට දරුවකු ලැබී ඇත්නම් මේ පුදබිමට පැමිණ කුස අතගාමින් මේ මාගේ දරුවා මහ සෑයට භාරකර අද පටන් මේ දරුවා බුදුන්, දහම්, සඟුන් සරණ යන දරුවෙක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න. ඒකාන්තයෙන්ම දරුවාටත් ඔබටත් සෙත සැලසෙනවාමයි . ඔබ තවත් අසරණ නැහැ. ධාතුන් වහන්සේලාට වඳීන අවසාන පුද්ගලයා මේ ධරණී තලයෙන් නික්මී ගියවිට මේ මහ සෑයට අවුරුදු 5000 පිරී අවසන් වේ. එවිට මුළු ශ්‍රී ලංකාවේම ධාතුන් වහන්සේලා මේ සෑය මත එකතු වී සෑය දෙබෑ වී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එළියට විත් භාරත භූමියේදී බුදුරුව මැවී දැවී ගොස් මහා ධාතු පරිණිර්වානය සිදුවීමට පෙර වහා වහා පින් රැස්කර ගන්න. ඉන්පසු කිසිම සරණක් නොමැති කටුක අඳුරු කාලයක ඔබ අසරණ වේවි... අඩුම තරමේ මසකට වතාවක් හෝ මේ උතුම් සෑය වැඳ‍පුදා ගන්න.

ඔබටත් මටත් එකම පිහිට වන මේ මහා සෑයට මාගේ නමස්කාරය වේවා!

බුදුසරණයි!

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි