මළගිය ඇත්තන්ට ගෙදරදී පින්දීම සුදුසු ද?

නොවැම්බර් 27, 2023

මියගිය ඇත්තන්ට ගෙදරදී පින් දීම සුදුසු බව පිරිසක් කියන අතර, එය නුසුදුසු බව තවත් පිරිසක් කියනු අසන්නට ලැබේ. මෙම ලිපිය ඒ පිළිබඳ ධර්මානුකූල විවරණයකි. පළමුව මියගිය ඥාතීන්ට පින්දීම අනිවාර්යයෙන්ම කළ යුතු බව සඳහන් කරමින් පහත සඳහන් මාතෘකා ඔස්සේ කරුණු දක්වන්නට ලිපිය ආරම්භ කරමි.

1. කෙනෙක් මිය යාමත් සමඟම සිදු වන්නේ කුමක්ද?

2. ඔහු හෝ ඇය උපත ලබන ස්ථාන මොනවාද?

3. ඔහු හෝ ඇය ඒ උපත ලබන භූමියේදී යැපීම සිදු වන්නේ කෙසේද?

4. ඒ මිය ගිය අයගෙන් පින් අනුමෝදන් විය හැකි පිරිසේ ස්වභාවය කෙබඳුද ?

5. පින් අනුමෝදන් කිරීම යනු ඒ ඥාතීන් සිටින තැනින් දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබවීමක්ද?

6. පින් අනුමෝදන් කළ පසුව මිය ගිය අය පැමිණ ජීවත්ව සිටින අයට කරදර කරනවාද?

7. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න එපා යැයි කියන්නේ කුමන පිරිස් ද? ඔවුන් කියන ආකාරයට පින් අනුමෝදන් නොකළොත් කුමක් වෙයි ද?

8. පින් අනුමෝදන් කළ යුත්තේ නිවෙසේමද?

9. මළගිය ඇත්තන්ට නිවෙසේදී පිනදීම නුසුදුසුය යැයි කීමට හේතු මොනවාද?

10.මියගිය අයට පින්දීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

 

ඉහත සඳහන් මාතෘකා ඔස්සේ මෙතැන් සිට කරුණු දක්වනු ලැබේ. එහිදී අවසාන නිගමනය කරුණු දැක්වීමෙන් පසුව ඔබම

තීරණය කරන්න. විශාල මාතෘකාවක් නිසා කෙටිකර අවශ්‍ය කරුණු පමණක් දක්වනු ලැබේ.

 

1. කෙනෙක් මිය යාමත් සමඟම සිදු වන්නේ කුමක්ද?

දෙවි කෙනෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මනුස්සයෙක් හෝ නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපාගත කෙනෙක් හෝ කවුරු හෝ සත්ත්වයෙක් මිය යාමත් සමඟම නැවත උත්පත්තිය ලබයි.

කිසිම සත්ත්වයකුට ස්ථිරව තිබෙන රූපයක් හෝ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණයක් හෝ නැත. හේතූන්ගෙන් හට ගන්නා ඒ පඤ්චුපාදානස්ඛන්ධයෝ ලක්ෂණය සහ ආයු කාලය අනුව ඇති වූ සැණෙකින්ම නැතිව යයි. මේවා හේතු-ඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්වන අතර අඛණ්ඩවම පවතී.

සියලු කෙලෙසුන් නැසූ බුදු, පසේබුදු, මහරහත් යන උත්තමයන් වහන්සේලා හැර, ඕනෑම කෙනෙක් මිය යෑමත් සමඟම ඔහුගේ කර්මය අනුව චුතියත් සමඟම යම් තැනක ප්‍රතිසන්ධිය ලැබීම අනිවාර්යයෙන්ම සිදුවේ. ඒ ජලයේ ද අහසේ ද පොළොවේ ද කුමන තැනක ද යන්න තීරණය වන්නේ ඔහුගේ කර්මය අනුවය.

 

2. ඔහු හෝ ඇය උපත ලබන ස්ථාන මොනවාද?

ඔහු හෝ ඇය උපත ලබන ස්ථානය වන්නේ ඔවුන්ගේ ගරුක, ආසන්න, ආචිණ්ණ, කටත්තා, ජනක, උපස්ථම්භක, උපපීළක, උප ඝාතක ආදී කර්ම අනුව

විඤ්ඤාණත්ඨිති හතෙන් එක් තැනකය.

 

i.නානත්ත කායා නානත්ත සඤ්ඤා.

ii.නානත්ත කායා ඒකත්ත සඤ්ඤා.

iii.ඒකත්ත කායා නානත්ත සඤ්ඤා.

iv.ඒකත්ත කායා ඒකත්ත සඤ්ඤා.

v.ආකාසාණඤ්චායතනය.

vi.විඤ්ඤාණඤ්චායතනය.

vii.ආකිඤ්චඤ්ඤායතනය.

viii.නේවසඤ්ඤා නා සඤ්ඤායතනය.

ix.අසඤ්ඤසත්තය යන නව සත්තාවාසයන්ගේ යම් තැනක ඔවුන්ගේ වාසය සිදුවේ.

 

3.ඔහු හෝ ඇය ඒ උපත ලබන භූමියේදී යැපීම සිදු වන්නේ කෙසේද?

ඒ ඒ සත්ත්වයින් උප්පත්තිය ලබන භූමිවලට අදාළ කබලිංකාර ආහාරය ආදී ඔහුගේ නාම ධර්මයෝ, රූප ධර්මයෝ හටගන්වන හේතු අනුව පැවැත්ම සහ යැපීම සිදුවේ.

එහිදී පින් අනුමෝදන් වීමෙන් ආහාරපානාදිය ලබා ගත හැක්කේ පරදත්තූපජීවී අයට පමණී.

එක් දිනක් ජාණුස්සෝණිය නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ ඇසී ය.

“පින්වත් ගෞතමයන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. ‘මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයන්ට පැමිණේවා. මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයෝ වළඳත්වා’ යි දන් දෙමු. මතක බත් දෙමු. පින්වත් ගෞතමයන් වහන්ස, කිමෙක් ද, ඒ දානය පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට පැමිණේ ද, කිමෙක් ද, පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට ඒ දානය පැමිණේ ද?”

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ "බමුණ ස්ථානගත ඥාතීන්ට ලැබේ. අස්ථානගත ඥාතීන්ට නොලැබේ" ලෙසයි. ඒ අනුව පිං අනුමෝදන් විය හැක්කේ පින් අනුමෝදන් විය හැකි ස්ථානවල උප්පත්තිය ලැබූ අයට පමණි. එවැනි තැන්වල උප්පත්තිය නොලැබූ අයට කලින් භවයේ නෑදෑයින් විසින් පිංකම් සිදුකර අනුමෝදන් කරන පිනෙන් ආහාර පාන ඉඳුම් හිටුම් ආදිය උපදවාගත නොහැකි බවයි.

එම සූත්‍රයේ සඳහන්වන ආකාරයට සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ

වචන කතා කිරීම, හිස් වචන කථා කිරීම, දැඩි ලෝභය, කේන්ති යෑම, මිථ්‍යාදෘෂ්ටිය යන දස අකුසල කර්ම පථය අනුව අකුසල් කළ සත්ත්වයෝ නරක, තිරිසන්, වැනි තැන්වල උප්පත්තිය ලබයි. එවැනි අයට ජීවත්ව සිටින නෑදෑයින් විසින් පින්කම්කර අනුමෝදන් කරන පිනෙන් ආහාර පාන, ඉඳුම් හිටුම් ආදිය ලැබෙන්නේ නැත. එම ස්ථාන පින් අනුමෝදන් විය නොහැකි ස්ථානයන් වේ.

එසේම තවත් පින් අනුමෝදන් විය නොහැකි ස්ථාන වන්නේ සතුන් මැරීමෙන් වැළකීම , සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැලකීම, සැර පරුෂ වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම, දැඩි ලෝභයක් නැතිකම, කේන්ති යෑමක් නැතිකම, සම්මා දිට්ඨිය ඇතිකම යන දස කුසල කර්ම පථයේ හැසිරෙන අය මිනිසුන් අතර සහ දිව්‍යලෝක වැනි තැන්වල උප්පත්තිය ලබයි. එම ස්ථාන ද කලින් භවයේ නෑදෑයින් විසින් අනුමෝදන් කරන පින්වලින් ආහාරපාන, ඉඳුම්හිටුම් ආදිය ලැබෙන ස්ථාන නොවේ. ඒවාද පින් අනුමෝදන් විය නොහැකි ස්ථාන වේ.

 

 

4. ඒ මිය ගිය අයගෙන් පින් අනුමෝදන් විය හැකි පිරිසේ ස්වභාවය කෙබඳුද?

ප්‍රේතයින් ද වර්ග කීපයක් සිටී. තමන්ට කියා විශේෂ භූමියක් නැති ප්‍රේතයින්, අතිශයින්ම කෙට්ටු, ඇට නහර මතු වුණ, බඩේ සම පිට කටුවට ඇලී තිබෙන, දකින දකින අයට අප්‍රසන්න ශරීර ඇති පිරිසක් වේ. මොවුන්ගෙන් සමහරුන්ට කිසිදිනක ආහාරපාන ලැබෙන්නේ නැත. සමහරුන් මිනිසුන්ගේ සෙම සොටු අසූචි මළකුණු ආදිය අනුභව කරයි. සමහරුන් විසි කළ ආහාර අනුභව කරයි. සමහරුන් තමන්ගේම ශරීරය සූරා කයි. සමහරුන් තුවාලවලින් ගලන ලේ සැරව කයි. මේ අයගෙන් සමහරුන් සැප දුක් දෙක මාරුවෙන් මාරුවට ලබයි. මොවුන්

 

i. පරදත්තූපජීවිකය,

ii. ඛුප්පිපාසිකය,

iii. නිජ්ඣාමතණ්හිකය,

iv. කාලකඤ්ජිකය ලෙස ප්‍රේත කොට්ඨාස

සතරක් සිටී. තවත් ප්‍රභේද ත්‍රිපිටකයේ සඳහන් වේ.

මියගිය ඥාතීන්ගෙන් පින් අනුමෝදන් විය හැකි පිරිස වන්නේ පරදත්තූපජීවී ප්‍රේත කොට්ඨාසය යි. මොවුන්ට එතන තිබෙන දුක්ඛිත ආහාර පානාදිය තිබෙන අතර, කුස පුරා ආහාරාදිය ලැබෙන්නේ අනුන් දෙන පින් අනුමෝදන් වීමෙනි. පරදත්තූපජීවික ප්‍රේතව උපන්නෝ ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙති.

 

5. පින් අනුමෝදන් කිරීම යනු ඒ ඥාතීන් සිටින තැනින් දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබීමට සැලැස්වීක් ද?

කිසිසේත් මෙවැන්නක් වන්නේ නැත. සියලුම සත්ත්වයෝ තමන්ගේ ජීවිතයට කැමතිය. ප්‍රේතයින්ටද එය අදාළ වේ. පින් අනුමෝදන් කිරීම යනු ‍ප්‍රේත ලෝකයේ සිටින කෙනෙක් මරණයට පත්කර දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබීම නොවේ. දැනට උපත ලබා තිබෙන ප්‍රේත භූමියේ ඒ උදවිය සුවපත් තත්ත්වයට පත් කරවීම පින් අනුමෝදන් කිරීමෙන් සිදු වේ.

 

6. පින් අනුමෝදන් කළ පසුව මිය ගිය අය පැමිණ ජීවත්ව සිටින අයට කරදර කරනවාද?

එවැනි මතයක් සමාජගත වී තිබෙන්නේ ප්‍රේතයින් සහ යක්ෂ ආදී පිරිස් පිළිබඳව කරගත් පටලැවීම නිසාය. යක්ෂයින් කියන්නේ වෙනම පිරිසකි. ප්‍රේතයින් කියන්නේ වෙනම පිරිසකි. යක්ෂයින්ට පින් අනුමෝදන්ව ආහාරපාන ඉඳුම් හිටුම් ආදිය ලබාගත නොහැක. නමුත් පරදත්තූපජීවී ප්‍රේතයින්ට පින් අනුමෝදන් වීමෙන් ආහාර පාන ඉඳුම් හිටුම් ආදිය ලබාගත හැකිය.

තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවට අනුව බිම්බිසාර මහ රජතුමාට බය හිතෙන සිදුවීමට මුහුණ දෙන්නට සිදුවූයේ ඥාතීන්ට පින් අනුමෝදන් නොකළ නිසා ය. එම ප්‍රේතයින් එසේ හැසිරුනේ හැකියාව තිබියදී ද තමන්ට අවශ්‍ය කරන ආහාර පානාදිය ලැබෙන ලෙස ජීවත්ව සිටින ඥාතීන් පින් අනුමෝදන් නොකළ නිසාය. පින් අනුමෝදන් කිරීම කල විට හිරිහැර කිරීම කෙසේ වෙතත් පින් අනුමෝදන් නොකළ විට බය හිතෙන සිදුවීම් රාශියක් සිදුවන බව නම් මෙයින් තේරුම් ගත හැකි ය.

පින් අනුමෝදන් කළ විට හිරිහැර කිරීම කෙසේ වෙතත්, පින් අනුමෝදන් වූ පරදත්තූපජීවී නෑදෑයින් විසින් උදවු උපකාර කිරීම නම් සිදුවන ආකාරය තේරුම් ගත හැකිය.

 

7. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න එපා යැයි කියන්නේ කුමන පිරිස්ද? ඔවුන් කියන ආකාරයට පින් අනුමෝදන් නොකළොත් කුමක් වෙයිද?

 

කර්මඵල ගැන නොදන්නා, චූති උප්පත්තීන් ගැන නොදන්නා, සංසාරය ගැන නොදන්නා බොහෝ උදවිය මියගිය ඥාතීන්ට නිවෙස්වල පින් අනුමෝදන් කිරීම නොකළ යුතුය යැයි කියති. එයට හේතුව ඔවුන් ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රියයන් ගැන නොදන්නාකමයි.

 

ඔවුන් කියන ආකාරයට ඥාතීන්ට පින් අනුමෝදන් නොකළහොත් ඥාතීන් අතර සිටින පරදත්තූපජීවී අයට ආහාර පාන ඉඳුම් හිටුම් ආදිය උපදවා ගන්නට ක්‍රමයක් නැත. එවිට ඔවුන් ජීවත්ව සිටින අයට පීඩාකාරී ලෙස හැසිරිය හැකිය.

 

8. පින් අනුමෝදන් කළ යුත්තේ නිවසේමද?

සමහරු මිය ගිය ඥාතීන්ට නිවෙස්වල පින් අනුමෝදන් කිරීමට බිය වේ. නමුත් මියගිය ඥාතීන් පැමිණෙන්නේ කලින් ජීවත්ව සිටිය නිවෙස්වලටය. ආත්මභාව කිහිපයකට පෙර භවයන්හී ඥාතීන් තමන්ගේ නෑදෑයින් ජීවත්ව සිටින තැන්වලට පැමිණෙන නිසා, පින් අනුමෝදන් කළ යුත්තේ තමන් ජීවත්වන තැන්වලය. විහාරස්ථාන වැනි තවත් තැන්වල දී පින්කම් කළ පසු පින් අනුමෝදන් කිරීම වරදක් නැත. නමුත් මියගිය නෑදෑයින් ජීවත්ව සිටින නෑදෑයෝ වාසය කරන ස්ථානවලට පැමිණ පින් අනුමෝදන් වූ ආකාරයේ පේතවත්ථුව තුළ සඳහන් වේ.

 

9. මළගිය ඇත්තන්ට නිවෙසේදී පින් දීම නුසුදුසු යැයි කීමට හේතු මොනවාද?

බොහෝ විට මෙසේ කියන්නට හේතුව කරුණු නොදන්නාකම ය. සමහර විට යන්ත්‍ර මන්ත්‍ර ආදිය සිදු කරමින් හරිහම්බ කරගැනීම වැනි වෙනත් කරුණුද තිබිය හැකිය. ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රියයන් ගැන නොදන්නාකම ය.

 

10. මියගිය අයට පින් දීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

මියගිය නෑදෑයින් ආහාර පාන ඉඳුම් හිටුම් ආදිය ලබා ගනියි. ඔවුන් සුවපත් වෙයි. සුඛිත මුදිත වෙයි. සැපවත් වෙයි. ජීවත්ව සිටින පින් අනුමෝදන් කළ ඥාතීන්ට තමන්ගේ අසරණ ඥාතීන්ට ඉඳුම් හිටුම්, සුවපත්කම්, සැපවත්කම් දීමේ කුසල් අත්වේ. පින් අනුමෝදන් වූ පරදත්තූපජීවී ඥාතීන් ජීවත්ව සිටින අයට ආශිර්වාද කරයි.

 

මේ ඒ පිළිබඳව ඉතා කෙටියෙන් කරුණු දැක්වීමකි. ත්‍රිපිටකය පුරාම මෙයට අද අදාළ කාරණා දැක්විය හැකිය. නුවණැත්තෝ තම තමන් සිදුකරන කුදු මහත් හැම පිංකමකදීම මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට කල්පනා කළ යුතු ය. එය දෙපිරිසට ම උපකාර වේ.

 

තෙරුවන් සරණයි.

 

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ