අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන ඔබට මරණයෙන් පසු කුමක් වේවිද?

මාර්තු 25, 2024

 

සමාජයේ බොහෝ දෙනා අනුන්ගේ සැපත දැක ඊර්ෂ්‍යාම කරති. ඔවුන්ගේ සැපත විනාශ කර දැමීමට අනවින කොඩිවින වැනි නොයෙක් අකටයුතුකම් කරති. එබඳු පුද්ගලයන්ට මේ කතා පුවත ඉතාමත්ම වටිනා කතා පුවතකි.

මෙම කතා පුවත සඳහන් වෙන්නේ ඛුද්දක නිකායට අයත් ප්‍රේත වත්ථු අටුවාවේ යි.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ සැවැත්නුවර ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න මනුස්සයෙක් වාසය කළා. ඔහු සුදුසු වයසේ දී මත්තා නම් කාන්තාව සමඟ විවාහ වුණා. ඇය ක්‍රෝධ බහුල, අප්‍රසන්න කාන්තාවක්. ඇය දරුවන් නොමැති වඳ තැනැත්තියක්. තමගේ කුල පරම්පරාව ඉදිරියට පවත්වා ගෙන යා යුතු නිසා මෙම මනුස්සයා තිස්සා නම් තවත් කාන්තාවක් විවාහ කර ගත්තා.

තිස්සා නම් කාන්තාව තම ස්වාමි පුත්‍රයාට ෙමමත්‍රි සහගත පහන් සිත් ඇති තැනැත්තියක්. කෙටි කාලයකින් ඇයගේ කුස දරුවෙක් පිළිසිඳ ගත්තා. දස මස් ඇවෑමෙන් ඇය පුතෙකු බිහි කොට ඔහුට භූත යැයි නම් තැබුවා.

තිස්සා ඉතාමත් ශ්‍රද්ධාවෙන් භික්ෂූන් වහන්සේලා සිව්නමක් උදෙසා නිතර උපස්ථාන කරමින් ස්වාමියාට අවශ්‍ය ඇප උපස්ථාන ආදිය කරමින් යුතුකම් ඉටුකරමින් ධාර්මික ජීවිතයක් ගත කළා. ස්වාමි පුරුෂයා ද ඇයට ආදරය හා සෙනෙහස දැක්වූවේ ය. ඒ නිසා වඳ ස්ත්‍රියක් වූ මත්තා ඇය කෙරෙහි බොහෝ ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පසු වූවා ය.

දිනක් තිස්සා හා මත්තා යන දෙදෙනාම දිය නෑමෙන් පසු තෙත් වූ හිස කෙස් ඇතිව නිවසෙහි සිටියෝ ය. එදින ස්වාමි පුත්‍රයා තිස්සා සමඟ බොහෝ වේලාවක් කතා කරමින් කාලය ගත කළේ ය. මෙය දුටු මත්තා ඔවුන් දෙදෙනා සමඟම ඊර්ෂ්‍යා‍ව හා ක්‍රෝධය ඇති කර ගෙන නිවස අතුගා එකතු කර ගත් කුණු රොඩු සහිත දුහුවිලි තිස්සාගේ හිස මත හැළුවා ය. සෑම මොහොතකම ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පසු වූ මත්තා මරණයට පත් වී ප්‍රේත ආත්ම භාවයක උපත ලැබීය.

මත්තාගේ මරණයෙන් පසු එක් සැදෑ සමයක නිවස පිටුපස දිය නාමින් සිටි තිස්සා අසලට පැමිණි එම ප්‍රේත ස්ත්‍රිය ඇයට තම සිරුර පෙනෙන්නට සැලැස්වූවා ය. එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ සංවාද ය මෙසේ ය.

තිස්සා - විලි වැස්මක් නැති, නිර්වස්ත්‍ර, බියකරු ශරීර වර්ණයක් සහිත, මස් ලේ නැති, නහර වැල් ඉලිප්පී ගිය, උස් වූ ඉල ඇට සහිත සම, නහර පමණක් ඇති සිරුරකින් යුත් ඉතා කෙට්ටු සිරුරක් ඇති නුඹ කවු ද?

මත්තා - පෙර භවයෙහි මම මත්තා. නුඹගේ ස්වාමිපුරුෂයාගේ පළමු බිරිය නුඹ තිස්සා නේද? මම අකුසල් කොට මරණින් මතු ෙප්‍ර්ත ලෝකයෙහි උපත ලැබුවෙමි.

තිස්සා - නුඹ ෙප්‍ර්ත ලෝකයේ උපත ලැබුවේ කුමන අකුසල කර්මයක් කරලා ද?

මත්තා - මම නිරතුරුව ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පෙළුණා. පරුෂ වචන කිව්වා. මසුරුකම් කළා.

තිස්සා- ඔබ මිනිස් ලොව ජීවත් වූ ආකාරය පිළිබඳ මම හොඳින් දනිමි. දැන් නුඹ‌ට තියෙන්නේ කුණු කසළ සහිත පස්වලින් කිලුටු වූ සිරුරක්. එවැනි සිරුරක් ලබන්න ඔබ කළ පාපය කුමක් ද?

මත්තා - දිනක් අපි දෙදෙනාම ස්නානය කළා. නුඹ ස්නානයකර පිරිසිදුව ලස්සන ඇඳුම් පැලඳගෙන සිටියා. මම නුඹටත් වඩා අලංකාර ලෙස සැරසී සිටියා. එදින මා බලා සිටියදීම අපේ ස්වාමිපුරුෂයා නුඹ සමඟින්ම කථා කරමින් සිටියා. මා සමඟ කතා කළේ නැහැ. එදින මට ඉවසුම් නොමැතිව ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය දරා ගත නොහැකිව නිවසේ එකතුකර තිබූ කසළ සහිත පස් ගෙන නුඹගේ හිසට දැමුවා. එ් පවින් මම කසළ පස් සහිත සිරුරක් ලැබුවෙමි.

තිස්සා - එදා මගේ ඇඟට කුණු කසළවලින් දමා ගැසූ බව මටත් මතකයි. නමුත් කුමන හේතුවක් නිසා ද ඔබ කැසීමේ රෝගයකින් පෙළෙන්නේ.

මත්තා - දිනක් අපි දෙදෙනා බෙහෙත් ඖෂධ වර්ග ගෙන ඒමට වනාන්තරයට ගියා. එදා නුඹ වෛද්‍යවරුන් දුන් බෙහෙත් වර්ග පමණක් ගෙන ආවාත් මම නුඹට නොපෙනෙන්නට කහඹිලියා කොළ හා කහඹිලියා ගෙඩි ගෙන ආවා. ඒ කහඹිලියා ගෙඩි හා කොළ නුඹට නොදන්වා නුඹේ නිදන ඇඳට දැමුවා. කැසීමේ රෝගය ඇති වූණේ ඒ කර්මයෙන්.

තිස්සා - මට ඒ සිදුවීමත් මතකයි. නුඹ නිර්වස්ත්‍රව වුෙණ් කුමන පාප කර්මයකින් ද?

මත්තා - මිත්‍රයෙකුගේ මංගල උත්සවයකට නුඹටත්, ස්වාමි පුරුෂයාටත් පමණක් ආරාධනා ලැබී තිබුණා. නමුත් මට ආරාධනාවක් නොලැබුණි. මම, ඔබට නොදැනෙන්නට ඔබගේ ඇඳුම් සොරා ගත්තෙමි. එ් පවින් මම නිර්වස්ත්‍රව ඉපදිණි.

තිස්සා - නුඹ මගේ ඇඳුම් සොරා ගත් බව මම දනිමි. දැන් නුඹගේ ශරීරයෙන් අසූචි ගඳ හමයි. එයට හේතුව කුමක් ද?

මත්තා - මම, නුඹට අයත් අලුත් මල් මාලාවක් හා සුවඳ විලවුන් වර්ග රැගෙන ගොස් අසූචි වළකට විසි කළෙමි. එ් පවින් මාගේ ශරීරයෙන් අසූචි ගඳ පැතිරෙයි.

තිස්සා - ඒ සිදුවීමත් මට හොඳින් මතකයි. ඔබ කුමන හේතුවක් නිසා ද මෙසේ දුකට පත් වූයේ?

මත්තා - අපි දෙදෙනාටම ස්වාමි පුරුෂයාට අයත් සමාන ධනයක් තිබුණා. ඒ ධනයෙන් ඔබ දන් දීම් ආදී පින්කම් සිදු කළත් මම ඒ ධනයෙන් කිසිදු පින්කමක් සිදු කළේ නැහැ. ධනය නිසි ලෙස පරිහරණය නොකළ නිසා පිනක් නොකළ නිසා මේ විදියට දුකට පත් වුණා.

තිස්සා - නුඹ මනුෂ්‍ය ලෝකයේ සිටියදී භාවිත කළ වස්ත්‍ර. ආභරණ ආදිය දැන් භාවිත කරන්නේ නුඹගේ දැසි දස්සන්. වෙනත් ස්ත්‍රීයන්. වැඩකාරියෝ සහ ආභරණ ද නුඹ විසින් පාවිච්චි කරන ලද වස්තු සම්පත් දැන් පාවිච්චි කරන්නේ වෙනත් ස්ත්‍රීයන් විසින්. මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැහැ. ස්ථිර නැහැ. කිසියම් දවසක මේ සියල්ලම හැරදා යා යුතු වෙනවා. ඒ නිසා අනුන්ගේ සැපතට, අනුන්ගේ සම්පත්වලට ඊර්ෂ්‍යා ලෝබකම් ද නො කළ යුතුය.

අනතුරුව මත්තා පවසන්නේ මේ දුක්ඛිත ස්වභාවයෙන් මිදීමට භික්ෂූන් වහන්සේලා අ‌ට නමක් වඩමවා දන් දෙන ලෙස යි. තිස්සා භික්ෂූන් වහන්සේලා අට නමක් වඩමවා දන් දුන් පසු මත්තා ෙප්‍ර්තියට දිව්‍යමය ආහාරපාන වස්ත්‍රාභරණ පහළ විය. පසුව දිවිය සැපතින් සතුටු වූ මත්තා ප්‍රේතිය නැඟණියනි නුඹ ඥාතීන් සමඟ බොහෝ කල් ජීවත් වේවා යි ආශිර්වාද කළාය.

යම් පුද්ගල‍ෙයක් සිත, කය හා වචනය යන තිදොරින් යම් අකුසල කර්මයක් කරන්නේ නම් එය ගොනා පසු පස එන කරත්තය මෙන් තමා පසුපස පැමිණ දුක්ඛ විපාක ද යමෙක් තිදොරින් කුසල් දහම් කරන්නේ නම් තමා අත්නොහැර යන සෙවණැල්ල මෙන් තමාට සැප විපාක ලබා දෙයි.

එබැවින් නිරතුරුව සිතෙහි ඇති වන අකුසල චෛතසිකයන් කෙරෙහි අවධානයෙන් සිට ඒ මොහොතේම ඒ අකුසල චෛතසිකයන් යටපත් කරගැනීමට උත්සාහ කරන්න.

 

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජොති හිමි.