නි‍ෙවසේ ශ්‍රියා කාන්තාව වන්නේ ඔබයි

සාමකාමී විවාහ ජීවිතයකට බුදු දහමින් ලැබෙන ආලෝකය
පෙබරවාරි 12, 2024

 

ගැටලුවලින් තොර සාමකාමී විවාහ ජීවිතයකට බුදු දහමින් ලැබෙන ආලෝකය ප්‍රබලයි. ලිංගිකත්වයට සීමා නොවී ඉන් එහා ගිය ධාර්මික සදාචාර සම්පන්න පදනමක් මත පිහිටා සාර්ථක විවාහ ජීවිතයකට බුදු දහම උපදෙස් ලබා දෙනවා.

පසුගිය සතියේ දී විශාඛා සිටු දේවිය විවාහ වන අවස්ථාවේ දී ධනංජය සිටුතුමා ලබා දුන් අවවාද 10 පිළිබඳව සාකච්ඡා කළා. උග්ගහ සිටුතුමා තම දියණිවරු විවාහ වීමට පෙරාතුව බුදු හාමුදුරුවෝ ලවා එම උපදෙස් ලබා දීම සිදු කරලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ එම උපදෙස් මාලාව සඳහන් වන අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ උග්ගහසූත්‍රය. බුදු හාමුදුරුවෝ භද්දිය නගරයේ ජාතියා වනයෙහි වැඩවසන කාලේ මෙණ්ඩක සිටුතුමාගේ මුනුපුරු උග්ගහ සිටුතුමා බුදු හාමුදුරුවෝ හමුවට පැමිණ උන්වහන්සේට වන්දනා කොට බණ අසා පසු දින දානය පිරිනැමීම සඳහා ආරාධනා කළා. බුදු හාමුදුරුවෝත් එම ආරාධනාව පිළිගෙන පසු දින දානයට වැඩම කළා. බුදු හාමුදුරුවෝ දන් වළඳා අවසන් වූ පසු උග්ග සිටුතුමා බුදු හාමුදුරුවන්ට කියනවා, බුදු හාමුදුරුවනේ මගේ දියණිවරු පතිකුලයට යනවා. එම නිසා දියණිවරුන්ට බොහෝ කල් හිතසුව පිණිස අනුශාසනා කරන්න කියලා. එම අවස්ථාවේ දී බුදු හාමුදුරුවෝ මෙම දියණිවරුන්‌ට වටිනා දේශනාවක් සිදු කරලා එම කාරණාවන්හි හික්මෙන්න කියලා අවවාද කරනවා.

 

1.පුබ්බුට්ඨායිනියෝ

සියල්ලන්ටම පෙර අවදි විය යුතු ය.

නිවසේ ගෘහපතිනිය වන්නේ බිරිඳ යි. එම නිසා ඔබ නිවසේ සියලුම වැඩ කටයුතු සොයා බැලිය යුතු යි. නිවසේ කටයුතු නිසි වේලාවට සිදුවීමට නම් සියලු කටයුතු මැනවින් සංවිධානය කිරීමට නම් ඔබ අනිවාර්යෙන් උදෑසනම අවදි විය යුතු යි. ඔබට උදෑසනම කරන්න බොහෝ කටයුතු තියෙනවා. ඒ අතර උදෑසන කෑම බීම පිළියෙල කිරීම, ස්වාමියා රැකියාවට යාමට පෙර ඔහුගේ කටයුතු සිදු කර දීම, දූ දරුවන් පාසල් යැවීම, ගේ දොර පිරිසිදු කිරීම ආදිය ප්‍රධාන යි. මේ කටයුතු ආරම්භ කරන්න කලින් ඔබ අදහන ආගම දහම සිහි කරන්න පුළුවන් නම් එය ඔබට විශාල ආශිර්වාදයක්. ඒ සඳහාත් ඔබ යම් කාලයක් කැප කළ යුතු යි. අලුයම අවදි නොවී දහවල් වන තුරු නිදා සිටියහොත් මේ සියලුම කාරණාවන් ඔබට මග හැරෙනවා. දරුවන්ගේ ක‌ටයුතු ස්වාමියාගේ කටයුතු නිසි පරිදි කර ගන්න බැරි වෙනවා. ඔවුනුත් අපහසුතාවයට පත් වෙනවා. නිවස අවුල් ජාලයක් බවට පත් වෙනවා. එමනිසා ඔබ සියල්ලන්ටම පෙර අවදි වීම පුරුද්දක් කර ගත යුතු යි.

 

2.පච්ඡානිපාතිනියෝ

සියල්ලන්ටම පසුව නින්දට යා යුතු ය.

 

උදෑසනම අවදි වන ඔබ නින්දට යා යුත්තේ ද සියල්ලන්ටම පසුව යි. ඔබ පළමුව ආහාර පාන ගෙන වේලාසනින්ම නින්දට යෑම කිසිසේත්ම නොකළ යුතු යි. ස්වාමියා, දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා ආහාරපාන අනුභව කළා ද ආදි ඔවුන්ගේ සියලු කටයුතු සොයා බලා ගේ දොර සුද්ධ පවිත්‍ර කොට නිවසේ සියලුම දොර ජනෙල් ආදිය හොඳින් වසා ඇත් දැයි සොයා බලා කාටත් පසුව ඔබ නින්දට යා යුතු යි. නිවසේ ආරක්ෂාව සම්බන්ධව ඔබ කොතරම් වගකී‌මකින් කටයුතු කළ යුතු දැයි මෙම කාරණාවන්ගෙන් පැහැදිලි වෙනවා. මෙම මුල් කාරණා දෙකෙන් බිරිඳක් වන ඔබ, නිවස තුළ හා නිවසට අදාළ බාහිර වැඩකටයුතුවලදී නිරන්තර අවදියකින් පසු විය යුතු බව අවධාරණය වෙනවා.

 

3.කිංකාරපටිස්සාවිනියෝ

කුමක් කළ යුතුදැයි, විමසා බලා කටයුතු කළ යුතු ය.

ඔබ නිවසේ වැඩකටයුතු පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යූතු යි. ඒ වගේම නිවසේ කටයුතුවලදී වීර්යයෙන් මහන්සියෙන් ඒ දේවල් කරන්න ඕන. බොහෝ වෙලාවට විවාහයෙන් පසුව ඔබ අලුත් නිවසකට යනවා. එ් නිවසේ ස්වාමියාගේ මවුපියන් ඉන්නවා නම් නිවසේ වැඩකටයුතු තමන්ට ඕන ආකාරයට සිදු කරන්න යන්න එපා. ඒ නිවසටම ආවේණික ක්‍රම තියෙන්න පුලුවන්. සමහර වෙලාවට ඒ ක්‍රමවලට ඔබ අකැමැති වෙන්න පුළුවන්. ඒත් ඉක්මන් නොවී ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කරගෙන ගොස් ටික කාලයක් ගත වුනාට පසු ඔබට සුදුසු විදියට ගැටීමක් ඇති නොවන ආකාරයට ඒ කටයුතු සැලසුම් කර ගත යුතු යි. ඔබ කරන සෑම දෙයක්ම හොඳට විමසා බලා කටයුතු කළ යුතු අතර නිවස තුළ කවුරුම හෝ වැඩක් කරනවා නම් ඔබෙන් විය යුතු දේ පිළිබඳව ඔවුන්ගෙන් විමසා සුදුසු දේවල් කරන්න. එතකොට පවුලේ සාමාජිකයින් අතර සිත් රිදීම් ආදිය සිදු වෙන්නේ නෑ. හැකි සෑම විටම නිවසේ කටයුතු ඔබේ සියතින්ම කරන්න උත්සාහ කරන්න. නිවස ඇතුළත පිටත පිරිසිදුව අලංකාරව තියා ගැනීමත් ඔබෙන් විය යුතු කාරණාවක්. ඔබ ජීවත් වෙන්නේ පොල් අතු සෙවිලි කළ පැල්පතක වුනත් රාජ මාළිගාවක වුනත් පිරිසිදුව පිළිවෙළට නිවසේ කටයුතු සිදු වෙන්න ඕන. නැත්නම් එම නිවස අදුරු, මූසල ජීවත් වීමට අමිහිරි නිවසක් බවට නිරායාසයෙන් පත් වෙනවා. ඔබට, නිවස ඉතාමත් පිරිසිදු, අලංකාර, සාමය සතුට පිරි දෙව් විමනක් බඳු නිවසක් බවට පත් කර ගැනීමේ ප්‍රධානම වගකීම පැවරෙනවා.

 

4.මනාපචාරිනියෝ

සිත සතුටු වන පරිදි ප්‍රිය මනාපව

හැසිරිය යුතු ය.

නිවසේ ශ්‍රියා කාන්තාව වන්නේ ඔබයි. එම නිසා ඔබ සෑම මොහොතකම අනෙකාට ප්‍රියශීලී ප්‍රියමනාප ඇවතුම් පැවතුම් ආදියෙන් යුක්ත විය යුතු යි. කායික චර්යාවන් මෙන්ම ඔබේ පිරිසිදුකම ද මෙහි දී ඉතාමත් වැදගත්. පුද්ගලයෙකුගේ පෞරුෂය මනින ප්‍රධානම අංගයක් තමයි බාහිර පෙනුම. එම නිසා ඔබ අඳින පලඳින වස්ත්‍රයේ පටන් සෑම දෙයක්ම අනෙකාට ප්‍රිය මනාපවිය යුතු යි.

 

5.පියවාදිනියෝ

ප්‍රියශීලීව කතා කරන්නියක් විය යුතු ය.

බිරිඳ යහපත් වචන, ප්‍රිය මනාප වචන කතා කරන්නියක් විය යුතු යි. විවාහයට පෙර ස්වාමියා සමඟ ආදරණීය මෘදු වදන් කතා බහ කරනවා වගේම විවාහයෙන් පසුවත් එය එලෙසම පවත්වා ගෙන යා යුතු යි. ස්වාමියාට යහපත් ප්‍රියශීලි වචනයෙන් ආමන්ත්‍රණය කරනවා වගේම පවුලේ අනිත් සාමාජිකයින්ටත් දැසි දැස් කම්කරු සේවකාදීන්ටත් ප්‍රියශීලීව කතා කළ යුතු යි. තිරිසන් සතුන් පවා ප්‍රියශීලි වචනවලට කැමති බව අපි කුඩා කාලයේ දී නන්දිවිශාල ජාතකයෙන්

ඉගෙන ගෙන තියෙනවා. ස්වාමියා නිවසින් බැහැරව නැවත නිවසට පැමිණි විටම දවසේ සිදු වූ සියලුම ක්‍රියාකාරකම් ස්වාමියාට පවසන බිරින්දෑවරු නූතන සමාජයේ බහුතරයක් ඉන්නවා. ඔබත් එවැනි බිරිඳක් නම්, ස්වාමියාට ඔබ අප්‍රියශීලි බිරිඳක් වෙන්න පුළුවන්. ඒක නිසා වැඩ කරලා මහන්සියෙන් එන පුරුෂයාට ප්‍රිය වදනින් කතා කරන්න. පසුව සුදුසු වේලාවක් බලා දවසේ සිදු වූ සිදුවීම් ඔහු සමඟ බෙදා ගන්න. මුසා බස්, කේලාම්, පරුෂ වචන, හිස් වචන ආදියෙන් ඔබ වැළකිය යුතු යි. වචනයෙන් ඔබට සංවර විය නොහැකි නම් එය විශාල විපතක මූලාරම්භය වෙන්නත් පුළුවන්. ඔබගේ වචන, තම පවුල් ජීවිතය ආරක්ෂා කර ගන්න වගේම විනාස වෙන්නත් හේතු වෙනවා. අපගේ කට මොනතරම් පරිස්සම් කරගත යුතු ද කියන කාරණාව පහත සඳහන් පැරණි කවියෙන් මනාව පැහැදිලි වෙනවා.

“මහනෙල් සුවඳ මය

කුඩමසු පිළී ගඳමය

දෙකට එක දියමය

හොඳට නරකට දෙකට කටමය”

ස්වාමියාගේ මවුපියන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, ගුරුවරුන් තම නිවසට පැමිණි විට ඔවුන්ට සක්කරිස්සාම - සත්කාර කළ යුතු යි.

ගරුකරිස්සාම - ගරු කළ යුතු යි.

මානිස්සාම - බුහුමන් කළ යුතු යි.

පූජෙස්සාම - පිදිය යුතුයි.

ආසනෝදකේන - අසුන් පනවා දිය යුතු යි.

පටිපූජෙස්සාමාති - පා දෝවනය සඳහා ජලය ආදිය දිය යුතු යි. ඔබ ස්‌වාමියාගේ මවුපියන් තමාගේ මවුපියන් මෙන් සිතා කටයුතු කළ යුතු බවත් පූජ්‍ය පූජක ආදීන්ට සංග්‍රහ කළ යුතු බවත් මින් පැහැදිලි වෙනවා. මෙම උපදේශය පවුලේ සමඟිය ආරක්ෂා කරගැනීම සඳහා ඉතාමත්ම වටිනා උපදේශයක්. එසේම, ස්වාමියාට අයත් කර්මාන්තයක් හෝ ඉඩ කඩම් ඇත්නම් එම කටයුතුවලට දක්ෂව අනලස්ව නුවණැතිව එම කටයුතු සොයා බලා විමසා පිළිවෙළකට ඔබ කළ යුතු කාර්යයන් කිරීමටත්, අනුන් ලවා කරවිය යුතු දේවල් ඔවුන් ලවා කරවීමටත් ඔබ දක්ෂ විය යුතු යි. එසේ නොවුනහොත් එම කර්මාන්ත ආදිය විනාස වී පාඩු ලබන කර්මාන්ත විය හැකි යි.

ඉඩ කඩම්

විනාස විය හැකි යි. පවුලේ ආර්ථිකය ශක්තිමත් වීම සඳහා මෙම කර්මාන්ත ආදිය හේතුවන හෙයින් ඒ සියල්ලේ දියුණුව උදෙසා ඔබ කටයුතු කළ යුතු යි.

ස්වාමියාට අයිති කර්මාන්ත ආදිය පාඩු ලබන්නේ නම් එය වැනසී යා නොදී දියුණූ කරගැනීමට ද ඔබ දක්ෂ විය යුතු යි. එසේ ම ස්වාමියාගේ නිවසේ හෝ කර්මාන්තවල වැඩ කටයුතු කරන දැසි දස් කම්කරු සේවකාදීන් සිටීනම් ඔවුන්ගේ ද හැකියාවන් දක්ෂතාවයන් ලෙඩ දුක් ආදිය හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කෑම බීම හා වැටුප් ආදිය නිසි ලෙස ලබා දිය යුතු ය.

එමෙන්ම ඔවුන්ට පවරන ලද වැඩකටයුතු ආදිය නිසි ලෙස සම්පූර්ණ කරන්නේද? නැත් ද? ඔවුන්ට එම කාර්යයන් කළ හැකි ද? ආදී සෑම දෙයක්ම ඔබ සොයා බලා ඒවාට නිසි අයුරින් අවශ්‍ය දේ කළ යුතු ය. දැසි දස් කම්කරු සේවකාදීන් අතුරින් යම් පුද්ගලයෙක් අසනීප වී ඇත්නම් ඔවුන් පිළිබඳවද සැලකිලිමත් විය යුතු යි. මෙසේ දැසි දස් කම්කරු සේවකාදීන්ට මැනවින් සංග්‍රහ කිරීම තුළින් ඔවුන්ගෙන් ඉතා විශිෂ්ට සේවාවක් ලබා

ගත හැකි වන අතර ගැටුමකින් තොරව සුහදතාවයකින් කටයුතු කිරීමට ද හැකියාව ලැබෙනවා. එසේම ස්වාමියා සතු යම් ධනයක්

 

හෝ රන් රීදි ආදිය ඇත්නම් ඒවා ආරක්ෂිතව

නිසි ලෙස රැකිය යුතු අතර නිකරුනේ වියදම් නොකළ යුතු ය. ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ මෙම කරුණ ආරක්ඛ සම්පදා නමින් බුදු හාමුදුරුවෝ උගන්වනවා. ධනය විනාශ වී යා හැකි මාර්ග අතර පුරුෂයන්ට හා සුරාවට ලොල්වීම හා සොරකම් කිරීම දක්වන බුදු හාමුදුරුවෝ මෙම කාරණාවන්ගෙන් බිරිඳ වැළකී සිටිය යුතු බව දේශනා කරනවා. ඒ මන්ද නිවසක කුමන හෝ සම්පතක් විනාස වන්නේත් සුරක්ෂිත වන්නේත් බිරිඳගේ ක්‍රියාකලාපය නිසාවෙනි. වර්තමාන සමාජයේ ද ඇතැම් නිවෙස්වල අවශ්‍යතාවයන් වුමනාවන් හා ආශාවන් නිසි ලෙස හඳුනානොගෙන අවශ්‍යතාවයන් හා වුමනාවන් තිබිය දී ආශාවන් ඉෂ්‌ට කරගැනීම සඳහා සහ අනෙකා අනුකරණයට යාම නිසා විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. යහපත් බිරිඳක් ලෙස ඔබ, ස්වාමියා උපයා සපයා දෙන මිල මුදල් අරපිරිමැස්මෙන්, සකසුරුවමින් වියදම් කිරීමට බුද්ධිමත් විය යුතු යි. පවුලක ආර්ථීක දියුණූව වර්ධනය කර ගැනීමට මෙම උපදෙස ඉතාමත්ම වටිනවා. ඔබ හා ඔබගේ පවුල මැනවින් පෝෂණය කරන ස්වාමියා කිසිදා ඉක්මවා නොසියි යුතු බවත් ස්වාමියා කැමැති පරිදි හැසිරෙන, කෝප නොකරන, නුවණැතිව, අනලස්ව ස්වාමියාගේ සියලු කටයුතු සිදු කරන බිරිඳ ස්වාමියාගේ සිත නිරන්තරයෙන් ඇද ගන්නා බවත් උත්සාහවන්තව අනලස්ව පිරිවර ජනයාට සංග්‍රහ කරන, ස්වාමියාට ප්‍රිය මනාපව හැසිරෙන, ඔහු විසින් රැස්කරන ලද ධනය ආරක්‍ෂා කරන බිරිඳ කිසිදා පිරිහීමට පත් නොවන බවත් මෙලෙස යුතුකම් ඉටු කරන බිරිඳ මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින බවත් බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. ඔබ මෙම උපදෙස් පිළිපැදීම තුළින් ඔබගේ මෙලොව ජීවිතය වගේම පරලොව ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා.

 

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජොති හිමි.