බුදු වෙසින් ඔබ ගිලගන්න එන දේවදත්තලා

ජනවාරි 22, 2024

 

අවලෝකිතේශ්වර යන නාමයෙන් හා මම රහත් යැයි පවසනා පුද්ගලයන් දේශනා කරන ධර්මය ඔබ දුගතියට ගෙනයන මාර බන්ධනයකි

අවබෝධයෙන් තිසරණ සරණ ගිය පින්වත් පිරිස, වර්තමානයේදී හඳුන්වන්නේ බෞද්ධයන් වශයෙනි. පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා බෞද්ධයන්ගේ ශාස්තෲන් වහන්සේ වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. වෙනත් අයෙකු ශාස්තෲත්වයෙන් ගැනීමක් සැබෑ බුද්ධශ්‍රාවකයෙක් කිසිදා සිදු නොකරන්නකි. එසේ වෙනතෙක් ශාස්තෲන් වහන්සේය ගතහොත් ඔහු තවදුරටත් බෞද්ධ නාමයට සුදුස්සෙක් නොවන්නේය. එනම් ඔහු එතැන් පටන් බෞද්ධයෙක් නොවේය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටියදී තමන් වහන්සේගේ ඇවැමෙන් ශාස්තෲත්වයෙහි තබා වදාළේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයයි. ඒ බව මහා පරිනිර්වාණ සූත්‍රය තුළ මෙසේ සඳහන් වේ.

"යො ඛො ආනන්‍ද, මයා ධම්මෝච විනයො ච දෙසිතො පඤ‍්ඤත‍්තො සො වො මමච්චයෙන සත්‍ථා ති"

" ආනන්ද , මා විසින් යම් ධර්මයක් විනයක් පැනවීද, දේශනා කළේ ද ඒ ධර්ම විනය දෙක මාගෙ ඇවැමෙන් ඔබලාට ශාස්තෲන් වහන්සේ වන්නේය" යනු එහි අර්ථයයි.

ඒ අනුව කිසිම සැබෑ බෞද්ධයෙකුට මෙකල, ධර්ම විනය දෙක හැර වෙනත් කිසිම ශාස්තෲන් වහන්සේ නමක් නොමැත. අඩුම වශයෙන් රහතන් වහන්සේ නමක් හෝ බෞද්ධයෙකුට තම ශාස්තෲත්වයෙහි තබා ගැනීමක් නොකළ හැකිය.

ඒ බව මජ්ඣිම නිකායේ ගොපක මොග්ගල්ලාන සූත්‍රය අනුව දත යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ නොබෝ කලකින් අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේගෙන් ගොපක මොග්ගල්ලායන බමුණා මෙසේ ඇසීය.

" පිරිනිවෙන්නට පෙර භවත් ගෞතමයන් වහන්සේ විසින්, මාගේ ඇවෑමෙන් අසවල් භික්ෂුව පිළිසරණ කොට වසන්න යැයි පැනවූ භික්ෂුවක් වෙත් ද?" යනුවෙනි. ආනන්ද මහ තෙරුන් වහන්සේ එසේ නැතැයි පිළිතුරු දුන් විට, නැවතත් බමුණා ඇසුවේ, " එසේ නම් මෙකල සත්කාර සම්මාන කරමින් වාසය කළ යුතු යැයි බොහෝ ස්ථවිර භික්ෂුන් වහන්සේ විසින් හෝ සම්මත කළ භික්ෂුවක් වේද? " යන්නයි. එවිටත් ආනන්ද මහ තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නේ නැතැයි යනුවෙනි.

ඒ අනුව මහරහතන් වහන්සේ නමක් හෝ ශාස්තෲත්වයෙහි තබා ගැනීමක් මහරහතන් වහ්ස්න්සේලා විසින් පවා අනුමත කොට නැති බව පැහැදිලිය. ඒ රහතන් වහ්ස්න්සේලා යනු ස්වයම්භූ ඤාණයෙන් ධර්මය අවබෝධ නොකළ හැකි පිරිසක් නිසාත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ආවේණික වූ දේශනා බලය රහතන් වහ්ස්න්සේලාට නොමැති නිසාත් ය. රහතන් වහ්ස්න්සේලා දේශනා කරන්නේ ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය එම ධර්ම පර්යායන් මත පිහිටාම පමණි. අලුතින් බිහිකළ ධර්මයක් නොවේ. මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වීමට පෙර සිටම වසවර්ති මාරයා තම අසුර හා මාර පිරිස සමඟ මහ බෝසතාණන් වහන්සේට බෙහෙවින් බාධා කළේය. ඒ සියලු මරුන් පරදවා ලොව්තුරා බුදුව වදාළ පසු ද විටින් විට නොයෙකුත් හිරිහැර කරදර සිදු කරන්නට විය. බැරිම තැන වසවර්ති මාරයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පැවසූයේ දැන් කෙලෙස් නසා බුදු වූ බැවින් මාගෙ සීමාව ඉක්මවනා ඔය දහම කිසිවෙකුට නොදෙසා පිරිනිවන් පා වදාරණ ලෙසය. ඒ ආරාධනාව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක.

භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිස ධර්මධර විනයධර ව්‍යක්ත විනීත විශාරද පිරිසක් වන තෙක් තමන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැති බව මාරයාට වදාළ සේක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදු බලය නිසා මාරයාට ඉන් එහා දෙයක් කර ගත නොහැකි විය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම බලාපොරොත්තු වූයේ ධර්ම විනයධර වී ඒ ධර්මයෙහි විශාරද භාවයට පත්වීමයි. එයට හේතුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මය තුන් ලෝකයාටම සසර දුකින් මිදීමට ලෝකයේ ඇති එකම පිළිසරණ වීමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ විටම ධර්ම විනය විකෘති කරන්නට බලාපොරොත්තු වූ හිස් පැවිද්දන් ද එකල සිටි බව හොඳින්ම පෙනෙන්නේ මහලු කල පැවිදි වූ සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශයෙනි.

“අලං ආවුසො. මා සොචිත්‍ථ. මා පරිදෙවිත්‍ථ. සුමුත‍්තා මයං තෙන මහාසමණෙන. උපද‍්දුතා ච මයං හොම ‘ඉදං වො කප‍්පති, ඉදං වො න කප‍්පතී’ති. ඉදානි පන මයං යං ඉච්ඡිස‍්සාම තං කරිස‍්සාම, යං න ඉච්ඡිස‍්සාම න තං කරිස‍්සාමාති”

"ඇවැත්නි ශෝක නොකරන්න. නොවැළපෙන්න. අපි ඒ මහාශ්‍රමණයාගෙන් මැනවින් මිදුණෝ වෙමු. මෙය තොපට කැපය, මෙය තොපට නොකැප යැයි කීමෙන් ( බුදුරජාණන් වහන්සේ විසින් අපි) උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු” යනුවෙන් ඔහු සතුටට පත් වූ ආකාරය විනය පිටකයේ චුල්ලවග්ග පාළියේ දක්වා තිබේ.

සුභද්ද්‍ර භික්ෂුවට අවශ්‍ය වූයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය දෙක විකෘති කොට තමන්ට ඕනෑ ඕනෑ විදියට සකසා ගන්නටය.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ , ආනන්ද මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ , අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පන්සීයක් දෙනා එසේ සිදුවීමට ඉඩ නොතබා ධර්ම විනය දෙක ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය වශයෙන් සුරක්ෂිත කරන්නට පළමු ධර්ම සංගායනාවෙන් කටයුතු කළ සේක. දෙවන ධර්ම සංගායනාවෙනුත් සිදු කළේ, එකල තමන් හරිය කියාගෙන රා බොමින්, මුදල් සම්මාදන් කරමින් විනය කඩමින් සිටි මහා භික්ෂු පිරිසකගෙන් ශ්‍රී සද්ධර්මය බේරා රැක ගැනීමයි.

ඒ දෙවන සංගායනාවට සබ්බකාමී මහරහතන් වහන්සේ, කාකණ්ඩ පුත්ත යස මහතෙරුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සත්සියයක් එක්වී කටයුතු කළහ.

නමුත් එදාත් ධර්ම විනය විකෘති කිරීමට කැමති මාරපාක්ෂික පිරිස බහුල විය. එකල අතිවිශාල භික්ෂු සමූහයක් එක්ව ධර්ම විනය තමන්ට අවශ්‍ය අවශ්‍ය පරිදි විකෘති කොට සංගායනාවක් සිදු කළහ. ඒ මහා සාංඝික පිරිසෙන් පසු කලෙක අද අප මහායාන යැයි කියන නිකාය බිහිවිය.

තුන්වන ධර්ම සංගායනා කාලය වන විට නිකාය දහ අටකට භික්ෂුන් වහන්සේලා බෙදී පිරිසිදු ශ්‍රී සද්ධර්මයට බැහැරින් විවිධ විකෘති මතයන් පතුරවන්නට විය. එවිට ධර්මාශෝක රජුගේ ද අනුග්‍රහය ඇතිව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා දහස් නමක් ධර්ම සංගායනාවක් පවත්වා ධර්ම විනය දෙක අනාගත ලෝකයාගෙ අර්ථය පිණිස ආරක්ෂා කොට වදාළ සේක. මෙලෙස තෙවරක් ධර්ම සංගායනා කරමින් මේ උතුම් ධර්ම විනය දෙක ආරක්ෂා කරන ලදුයේ උතුම් ධර්ම විනය දෙකෙහි පැවැත්ම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන පැවැත්මට සමාන වන බැවිනි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වූ ගැලවුම්කරුවෙකු නොවන්නේය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරන්නේ දෙව් මිනිස් ලෝකයාට කෙලෙස් නසා නිවනට පත්වන මාර්ගය දේශනා කිරීමයි.

කිසිවෙකුව නිවනට රැගෙන ගොස් දැමීමක් හෝ කිසිවෙකුට නිවන හිමිකර දීමක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා සිදු නොකරති.

 

"තුම්හෙහි කිච්චං ආතප‍්පං

අක‍්ඛාතාරො තථාගතා

පටිපන‍්නා පමොක‍්ඛන‍්ති

ඣායිනො මාරබන්‍ධනා”

 

" තථාගතයන් වහන්සේලා මාර්ගය පෙන්වන්නෝ වෙති. නුඹලා විසින් ඒ දේශනාව අනුව කෙලෙස් තවනා වීර්යය වැඩිය යුතුය. එම නිවන් මඟට පැමිණ එය වැඩූ තැනැත්තා මාරයාගෙ බැම්මෙන් මිදෙන්නේය "යනුවෙන් එය වදාරා තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියත්, පිරිනිවන් පා වදාළා වුවත් දෙව් මිනිස් ලෝකයෙහි ඥානවන්තයින් නිවනට පත්වන්නෙ ධර්ම මාර්ගය ප්‍රායෝගික කිරීම තුළින්ම පමණි.

එය සකල ලෝකවාසී බෞද්ධයන් විසින්ම පැහැදිලිවම වටහා ගත යුතු සත්‍යයකි. ජීවමාන ලොව්තුරා බුදුරජාණන් වහන්සේට එතරම් බාධා සිදු කළ , පිරිනිවීම පවා අපේක්ෂා කළ මාරයා හා අසුර මාර පිරිස අදටත් තම සටන අතහැර නොමැත. එය නතර වන්නේ සසුන අතුරුදන් වීමෙන්ම පමණි. එවිට දෙව් මිනිස් ලෝකයා නැවත අවිද්‍යා අන්ධකාරයෙහිම ගිලෙන්නේය. මාරයා තම පිරිස සමඟ පිරිසුදු නිර්වාණ මාර්ගය එලිපෙහෙලි කරන මහ රහතන් වහ්ස්න්සේලා ආරක්ෂා කොට තැබූ ශ්‍රී සද්ධර්මය අතුරුදන් කරන්නට මහත් වෑයමක් දරමින් සිටී.

 

වර්තමානයේදීත් එසේ මාරාවේශ වූවන් හා මාර බලයට යටත් වූවන් බොහෝමයක් ධර්මය යටපත් කොට විකෘතියක් ඉස්මතු කිරීමට සූක්ෂම ලෙස වෑයම් දරමින් සිටිත්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ , තමන් වහන්සේ ජීවමාන අවධියේදීම මේ සිදුවීම පිළිබඳව කස්සප සංයුක්තයෙහි වදාරා තිබේ.

 

"සෙය්‍යථාපි කස‍්සප, න තාව ජාතරූපස‍්ස අන‍්තරධානං හොති යාව න ජාතරූපපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති. යතො ච ඛො කස‍්සප ජාතරූපපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති, අථ ජාතරූපස‍්ස අන‍්තරධානං හොති. එවමෙව ඛො කස‍්සප, න තාව සද‍්ධම්මස‍්ස අන‍්තරධානං හොති, යාව න සද‍්ධම‍්මපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති. යතො ච ඛො කස‍්සප සද‍්ධම්මපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති, අථ සද‍්ධම්මස‍්ස අන‍්තරධානං හොති."

 

"කාශ්‍යපය, යම් සේ ලොව යම්තාක් රන් බඳු දෙයක් හට නොගනී නම් ඒ තාක් රන් අතුරුදන් වීමෙක් නොවේ. කශ්‍යපය, ලොව යම් කලෙක රන් බඳු දෙයක් හටගනී නම් එවිට සැබෑ රන් අතුරුදන් වීම සිදු වේ. කාශ්‍යපය, එලෙසම ලෝකයේ යම්තාක් (සැබෑ සද්ධර්මය නොවන) සද්ධර්මය වැනි දෙයක් පහළ නොවේ ද, ඒ තාක් සද්ධර්මයේ අතුරුදන් වීම සිදු නොවේ. කාශ්‍යපය යම් කලෙක ලෝකයේ (සැබෑ සද්ධර්මය නොවන) සද්ධර්මය වැනි දෙයක් උපදී ද, එකල්හි සද්ධර්මයේ අතුරුදන් වීම සිදු වේ"

 

යනුවෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

 

අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය)