වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඊර්ෂ්‍යාව භයානකයි
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතයේ එක්තරා දවසක, සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ සේක. එම කාලයේ දී මුගලන් මහරහතන් වහන්සේ එක් විහාරස්ථානයකට වැඩම කළ මොහොතක, එම විහාරස්ථානයේ වැසිකිළි වළක අසූචි කන ප්‍රේතයන් දෙදෙනෙක් දුටු සේක. එම ප්‍රේතයන් දෙදෙනා වූයේ එම විහාරස්ථානයේ සිටි ස්වාමින් වහන්සේ සහ එහි ප්‍රධාන දායක මහත්මායි. එම කථා පුවත “ගූථ ඛාදක ප්‍රේත වස්තුවේ” සඳහන් වේ.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේදී සැවැත්නුවර එක්තරා ගමක, එක්තරා කෙළඹි පුත්‍රයෙක්, තමන්ට හිතවත් ස්වාමීින් වහන්සේ නමකට විහාරස්ථානයක් ඉදිකර පූජා කළේ ය. විහාරස්ථානයක් සතර දිගින් වැඩම කරන මහා සංඝරත්නය උදෙසා සඟ සතුවන නිසා, එම විහාරස්ථානයට විවිධ පළාත්වලින් බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩම කර වාසය කරන්නට විය.
ඒ පිටතින් වැඩම කරන ස්වාමීන් වහන්සේලා දකින ගම්වැසි ජනතාව සන්සුන් ඉරියවු තිබෙන, ශාන්ත ගමනින් වැඩම කරන, ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ගැන පැහැදී සිවුපසයෙන් ඇප උපස්ථාන කරන්නට විය.
එම විහාරස්ථානය පිළිගත්, එහි වැඩ සිටින කුලුපග ස්වාමීන් වහන්සේට මෙය ඉවසන්නට පුළුවන් කාරණාවක් නොවී ය. උන්වහන්සේට ඉරිසියාව ඇති විය.
“පර සම්පත්තිං ඉස්සතීති - ඉස්සා” අනුන්ගේ යස ඉසුරු ඉවසන්නේ නැති ස්වභාවය, අනුන්ගේ සැපතට, අනුන්ගේ සම්පත්තියට විරුද්ධවන ස්වභාවය හඳුන්වන්නේ ඊර්ෂ්‍යාවයි.
පිටතින් මෙම විහාරස්ථානයට වැඩම කරන ස්වාමීන් වහන්සේලාට ගම්වැසියන්ගෙන් ලැබෙන සිවුපස ප්‍රත්‍ය පහසුකම් ගැන, මෙම විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේට තිබුණේ තදබල ඉරිසියාවකි.
එම ස්වාමීන් වහන්සේ ඉරිසියාව නිසා විහාරස්ථානය ඉදිකර පූජා කළ ප්‍රධාන දායක මහත්මාව ගෙන්වා, නිතරම ආගන්තුක ස්වාමීන් වහන්සේලාගේ වැරදි ම කියන්නට විය.
මෙය වධයක් වූ තැන එම ප්‍රධාන දායක මහත්මා ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේලාටත්, විහාරස්ථානයේ වැඩ සිටින කුලුපග භික්ෂූන් වහන්සේටත් දොස් කියන්නට බණින්නට විය.
ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ ඉරිසියාව නිසා, අකුසල ධර්මවලින්, තමන්ගේ චිත්ත සන්තතිය පුරවාගෙන, දූෂණය කරගෙන, අපිරිසුදු කරගෙන වැඩ වසන්නට විය. එම ස්වාමීන් වහන්සේගේ ඇසුර නිසා ද්වේෂය අවුස්සගෙන, සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාට දොස් කියමින්, බැණවදිමින්, රණ්ඩු සරුවල් කරගනිමින්, ප්‍රධාන දායක මහත්මා ද “තමන් ඉදි කළ පන්සලේ වැඩ කටයුතු වෙන්නට ඕනෙ තමන්ට ඕන විදිහටයි” කියා කටයුතු කරන්නට විය.
දෙදෙනාම දිට්ඨධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරියවේදනීය ලෙස දීර්ඝ කාලයක් කරදර හිරිහැර දුක් ලැබෙන විදිහටම, අකුසල කර්ම කර ගන්නට විය. කිසි විටෙක කිසිවකු නිසා කිසිම හේතුවකට තමන්ගේ චිත්ත සන්තතිය තුළ අකුසල් ඇතිවන්නට ඉඩ නොදිය යුතු ය. ඇතිවන අකුසල්වලට විපාක සසරින් එගොඩව නිවන් දකින අවසන් ආත්මභාවය දක්වාම දුක් කරදර විපාක ලබා දේ.
සසරින් එගොඩවන තෙක් අතරමගදී විටින් විට මුණගැහෙන විවිධකාර මවුපිය, අඹු සැමි, දූ දරු, ස්වාමීන් වහන්සේලා, යහළුවන් ආදී පුද්ගලයන්ගේ මුණගැසීම් තාවකාලික සුළු මොහොතක මුණ ගැසීම් පමණක් ම වේ.
නමුත් ඔවුන්ගේ ඇසුර නිසා තමන් සිදු කරගන්නා කර්ම, ආත්මභාව
සිය දහස් ගණන් සසර සැරිසැරූ වත්, තමන්ගේ නාම-රූප ධර්මවලට ලබාදෙන්නේ ඉතාමත්ම බරපතළ නරක අකුසල විපාක වේ. එම නිසා පරිස්සමෙන් අන්‍යයන් ඇසුරු කළ යුතුයි. කුසල් දියුණු කරගන්නවා හැර, එම ඇසුර නිසා අකුසල් දියුණු වන්නට ඉඩ නොදිය යුතු ය. වඩා සුදුසු වන්නේ ගුණ ධර්මවලට සමාන හෝ වැඩි අය නැත්නම් තනිව ජීවත්වන එකයි.
මේ දායක මහත්මා තමන් විසින් ඉදි කළ විහාරස්ථානය පූජා කළේ කුලුපග භික්ෂූන් වහන්සේටයි. කුලුපග භික්ෂූන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලාට ඉරිසියා කර කටයුතු කළ නිසා, කුලුපඟ දායක මහත්මා අකුසලයන්ගෙන් පිරුණු උන්වහන්සේගේ ඇසුරෙන් නොමඟ ගොස්, ධර්ම මාර්ගය වෙනුවට අධර්ම මාර්ගයේ ගමන් කරන්නට විය. දෙදෙනාම අතිවිශාල වශයෙන් සිතින්, කයින්, වචනයෙන් අකුසල කර්ම රැස් කරගත්තේ ය.
ජීවත් විය හැකි ආයු ප්‍රමාණය ජීවත් වූ මේ ස්වාමීන් වහන්සේත්, ප්‍රධාන දායක මහත්මාත් දෙදෙනාම කර්මානුරූපව මරණයට පත් විය.
ඕනෑම අයෙක් මිය යෑමත් සමඟම නැවත උපදින ක්‍රමයක් තිබේ. එය සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ කර්ම අනුවයි. එම උපදින ක්‍රමය අභිධර්මය ඔස්සේ මරණාසන්න චිත්ත වීථිය සහ චුති ප්රතිසන්ධි ආදිය අනුව තේරුම් ගත යුතු ය. මෙම ස්වාමීන් වහන්සේත් ප්‍රධාන දායක මහත්මාත් කරගත් අකුසල කර්ම නිසා ඔවුන් දෙදෙනාම උප්පත්තිය ලැබුවේ එම විහාරස්ථානයේ ම වැසිකිළි වළේ ප්‍රේතයින් දෙදෙනෙක් ලෙසයි.
එක් දිනක් සෘධිබල ලාභී භික්ෂූන් වහන්සේලා අතර අග තනතුර ලැබූ මුගලන් මහරහතන් වහන්සේ මෙම විහාරස්ථානයට වැඩම කළහ. එහිදී එක් ප්‍රේතයෙක්ගේ හිස මත අනෙක් ප්‍රේතයා සිටින අයුරුත්, උඩ සිටින ප්‍රේතයා කන අසූචි ඔහු මලපහ කළ පසු, යට සිටින ප්‍රේතයා කන ආකාරය දැක ඔවුන්ගෙන්, ඔවුන් කවුදැයි ඇසූහ.
එහිදී උඩ සිටින ප්‍රේතයා මෙසේ කීය.
"ස්වාමීනි, මම කලින් මනුස්සයෙක් වී මේ ගමේමයි සිටියේ. මේ පන්සල ඉදි කළේත් මමම යි."
"ස්වාමීනි මම ඉදිකළ මේ පන්සලේ ඉරිසියාවෙන් පිරුණු, දායක පින්වතුන් ගැන දැඩි ලෝභයෙන් සිටිය, මසුරු සිත් තියෙන අනුන්ට බනින, තණ්හාවෙන් පිරුණු ස්වාමීන් වහන්සේ නමක් හිටියා."
"ඔහු ළඟින්ම ඇසුරු කරපු මම, ඔහුගේ වචන අසා, සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට නින්දා කළා. ඒ අකුසල කර්ම විපාකයෙන් අද මම ප්‍රේත ලෝකයේ ඉපදිලා ඉන්නේ"
ප්‍රේතයා ඒ විදිහට තමන්ව මුගලන් මහරහතන් වහන්සේට හඳුන්වා දුන්නේ ය.
ඒ මොහොතේ “ඔබට මිතුරෙක් වගේ සිටිය, ඒ මිත්‍ර ප්‍රතිරූපක පාප මිත්‍ර අනුවන ස්වාමීන් වහන්සේ, මියගියාට පස්සේ ඉපදුනේ කොහේද? " ලෙස මුගලන් මහරහතන් වහන්සේ ඔහුගෙන් නැවත අසා සිටියේ ය.
"ඒ පාප කර්මය කළ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රේතයෙක් ලෙසයි ඉපදුණේ. මම දැන් ඉන්නේ ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනෙයි. ඔහුත් මේ ප්‍රේත ලෝකයේ ඉපදී මගේම මෙහෙකරුවකු වුණා." එම ප්‍රේතයා එසේ පිළිතුරු දුන්නේ ය. ඔහු නැවතත් මෙසේ කීවේය.
"ස්වාමිනි, මිනිසුන් මළපහකර ඒ අසූචි මේ වැසිකිළි වළට දමනවා, ඒ අසූචි තමයි මම ආහාරයට ගන්නේ. ඒ අසූචි අනුභවකර මම මලපහ කරනවා, මගේ මලපහ අනුභව කරමින් තමයි ඒ ශ්‍රමණ ප්‍රේතයා ජීවත් වෙන්නේ."
තමන් ඉදි කළ විහාරස්ථානයේ ප්‍රධාන දායක මහතා වී සිටි ඔහු, එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ වචනය අසා සිල්වත් භික්ෂූන් වහන්සේලාට ඉතා තදින් අපහාස අවලාද කියමින් බැණ වැදුණේ ය.
ඔහු “මේ ආහාර වළඳනවාට වඩා ඔබලා අසූචි කන එකයි හොඳයි.” කියා එම ස්වාමීන් වහන්සේලාට බැණ වැදුනි. එම පන්සලේ ස්වාමීන් වහන්සේ ද ඒ විදිහටම කියන්න යැයි ඔහුව එයට පොලඹවමින්, ඒ ආකාරයටම සිල්වත් ස්වාමීන් වහන්සේලාට බැණ වැදුණි. ඒ අකුසල කර්ම විපාකයෙන් අනුන් පිටකරන අසූචි එදා දායක මහතාව සිටි මේ ප්‍රේතයා අනුභව කරයි. ඔහු මලපහ කළ පසු එදා ස්වාමීන් වහන්සේව සිට අද ප්‍රේතයෙක් වූ ශ්‍රමණ ප්‍රේතයා ඒවා ආහාරයට ගනියි.
මුගලන් මහරහතන් වහන්සේ මේ කතා පුවත බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ ඉරිසියා කිරීමේ, බැණ වැදීමේ ආදීනව දක්වමින්, එතැන සිටි පිරිසට මේ ධර්ම දේශනාව දේශනා කළහ.
අසූචි වළක ප්‍රේතයින් ලෙස ඔවුන් දෙදෙනාගේ උපත සිදු වූවත්, එයින් ඔවුන්ගේ කර්ම විපාකයන් අවසන් වන්නේ නැත. එහි විපාක ලෙස දැන් ප්‍රේතයින්ව සිටින කාලයටත්, ඊළඟ භවගාමී ගමන් මඟේ කවදා හෝ නිවන් දකින තුරුත් එම කර්ම විපාක දෙයි.
ඔබ කිසිවකුට ඊර්ෂ්‍යා කරන්න එපා. එය සසර පුරා දුක් විඳින්න හේතු වේ.
තෙරුවන් සරණයි.
අනුශාසනාව
පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
මිණිපුර අමාශාන්ති තපෝවනය,
පැල්වාඩිය, රත්නපුර.
මධුර ප්‍රභාත් ගමගේ