වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
එලොව ගිහින් මෙලොව ආපු ජීවිතය
අප ගතකරන ජීවිතයේ අවසානය මරණයය. එය සැබෑවටම අවසානයක්ම ද? නැත. නිර්වාණය සාක්ෂාත් නොකළ සියලුම සත්ත්වයෝ නැවත නැවතත් පුනර්භවයට පත් වන්නෝය. ජීවිතයක් පුරා කළ කී දෑවලට අස්වනු ලබා දෙන්නට කර්මය හා ප්‍රතිබද්ධ හේතුඵල දහම බලා සිටින්නේය.
බුදු දහමට අනුව මිනිසා මරණාසන්න වූ විට ඔහුට ත්‍රිවිධ නිමිති එළඹ සිටීම වන්නේය. ඒවා නම් කර්ම, කර්ම නිමිති සහ ගති නිමිතිය.
කර්ම යනු ජීවිතය පුරා කළ කී දෑය. බොහෝ විට එහි දී සිතට කාවැදුණු කර්මත් සමහර විටක මතකයෙන් යටපත් වී ඇති කර්මත් මනසට දර්ශනය වන්නේය.
කර්ම නිමිති නම් කර්මයන් කිරීමට උපයෝගී කරගත් දේවල්ය. සතුන් මැරීමට භාවිත කළ ආයුධ, මල් පිදීමට,වන්දනාවට බඳුන් වූ දාගැබ ආදී කිසිවක් ඒ අතරට අයත් වෙයි.
ගති නිමිති යනු කර්මානුරූපීව නැවත උපදින්නේ කොතනකදැයි යන්නට සලකුණු දර්ශනය වීමයි. නිරයේ උපතක් නම් එය ගිනිදැල්, ලෝදිය ආදියක් වන්නට ඉඩ ඇත. දෙව්ලොව උපතක් නම් දෙව් විමන් ,දෙව් උයන් ආදියක් දර්ශනය වන්නට පිළිවන.
මෙසේ මින් එකක් හෝ මරණාසන්නයේදී දර්ශනය වීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි. එයට ආගම් භේදයක් නැත. ජාති භේදයක් හෝ කුලමල භේදයක් නැත. එය හේතුඵල ධර්මතාවයට යටත් පොදු ක්‍රියා ප්‍රවාහයකි. මේ බව ලෝකය පුරා කතාබහට ලක් වන මරණාසන්න අත්දැකීම් පිළිබඳ වාර්තා (NDE Reports ) කියවීමෙන් පැහැදිලි කරගත හැකිය.
මේ මා හොඳින් දන්නා හඳුනන අයෙකු ජීවත්ව සිටියදී මා සමඟ විස්තර කළ මරණාසන්න අත්දැකීමකි.
කොළඹට බොහෝදුර පිටිසර ගම්මානයක ජීවත් වූ ඔහුව අපි පියසේන යැයි හඳුන්වමු. තුනේ පන්තියට පමණක් ඉගෙනීම කළ ඔහු ගැටවර වියේ දී සිදුකර ගත්තේ ඉක්මන් විවාහයකි. රැකියාව පිණිස පොල් ලෙලි ගැසීමත්, වතු මුර කිරීමත්, කුලී වැඩවල යෙදීමත් ආදී කය වෙහෙසා කරන ඕනෑ දෙයක් කිරීමට පියසේන හුරුපුරුදු වී සිටියේය.
කුසලය අකුසලය පිළිබඳව වැටහීමක් නැති ඔහුට ඉබ්බන්, තලගොයින්, ඉත්තෑවන්, වලි කුකුළන් පෙනුනේ දිව පිනායන ආහාරයක් ලෙසිනි. ඔහුට අසු වූ සතෙක් වළඳකට නොගොස් බේරුනේ නම් ඒ අතිශය කලාතුරකිනි. තරමක් මතටද ලොල් වූ හෙතෙම පරලොවක් ගැන එතරම් සිතූවෙක් නම් නොවේ.
ශක්තිමත් මිටි දේහයකට හිමිකම් කියූ ඔහු වැඩ කිරීමෙහි ශූරයෙක් විය. මෙසේ කාලය ගත වද්දී ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යකට ඔහුට මුහුණ දෙන්නට සිදු විය.
දිනය 1983 දෙසැම්බර් 23 වැනිදාය. තමා වැඩ කළ වත්තෙහි නොයෙක් කටයුතු සඳහා වෙහෙසී ඔහුගේ කය විඩාපත්ව තිබිණි. උදෑසන ආහාරයද රොටියක් වන් සුළුදෙයක් වූ හෙයින් තදින් ගත වෙව්ලුම් කෑවේය.
මධ්‍යම ප්‍රමාණයට වැඩුණු පොල්ගසක සරු කුරුම්බා වල්ලක් දුටු ඔහුට කුරුම්බා ගෙඩියක් බීමට සිතක් උපන්නේ නිරායාසයෙනි. උදලු ගාමින් සිටි උදැල්ල ගසයට තැබූ ඔහු සරම කැසපොට කවාගෙන ගසට නගින්නට විය. මගක් නගිද්දීම අත වූ කුඩා පිහිය ගිලිහී බිම වැටුණේ කටයුත්තට බධා කරන්නට මෙනි. නැවත බැස ගසට නඟින්නට බැරියැයි සිතූ ඔහු ගස මුදුනටම නැග පොල් අත්තකට පය තබා තවත් අත්තක් අතින් අල්ලාගෙන නිදහස් අතින් කුරුම්බය කරකවා කඩාගත්තේය. එය බිම දැමුවහොත් පැළී යා හැකිය. මේ ගසෙහි කුරුම්බාවල ලෙල්ල එතරම් ශක්තිමත් නොමැති බව ඔහු දැන සිටියේය. එබැවින් කුරුම්බය කෙසේ හෝ අතින්ම පහළට රැගෙන යා යුතුය.
වෙන වේලාවක නම් මෙය ඔහුට කිසිදු අපහසු කටයුත්තක් නොවූමුත්, කුසගින්නත් ගත වෙහෙසත් ඔහුව දුර්වලකර තිබූ සෙයකි.
පහළට බසින්නට ආපසු හැරුණු ඔහුගේ ඇස නිලංකාරව ගිය අතර පොල් අත්ත අල්ලා සිටි අත නොදැනීම අතහැරී ගියේය.
පපුව සීතල වී ඔළුව රත් වී ගිය බියත් සමඟ ඔහු පහළට පතිත වන්නට විය.
නිමේෂයකි. සංසාරයේ කුමක්දෝ කරුමයකට ගසමුල තැබූ උදැල්ල මතම ඔහු වැටී තිබුණි. උදැල්ලේ මිට ගුද මාර්ගයෙන් ඇතුළු වී බඩේ පැත්තකින් එළියට ඇවිත් තිබුණේය. සිහියෙන් හෝ අවසිහියෙන් දඟලමින් උදැල්ල පයේද ආධාරයෙන් ගලවා දමන්නටත් , එළියට ආ බඩවැල ඇතුළට සිටින සේ නැවත සරම කැසපොට කවාගන්නටත් ඔහු කටයුතු කොට ඇත්තේ පුදුමාකාර ධෛර්යයකිනි.
වත්තේ වැඩ කරමින් සිටි හිතවත් කුලීකරුවන් කෑ ගසමින් දිව එනවිට පියසේනගේ නෙත් හෙමිහෙමිහිට වැසී වැසී නිලංකාරව ගියේය. එතැන් සිට ඔහුට තම සිරුර ගැන හෝ බාහිර ලෝකය ගැන හෝ දැනීමක් හැඟීමක් නොවිණි.
ඔහුට පෙනුණේ නිල්පාට කවාකාර ආලෝකයකි. කුඩාම අවධියේ සිට තමා කළ කී දෑ සේයාරූ පෙළක් මෙන් ඔහුට පෙනෙන්නට වූයේ මේ මොහොතේ දීය. කෑරලුන්ට ගල් විදිනා සැටි, තලගොයින් ලී උලෙහි ගසමින් මරනා සැටි, ගල් ඉබ්බන් මස්කරනා සැටි ඔහුට මැවී පෙනෙන්නට විය. කෝටි ගණනක් සිදුවීම් ක්ෂණයක් තුළ ඇතිව නැතිවී පෙනීගියේ 'උතුම් මිනිසත් භවයේ උඹ කළේ කුමක්දැ' යි අසන්නාක් මෙනි.
එම දර්ශන අතුරුදන් වෙද්දී කහ පැහැති ආලෝකයක් තුළින් හෙලි වැනි ආයුධ ගත්, රතු කෙටි වස්ත්‍ර හැඳගත් දෙදෙනකු පැමිණෙමින් සිටියහ.
දෙදෙනාම හිස ජටා බැඳ තිබුණි. පියසේනගේ දෙපසට පැමිණි ඔවුන් දෙදෙනා ,
" හා යං " යැයි කීහ. වේගයෙන් ඇදීගිය කාලාවකාශයෙන් අනතුරුව ඔහුට පෙනීගියේ මහා ද්වාරයකින් ඇතුළෙහි ගිනිගෙන දැවෙන ලෝකයකි.
ජටාධරයින් දෙදෙනාගෙන් අයෙක් පියසේන ගාවින් ඉවත්ව ගියේ හින්දෑරි උස කෙනෙකු සමීපයටය.ඔහු දිගු ඇඳුම් ඇඳ සිටියේය. ඒ හීන්දෑරි උස තැනැත්තා විශාල රත්පැහැ ආසනයක සිටි තේජාන්විත අයෙකු සමඟ මොන මොනවදෝ කීවේය. ඉන් අනතුරුව ඔහු ජටාධරයාත් සමඟ තමා සමීපයට එනු පියසේන දුටුවේය.
" අර බලනවා.. ඒ දඬුවම් දෙන තැන..."
හීන්දෑරි උස තැනැත්තා කීය. ඔහුගේ මුහුණ , නෙත් සැබවින්ම ගුප්ත බිහිසුණු තේජාන්විත ගතියෙන් යුක්තය.
පියසේන දුටුවේ පොල්ගස් කඳන් සා විශාල කටුවැල් වගයක් ඇදන් යන මිනිසුන් වැනි සතුන් කෝටි ගණනකි. ඒවා ගිනිගෙන දැවේ. ඒ වැල්වල කටු ඉතා දිගු වූ අතර ඒ මේ අත වැනෙමින් අර සත්ත්වයින්ගේ සිරුරු විනිවිද යයි. ඔවුහු බැගෑපත්ව හඬති. දුවයන්නට නොදී උල් ආයුධවලින් අනිනා බිහිසුණු ආරක්ෂකයින්ද තැනින් තැන සිටී.
එම වැල් ගෙනගොස් දමන්නේ මහා ආවාටයකටය. එවිට වැනෙන කටුවල ඇමිණෙන දහස් ගණනක් මිනිසුන් ගිනිවළට වැටී චිටි චිටි ගාමින් පිච්චෙයි.
තවත් පසෙක ගිනිදැල් පොළොවෙන් මහගස් තරම් උසට නැඟී දැල්වෙයි. ඒ අතරෙහි බැගෑපත්ව හඬන සත්ත්වයින් ගිනිදලු විනිවිද යමින් පිච්චෙති.
තවත් දෙසක අධික දුමාරයෙන් යුක්ත පෙණදමන ගිනිදලු විහිදෙන ගංගාවකි. ඒ ඒ තැන ඒ ලෝදිය පොවමින් වධදෙන තැනකි.
පරක් තෙරක් නොපෙනෙන වපසරියක දෙකන් හා හිස පැළෙනා තරම් බැගෑපත් දෝංකාරය විහිදී තිබුණේය.
පියසේනට දැනුණේ විස්තර නොකළ හැකි තරමේ භයංකාර සිතිවිල්ලකි. අසරණව බලා සිටිනවා හැර අන් කුමක් කරන්නදැයි ඔහුට නොවැටහුණි.
" තමුනුත් එන්නට තියෙන්නෙ මෙහෙටම තමයි. එහෙම නොවෙන්න නම් ගිහින් හොඳින් ජීවත් වෙනවා. තමුසෙට තව කල් තියෙනවා..." හීන්දෑරි උස තැනැත්තා කීවේය.
ජටාධරයින් දෙදෙනා පියසේනවත් මැදිකරගෙන වේගවත් කාලාවකාශයේ හැරෙනවාත් සමඟ පියසේන නැවතත් කහපැහැ නාළාකාර මගක පැමිණෙමින් සිටියේය.
ඔහුට තම දරු දෙදෙනාත් අසරණ බිරිඳත් සිහිවිය. ඒ අතර අහම්බෙන් මෙන් ගෙදර ඇතිකළ කුකුළන්ද සිහිවූයේය.
කුකුළන් ගෙට ඇවිදින්ය. දැන් ජරා කරනු ඇත. පියසේන මහත් වෑයමක් ගෙන සූ සූ කියන්නට වෙර දරන්නට විය. ඔහුට වචන නොකිය වුණේය. ඔහු නෙත් විවර කළේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දීය.
මේ පියසේන මහතා ජීවත්ව සිටියදී වරින් වර මා සමග කී ඔහුගේ බිහිසුණු අත්දැකීමයි. මෙවන් අත්දැකීම් සිය ගණනක් මා කියවා සහ අසා ඇත්තෙමි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දෙව්රම් වෙහෙරට පිටුපසින් ඌරන් මැරූ චුන්ද සූකරියා මරණාසන්නව සතියක් පෙරනිමිති දකිමින් දුක් වින්දා සේ වේදනා විඳි සිදුවීම්ද දැක ඇත්තෙමි.
ඒවා ජීවිතය වෙනස් කරගන්නට හොඳම හැරවුම් ලක්ෂ්‍යයන්ය. නමුත් පියසේන මහතාට මෙන් දෙවැනි අවස්ථාවක් හැමෝටම ලැබෙන්නේ නැත.
පියසේන මහතා එතැන් පටන් ලොව්තුරා බුදුදහමට නැඹුරු වූයේය. සතුන් දඩයම් කිරීම නවතා දැමුවේය. මුදල් උපයා ඉමහත් ශ්‍රද්ධාවෙන් කුඩා රන් ප්‍රතිමාවක් අරමක අභිනව දාගැබෙහි නිදන් කොට පූජා කරවීය. නිති සම්බුද්ධ වන්දනාවේ නිරත විය. කාටත් උදවු උපකාර කරගෙන ජීවත් විය.
තිස් අටවැනි වියේ දී මුහුණ දුන් අත්දැකීම ඔහුගේ ජීවිතයම වෙනස් කළේය. නැවත ඔහු මරණයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ දෙකක් විය.
ජීවිතය යනු අප දන්නා තරම පමණක්ම නොවේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපට මග පෙන්වා ඇත්තේ මෙලොව දියුණුවත් පරලොව දියුණුවත් යන දෙකම සලසා ගැනීමටය. මරණින් මතු භව ගමන ගැන නොසිතා මෙලොව ගැනම පමණක් සිතන්නා එකැස් කණෙකුට බුදු දහමෙහි උපමා කොට තිබේ.
එබැවින් ඔබ දෑසක් ඇති බුද්ධිමත් අයෙකු වන්න. මෙලොව පරලොව දෙලොවම සුවසෙත සැලසෙන බුදුමග පිළිපදින්න. එවිට ඔබ දෙලොවම දිනූ කෙනෙක් වනු නොඅනුමානය.
තෙරුවන් සරණයි !
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි . සිරි උපාලි ධර්මාශ්‍රමය , කුඩා කිවුල, කොට්ටුකච්චිය)