වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
භික්ෂුන් වහන්සේ ගිහියන්ගෙන් යැපීම සුදුසුද ?
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සමූහයක් සමඟ කෝසල රාජ්‍යයට අයත් නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි වාසය කළ සේක. ඒ කාලයේම නිගණ්ඨ නාථපුත්තත් මහත් නිගණ්ඨ පිරිසත් සමඟ නාලන්දාවේම වාසය කළේය.
එය මහා දුර්භික්ෂයක් පැතිර ගිය සමයකි. නාලන්දාවෙහි මිනී ඇට තැනින් තැන විසිරී තිබුණි. ආහාර හිඟය නිසා ජීවිතය පවත්වාගත හැකි ද නොහැකි ද යන සැකයෙන් මිනිසුන් ජීවත් වූහ. රජයෙන් සලාක ක්‍රමයට ලබාදෙන ආහාරයෙනුයි ජීවිතය පවත්වා ගැනීම සිදුවුණේ.
බෞද්ධ භික්ෂු පිරිසත් නිගණ්ඨ පිරිසත් යන දෙපිරිසම සාමාන්‍යයෙන් පිණ්ඩපාතයෙන්මයි ජීවිතය පවත්වා ගන්නෙ. එනිසා නිගණ්ඨ නාථපුත්තට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පැමිණීම මහා වදයක් කරදරයක් ලෙසයි දැනුනෙ. තමන්ට හා තම පිරිසට ලැබෙන දානය අඩු වේ යැයි ඔහු බියට පත්විය. කෙසේ හෝ භාග්‍යවතුන් වහන්සේව භික්ෂු සංඝයා සමඟම මේ ප්‍රදේශයෙන් පලවා හැරිය යුතු යැයි ඔහු සිතන්නට විය.
ඒ නිසා දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙහෙසට පත් කරවීම පිණිස පුද්ගලයකු වාද කිරීමට එවීය. ඒ අසිබන්ධක ගාමිණී යන ගම්පතියාවයි. ඔහු පැමිණ ඇසිය යුතු ප්‍රශ්නයද නිගණ්ඨ නාථපුත්ත විසින්ම උගන්වා තිබුණි.
" ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ නොයෙක් අයුරින් පවුල්වල රැකවරණය, ආරක්ෂාව, දියුණුව අනුකම්පාවෙන් වර්ණනා කරනවා නේද? "
යනුවෙන් ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියේය. එය එසේමයැයි භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් විට ඔහු නැවත මෙසේ ඇසීය.
" මේ පවුල්වලට ඔබවහන්සේ අනුකම්පාව දක්වනවා නම්, ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්නටවත් නොහැකිව දුර්භික්ෂයක් පවතින, ආහාර බොහෝම හිඟ කාලයේ මේ තරම් භික්ෂු පිරිසක් සමඟ නාලන්දාවේ පිඬුසිඟා හැසිරෙන්නේ ඇයි?
ඔබ වහන්සේ පිඬුසිඟා වඩිමින් ඒ පවුල්වල අයට ආහාර නැති කොට, ඒ පවුල් වනසනවා නොවේද? "
එවිට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හුස්ම ගන්නා ඇසිල්ලක් තුළ මහාකල්ප අනූ එකක් අතීතයට ආවර්ජනය කළ සේක. එසේ ආවර්ජනය කොට අසිබන්ධක ගාමිණී හට මෙසේ පිළිතුරු දුන් සේක.
අසිබන්ධක ගාමිණී, මම මහා කල්ප අනූ එකක් අතීතය සිහි කළෙමි. ඒ මහා කල්ප අනූඑකක අති දීර්ඝ කාලය තුළම දන් දීම නිසා වැනසුණු පවුලක් මම නොදකිමි. එසේම යම් පවුලක් රන් රිදී මිල මුදල් භව භෝග උපභෝග සම්පත් සහිතව ආඪ්‍යව උපන්නේ නම් ඒ සියලුම පවුල් අතීතයේ දන්දීම නිසා, සිල් රැකීම නිසා, ගුණදහම් පිරීම නිසාම ඒ තත්ත්වයට පත් වූ බව දකිමි. එබැවින් සිල්වතුන්ට ගුණවතුන්ට දන් දීම නිසා පවුල් වැඩෙනවා, දියුණු වෙනවා, සැපවත්වනවා, බලවත් වෙනවා විනා දන් දීම හේතුකොටගෙන පවුල් වැනසීමක් කිසි කිසිවිටකත් සිදු නොවේ."
මෙහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගිහි පවුලක් පිරිහී විනාශ වීමට හේතුවන කරුණු අටක් පෙන්වා දුන් සේක.
ඒවා මෙසේය,
1. ගින්න නිසා
2. ජලය නිසා
3. රජුන් විසින් පැහැර ගැනීම නිසා
4. සොරුන් පැහැර ගැනීම නිසා
5. තැන්පත් කළ ධනය වැනසී යෑම නිසා
6. කම්කරුවන් හා සේවකයින් මනාව කටයුතු
නොකිරීම නිසා
7. පවුල වනසන කෙනෙක් පවුල තුළම හටගැනීම නිසා
8. අනිත්‍ය ධර්මතාවය නිසා
කුටුම්භයක්, පවුලක් පිරිහී විනාශ වීමට මෙසේ කරුණු අටක් තිබිය දී, තමන් වහන්සේ පවුල් වනසනවාය යනුවෙන් පවසමින් ඒ දූෂිත අදහස සිත තබාගෙන ජීවත් වුවහොත් ඒකාන්තයෙන්ම ඒ තැනැත්තා අපාගත වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අසිබන්ධක ගාමිණීට පැහැදිලි කරදුන් සේක.
බුදුදහමේ සිව්වනක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව් පිරිසටම ඇත්තේ එකම නිර්වාණ මාර්ගයකි. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිව ගිහි පැවිදි දෙපිරිස තම තමන්ට ආවේණික වේගයකින් නිවන් මඟ ගමන් කරති.
ගිහියෙකු නිවන කරා ගමන් ගන්නා වේගය අඩු එකකි. උපයා සපයා ගන්නට, පවුලක වගකීම් දරන්නට, අඹු දරු වගකීම් දරන්නට ඔහුට සිදුවී තිබේ. යමෙක් ගිහි ජීවිතයෙන් ඉවත්ව පැවිදි ජීවිතයට යොමු වන්නේ එම ගිහි ජීවිතයේ සම්බාධකවලින් මිදී වේගයෙන් නිවන් මඟ ගමන් කිරීමට අවශ්‍ය නිසාය.
රැකී රක්ෂා කිරීම, ගොවිතැන්බත් කිරීම, මිල මුදල් ඉපැයීම් ආදිය පැවිද්දාට පැවිදි ජීවිතය සඳහා සම්බාධක වෙයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දසධම්ම සූත්‍රයේ දී දේශනා කොට තිබෙන්නේ "පරපටිබද්ධා මෙ ජීවිකාති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං" යනුවෙනි.
එනම් පැවිද්දාගේ ජීවිතය අන්‍යයන් හා ප්‍රතිබද්ධව පවතින, අනුන්ගෙන් යැපෙන ජීවිතයක් බව නිරතුරුවම මෙනෙහි කළ යුතු බවයි.
ලොව්තුරා බුදුවරු රහතන් වහන්සේලා පිණ්ඩපාතය ලබා ගැනීම වෙනුවෙන් ගෙයක් ගෙයක් පාසා හැසිරෙන්නේ තමන් වහන්සේලාට ආහාර පිණිස හෝ ජීවත් වීම පිණිස හෝ ආසාවක් ඇති නිසා නොවේ. උන්වහන්සේලාට දානය පූජා කිරීමෙන් ස්වල්ප හෝ පිනක් සිදු කරගෙන සතර අපායට වැටෙන්නට සිටින සත්වයා ඉන් මිදී ස්වර්ග ලෝකයට ගමන් කරත්වා යන කරුණා මෛත්‍රී හැඟීමෙනි. නැතිනම් ශ්‍රද්ධාව ඇතිව එය මූලිකව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගිහියන් අවතීර්ණ වෙත්වා යන හැඟීමෙනි.
දානය වනාහී ස්වර්ගයට ඉනිමඟකි. දෙව්ලොව සම්පත් සේම නිර්වාණ සම්පත්ද ළඟා කර දෙන්නකි.
එම දානය පුරුදු පුහුණු කිරීම සඳහා ගිහියාට ඇති උසස්ම පින්කෙත වන්නේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයයි. ආහාර ගෙන ඉතුරුවන ඉඳුල් වතුර ටික පණුවන් සිටින වළකට දමා එය සතුන්ට ආහාරයක් වේවා යැයි සිතීම් පමණකින් ආත්මභාව සියයක් පුරා ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. ගුණවතෙකුට සිල්වතෙකුට දන් දීමෙන් ඊට වඩා මහා පුණ්‍ය බලයක් රැස්කර ගත හැකි වේ.
දානය පුරුදු පුහුණුවීම තුළින්, අතහැරීමේ ගුණය පුරුදු කර කරගත හැකිය. සියලු ගිහි සම්බාධකවලින් මිදී නිවන් මඟ වේගවත්ව සහ සැහැල්ලුවෙන් ගමන් කරන පැවිදි පිරිසට සිව්පසයෙන් උපස්ථාන කරමින් දාන මානාදී කුසල් දහම් රැස්කරගෙන, ගිහියන්ටද එක්තරා වේගයකින් ස්වර්ග මෝක්ෂ මාර්ගයේ ගමන් කළ හැකි වන්නේය.
නිවන් මඟ වඩින පැවිදි පිරිසට සිව්පසයෙන් උපස්ථාන කිරීම බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ යුතුකමක් ද වන්නේය.
ගොවිතැන් කිරීම, කුඹුරු වැපිරීම, වෙළඳාම් කිරීම, පැවිද්දෙකුගේ සීලයට සහ නිවන් මඟට කිසිසේත්ම නොගැළපෙන ක්‍රියාවන් වෙති. එබැවින් සියලු පැවිද්දෝ අන්‍යයන්ගෙන් යැපෙන අනතිමානී පුද්ගලයින් බවට පත්විය යුතුය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැවිද්දාගෙන් ගිහියාට ඉටුවිය යුතු යුතුකම් කිහිපයක් දක්වා තිබේ. ඒවා මෙසේය.
1. ගිහියාව පාපයෙන් වැළැක්වීම
2. යහපතෙහි යෙදවීම
3. යහපත් සිතින් අනුකම්පා කිරීම
4. නොඇසූ ධර්මය කියා දීම
5. ඇසූ ධර්මය පිරිසිදු කොට කියා දීම
6. ස්වර්ග හා මෝක්ෂ මාර්ගය කියා දීම
මෙසේ යුතුකම් ඉටුකරන පැවිද්දාට ගිහි උපාසක උපාසිකාවන් විසින් ආකාර පහකින් යුතුකම් ඉටුකිරීම සිදුකළ යුතු වෙයි.
1. මෛත්‍රී සහගත කාය කර්මයෙන් යුතු වීම
2. මෛත්‍රී සහගත වචී කර්මයෙන් යුතු වීම
3. මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් යුතු වීම
4. පැවිද්දන්ට නොවැසූ දොර ඇති බව
5. සිව්පසයෙන් උපස්ථාන කිරීම
මෙසේ ගිහි පැවිදි දෙපිරිසෙන්ම ඉටුවිය යුතු යුතුකම් ඉටුවීම සම්බුද්ධ ශාසනයේ දිගුකල් පැවැත්ම පිණිස හේතුවනු ඇත.
පැවිද්දාගේ ප්‍රතිපදාව ගිහි ප්‍රතිපදාවෙන් වෙන් වූ වෙනස් වූ උසස් ප්‍රතිපදාවකි. ගිහි පැවිදි දෙපිරිසම තම ප්‍රතිපදාවන් ශ්‍රී සද්ධර්මය අනුව නිවැරදිව වටහාගෙන කටයුතු කළ යුතුය. එයම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සිදුකළා වන්නේය.
තෙරුවන් සරණයි !
සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය
බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය)