දේශීය බතික් කර්මාන්තය යළි නඟා සිටුවන්නට වෙරදරන යුවළ

ඔක්තෝබර් 16, 2019

බතික් මෝස්තර කලාව කාලයක ඉහළම ජනපි‍්‍රයත්වයක් ලබා තිබූ එකකි.

ඒ වගේම දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළේ ද ඉහළ ඉල්ලුමක් තිබුණි. අපේ රටට, සංචාරකයන්ගේ ආකර්ෂණය කරගන්න කදිම ව්‍යාපාරයක් ද විය. ඒ එම මෝස්තර නිර්මාණයන්හි පවතින කලාත්මක බව සහ නිර්මාණශීලීත්වය මෙන්ම ආකර්ෂණීය නිමාව හේතුවෙනි.

50 දශකයේ ඕලන්ද යුගයේ දී ලංකාවට හඳුන්වා දුන් බතික් කලාව එක් යුගයකදී හස්ත කර්මාන්තයක් වශයෙන් අපේ රටට ඉමහත් ප්‍රතිලාභ අත්කර දුනි.

එහෙත් මෑත කාලයේ දී අපේ රට තුළ බතික් කලාවට තිබූ ප්‍රබෝධයේ හීන වීමත් දක්නට ලැබේ. දේශීය බතික් කර්මානන්තයබ එදා තිබූ තැනට යළිත් පත්කරමින් ස්වයං රැකියාලාභීන්ට හොඳ ආදායම් මාර්ගයක් ඇතිකරලීම කාලීන අවශ්‍යතාවකි.

සැබැවින්ම බතික් කලාව සාර්ථක හස්ත කර්මාන්තයක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි කලාවකි. ඒ සඳහා තමන් සතු දැනුම නිර්ලෝභීව ලබාදීමට කැමැති යුවළක් අපට පසුගිය දා මුණ ගැසිණි. ඒ සරත් ප්‍රනාන්දු සහ එමලින් ප්‍රනාන්දුයි. ඔවුන් අංක 125/9, ජෝන් රුද්‍රිගෝ මාවත, කටුබැද්ද, මොරටුව, ලිපිනයෙහි පිහිටි ඔවුන්ගේ ‘සරසවි බතික්’ ආයතනයේ දී මේ පිළිබඳ වැඩමුළු පවත්වාගෙන යයි. වසර 40 කට ඉහත දී සර්වෝදය ආයතනය හා එක්ව බතික් කලාවේ නොමඳ ඉසව් සොයාගිය මොවුන් තම දැනුම නිර්ලෝභීව ලබාදීමට සමත් ය. මේ ඔවුන් ඒ පිළිබඳ දැක්වූ අදහස් ය.

“අපගේ උත්සාහය මේ සුන්දර බතික් කලාව මැකී යා නොදී ආරක්ෂා කිරීමයි. එහි අතීත යසස නව පරපුරට උරුමකර දීමයි. ඒවගේම නොයෙකුත් ආර්ථික හා සමාජයීය කරුණු හේතුවෙන් බතික් කර්මාන්තය කෙමෙන් අවගමනය වුණා. එහෙත් එහි ඉල්ලුමේ අඩුවීමක් නම් නැහැ. එබැවින් නැවත මේ බතික් කලාවට ජීවය දෙන්න අප දෙදෙනා සූදානම්”

එමෙන්ම ඔවුන් පැවසුවේ දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත බතික් නිර්මාණ එළිදැක්වීම පිළිබඳ සැලකිය යුතු, දැනුමක් ලැබිය හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ උපකරණ ලබාදීමට ඔවුන් සූදානම්. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව සහ කැපවීම පමණි.

හිත නිවන කලාවක් වූ බතික් කලාව රැකියා නොමැතිව ළතැවෙන තරුණ පරපුරට ගෞරවනීය වෘත්තියක් කරගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඔබත් බතික් මෝස්තර සහ තාක්ෂණය පිළිබඳ දැනුවත්ව අපේ රට තුළ නිර්මාණශීලී, නිෂ්පාදකයකු වන්නට හිතට ගන්න. මේ ඔබට රටේ සංවර්ධනයට දායක විය හැකි අගනාම අවස්ථාවකි.

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර