අලංකාරයෙන් අනූන මිලෙන් ඉහළ ඩෙසර්ට් රෝස්

සැප්තැම්බර් 19, 2022

 

ජපන් අරලිය ශාකය අප්‍රිකාවට ආවේණික පඳුරක් වන අතර අපේ රටේ ගෙමිදුල් බහුලව අලංකාර කරයි. සහරාව, සූඩානය ආදී අප්‍රිකානු කලාපයේ සුන්දරියක් නිසාම ඇය Desert Rose ලෙස නම් දරා ඇත. බලන්නන් දෙපාරක් හැරී බලන අන්දමට නෙත් පැහැර ගැනීමට තරම් ආකර්ෂණීය මල් සහිත ශාකයකි.

මෙය ලංකාවේ දී ජපානයේ ආඩම්බරය (Pride of Japan) හෝ ජපන් ෆ්රැන්ගිපානි (japanese frangipani) හෙවත් ජපන් අරලිය ලෙස ජනප්‍රිය වී ඇත. මෙලෙස හැඳින්වීමට හේතුව ඇය ජපානයේ බොන්සායි කලාවේ බහුලව භාවිත වන ශාකවලින් එකක් වීමය. ඒ නිසාම බොන්සායි කලාවේ රැජිනක් ලෙස කිරුළු දරා තිබේ.

මෙහි විද්‍යාත්මක නාමය Adenium Obesum වේ. අද දවසේ දී මේ සොඳුරු මල් කුමරිය ඉහළ මිල ගණන්වලට අලෙවි වේ. ද්විත්ව වර්ණ මල් පිපෙන හෝ පෙති වැඩි මල් සහිත කුඩා පැළයක් රුපියල් 1500ක් පමණ වේ.

 

ශාකයේ ස්වභාවය

කොළ සර්පිලාකාරව සකස් වී ඇති අතර එහි මල් පෙති පහක් සහිත තද රෝස, මධ්‍යම රෝස හෝ ළා රෝස පැහැයක් ගනී. අද වන විට මෙරූන්, දම්, සුදු, කහ, තැඹිලි, රතු පමණක් නොව සුදු හා රෝස මිශ්‍ර ආදී ලෙස ද්විත්ව වර්ණවලින් ද මල් හට ගනී. ශක්තිමත් ඉදිමුණාක් වැනි මහත කඳන් සහිත ශාකයකි. එය උසින් මීටර් 1ක් පමණ වර්ධනය විය හැකියි. තරමක් විස සහිත කිරි ඇති ආඩම්බරකාරියකි.

ඉතා අලංකාර තරමක ලොකු මල් හට ගන්නා ඇඩේනියම් හි විවිධ වර්ණ සහිත ප්‍රභේද ඇත. රතු, ළා රෝස, සුදු, ළා දම් පමණක් නොව ද්විත්ව වර්ණ වලින්ද මල් හට ගන්නා අතර මෙම මලක පෙති පහකි. මඳක් දිගටි කෙමියකින් යුක්ත වීම ජපන් අරලියා මලෙහි ඇති විශේෂත්වයයි. සාමාන්‍යයෙන් අඩු පත්‍ර හට ගත්ත ද අතු අගිස්සේ හට ගන්නා බැවින් ජපන් අරලියා ගසෙහි සෑමවිටම දැකිය හැක්කේ දඬු ස්වභාවයකි. මේ ශාකයේ මුල මහත්ව වැඩෙන බැවින් අතු කප්පාදු කිරීමෙන් හොඳ පඳුරක් සකස් කර ගත හැකියි.

 

වර්ගයා බෝ කිරීම

මෙහි වර්ගයා බෝ කිරීම අතු කැබලි මාර්ගයෙන් සිදු කළ හැකියි. අතු පැළ කිරීමෙන් ඉක්මනින් ශාකයක් සකස් කර ගත හැකි වනවා පමණක් නොව මවු ශාකයේ වර්ණයෙන්ම මල් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.

 

බිජ ලබා ගැනීම

ඇඩේනියම් මල් පර වූ පසුව කරල් හට ගනී. මේ කරල් මේරු පසු ඒ තුළ වූ බිජ ලබා ගෙන තවාන් කළ යුතු වේ. කරල් මෝරා පිපිරී විසිරීමට ප්‍රථම බිජ අයින් කර ගැනීමට වග බලා ගන්න. මේ බිජවලින් පැළ කරගත් ශාකවල මල් ඇතැම් විට මවු ශාකයේ පුෂ්පවලට වඩා වෙනස් වීමට ද ඉඩ තිබේ. ඊට හේතුව වනුයේ ස්වාභාවිකව සිදුවන පරාගනයයි.

 

අතු බැඳීම

අතු බැඳීමෙන් පැළ ලබා ගත හැකියි. මෙහිදී අතු කැබැල්ලේ මුල් ඇදුණු පසුව එම කොටස වෙන්කර බඳුන් ගත කළ යුතු අතර මේ සඳහා වැලි වැඩි මිශ්‍රණයක් තෝරා ගන්න. එනම් වැලි කොටස් එකකට කොම්පෝස්ට් කොටස් 1/2ක් වන ලෙසින් සැකසූ මිශ්‍රණයෙහි පැළ සිටුවිය යුතුය.

 

පොහොර භාවිතය

සති දෙකක් පමණ ගත වූ පසුව ශාකයේ වර්ධනයට සමතුලිත පොහොරක් යෙදිය යුතුයි. මල් ගැනීම සඳහා පොටෑසියම් වැඩි පොහොරක් යොදන්න. පොහොර යෙදිය යුත්තේ සති දෙකකට වරක් වශයෙනි.

 

සුර්යාලෝකය

හොඳ ආලෝකයක් ලැබෙන විට අලංකාර මල් රැසක් ලබාගත හැකි බැවින් තද සුර්යාලෝකයක් පතිත වන ස්ථානයක ඇඩේනියම් ශාක තැන්පත් කිරීම වැදගත්.

 

රෝග හා පළිබෝධ හානි

රෝග බෝ වීම මඳක් අඩු ශාකයක් ලෙසින් හැඳින්වුව ද මේ ශාකය කඳ කුණුවීමේ රෝගයට භාජනය වේ. එසේ වීමට ඉඩ ඇත්තේ හොඳ ජලවහනයක් නොවූ විට දී ය.

එබැවින් හොඳින් ජලය බැස යන පරිදි වගා මාධ්‍යයත්, බඳුනත් සකස් කරගැනීමට අමතක නො කරන්න. නිවෙසක උඩු මහලේ කොරිඩෝවට හොඳින්ම ගැළපෙන ශාකයක් වූ මෙම ඇඩේනියම් ශාකයට නියමිත පරිදි ජලය, පොහොර සපයා නිසි ලෙස නඩත්තු කිරීමෙන් ඔබටත් ඇඩේනියම් වගාවක හිමිකරුවකු විය හැකියි.