වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ජීවනි වගේ දියුණු වෙන්න ඔබත් කැමැති ද?
- වැනිලා වගාකරන අයට අතහිත දෙන්න ඇය සූදානම්
- දේශීය රසකාරක භෝග වගාව
- වැනිලා වගාවෙන් දිවිමඟ ජයගත් ගම්පොළ ජීවනි කුමාරි
දිව පිනවන කදිම රසයත්, නාසයට ඉමිහිරි සුගන්ධයත් රැගෙන එන අපූරු රසකාරකයයි වැනිලා. ලෝකයේ මිලාධිකම රසකාරකය වූ සැෆ්රන්වලට පමණක් දෙවැනිවන මේ වැනිලා ඉහළ වටිනාකමකින් යුතු වේ.
ඒ නිසාම වැනිලා වගාව හරහා හොඳ ආදායමක් ලබා ගත හැකි අතර මේ වන විට වැනිලා වගාවක් ක්‍රමානුකූලව පවත්වාගෙන යන ආකාරය පිළිබඳ ඔබ හොඳින් දැනුවත්.
එබැවින් අද අපි මේ වැනිලා වගාවෙන් සිය අතමිට වාගේම දිවිමඟ සරු කරගත් දිරිය කාන්තාවක් හඳුනා ගනිමු.
ඇය ආර්. එම්. ජීවනි කුමාරි. මහනුවර, ගම්පොළ, කොහොමඩ ගම්මානයේ පදිංචි ජීවනිගේ නිවෙස කරා පිය නගන්නට නම් තරමක දුෂ්කර ගමනක යෙදිය යුතු වේ. නමුත් ඇයගේ නිවෙස අවට පාරිසරික සුන්දරත්වය දුටුවිට ඒ වෙහෙස මහන්සිය දුරු වන්නේ සැණෙකිනි. ඒ වාගේම ඇයගේ ගම් පියස වැනිලා වගාවට ඉතා උචිත දේශගුණික තත්ත්වයක් ද පවතී.
සිය සැමියා වූ ආර්. පී. නවරත්න සමඟ ඉතාමත් සාර්ථක වැනිලා වගාවක නිරතව සිටින ඈ මේ වගාවට අමතරව තවත් කුළුබඩු කිහිපයක්ම නිෂ්පාදන කටයුත්තේ නියැළී සිටින්නීය. ඇය වැනිලා වගාවට පිවිසි ආකාරය විස්තර කළේ මෙලෙසිනි.
“මගේ සැමියාගේ රැකියා වුණේ පෙදරේරු කර්මාන්තය. දවසක් එයා වැඩ කළ ගෙදරකින් වැනිලා වැල් කිහිපයක් ගෙනවිත් අපේ ගෙවත්තේ සිටෙව්වා. අපේ අහල පහළ ගෙවල් කීපයකටත් මේ අතු කැබැලි දුන්නා. වැල්වලට හොඳින් සාත්තු කරලා රැකබලාගෙන ටික කාලයක් යද්දි වැනිලා කරල් හටගත්තා. ඇත්තටම කිව්වොත් වැනිලා අස්වැන්න 100kgක් විතර ලැබුණත් අපිට හොඳ මිලක් ලැබුණේ නෑ.
ඔය අතරතුරේ අහම්බෙන් වගේ රූපවාහිනි වැඩසටහනකින් අපි වැනිලා වගාවක් දැක්කා. ඒ වැඩසටහන කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්. ඉතින් ඒ හරහා මහනුවර වැනිලා වවන්නන්ගේ සංගමයට සම්බන්ධ වෙන්න විතරක් නෙමෙයි ඔවුන්ගේ හොඳ මඟ පෙන්වීමක් ලබාගන්නත් අපට හැකියාව ලැබුණා.“
ඔබේ ගම්මානයේ තවත් පිරිසක් මේ වැනිලා වගාවේ නියැළී සිටිනවා නේද?
“ඔව්. අපේ ගමේ ගෙවල් 72ක් පමණ තිබෙනවා. ඒ සෑම ගෙමිදුලකම වැනිලා වැලක් දෙකක් වගාකර තිබීම විශේෂත්වයක්. මහනුවර වැනිලා වගාකරුවන්ගේ සංගමයේ ගඟඉහළ කෝරලේ වැනිලා සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කරන්නෙත් මගේ සැමියා. දැනට වැනිලා වගාකරුවන් 400ට ආසන්න ප්‍රමාණයක් මේ සමිතියේ ලියාපදිංචිය ලබා සිටිනවා. අපි වගාවට අවශ්‍ය පුහුණුව පමණක් නොව වැනිලා දඬු, පොහොර සැපයීමත්, අස්වැන්න එකතු කිරීම සහ සැකසීමත් සිදු කරනවා. මේ ප්‍රදේශයේ වැනිලා අස්වැන්න එකතුකර මහනුවර වැනිලා වගාකරුවන් වෙත ලබාදීම හරහා හොඳ ආදායමක් ලබාගන්නට අපට පුළුවනි.“
වැනිලා කර්මාන්තය නඟා සිටුවමින් සිය ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය සවිබල ගන්වන්නට උරදෙන මේ බිරිය සහ සැමියා දුටු රාජ්‍ය නොවන සංවිධානයක් ඔවුනට අත්වැලක් සපයන්නට තීරණය කෙරිණි. ඒ ඔවුන්ට අතුරු කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා කුළුබඩු ඇඹරුම් යන්ත්‍රයක් ලබාදෙමිනි.
“මේ කුළුබඩු ඇඹරුම් යන්ත්‍රය නිසා අපේ ගමේ කිහිපදෙනෙකුටම රැකියා අවස්ථා ලබාදෙන්නට අපට හැකියාව ලැබුණා. වසවිසෙන් තොරව අපේම ගමේ වැවෙන කුළුබඩු එකතු කරලා නිෂ්පාදනය කිරීමත් අපි දැන් සිදු කරනවා. නවරත්න කුළුබඩු නිෂ්පාදකයෝ නම් වූ මේ හරහා මිරිස්, කහ, තුනපහ, කැබැලි මිරිස්, කෝපි, ගම්මිරිස්, අබ, අළුහාල් ආදිය නිෂ්පාදනය සිදු කෙරෙනවා. ගුණාත්මක බවින් උසස් මේ නිෂ්පාදන අලෙවි කරන්නේ අපේම ප්‍රදේශයේ ජනතාවටයි.“
“ඇත්තටම කිව්වොත් අපේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගන්න මේ වැනිලා කර්මාන්තය විශාල පිටුවහලක් වුණා. අපේ දරුවෝ තුන්දෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නේ මේ වැනිලාවලින් උපයාගත් මුදල්. ඒ විතරක් නෙවෙයි ඉඩකඩම්, ගෙවල් දොරවල්, වාහන ආදිය මිලදීගෙන හොඳ ජීවන රටාවක් ගත කරන්නට අපට හැකියාව ලැබුණේ මේ වගාව නිසා.“
ඔබේ ගෙවත්තේ දකින වැනිලා වගාවේ වෙනසක් තිබෙනවා නේද?
“වැනිලා වගාවට විශේෂ ඉඩකඩක් අවශ්‍ය නැහැ. අපේ නිවෙසින් ඉවතලන පරණ බඳුන්වල තමයි මේ වගාව ගොඩාක් දුරට කරගෙන යන්නේ. වැට මායිමේ තියෙන ගස්වල විතරක් නෙමෙයි විවිධ හැඩතල අනුව සැකසු වැනිලා ආරුක්කුත් අපේ ගෙවත්තේ දකින්න පුළුවනි.
ඇත්තටම කිව්වොත් අපේ ප්‍රදේශයේ පහසුකම් අවමයි. බොහෝ දුෂ්කරතා මැද තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. ජලය, ප්‍රවාහනය, මාර්ග මේ පහසුකම් අවම වුණත් අපි කොහොම හරි වැඩේ කරගෙන යනවා. අඩි පාරවල් දිගේ, කරමත හෝ ඔළුවේ තියාගෙන බඩු රැගෙන යන්න සිදුවුණත් අපේ ධෛර්යයේ අඩුවක් නෑ.
අපේ මේ කටයුත්තට සහභාගිවෙලා ඉන්නෙත් වැඩිදෙනා කාන්තාවෝ. ඔවුන්ට එමඟින් තමන්ගෙ පවුලේ ආර්ථිකය ගොඩනඟන්න හැකිවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි හෙට දවසේ මේ ව්‍යාපාරයට යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ඉතසිතින් උදවු කරන්න, අතහිත දෙන්න අපි හරිම කැමැත්තෙන් ඉන්නවා.“ යැයි ඇය අවසාන වශයෙන් පැවසුවාය.
විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ දිශාන්ති කොඩිතුවක්කු සහ රුවන් බස්නායකට
ඡායා ලසන්ත අබේරත්න