නීතිඥවරියක් වීමේ සිහිනය අතහැර අයිස් ක්‍රීම් කොත්තු හදන ප්‍රියන්ති

ජනවාරි 31, 2022

 

මට ලංකාවේ තියෙන ලොකුම සරුංගල් සැණකෙළියේ අයිස් ක්‍රීම් විකුණන්න ආරාධනාවක් ලැබුණා. මම සෑහෙන මුදලක් වියදම් කරලා ඒකට ලැහැස්ති වුණෙත් විශාල බලාපොරොත්තුවකින්. දවස් දෙකකට පස්සේ මට උත්සවය සංවිධානය කරන මහත්මයෙක් කතා කරනවා. එයා කියනවා ප්‍රියන්ති අක්කේ අපට සමාවෙන්න... ඔයාට මේ සැණකෙළියට අයිස් ක්‍රීම් විකුණන්න දෙන්න පුළුවන් වෙන්නේ ලක්ෂ පනහක ඩිපොසිට් එකක් තිබ්බොත් විතරයි කියලා.

 

ඇත්තටම මම ලක්ෂ පනහක් ඒ වෙලාවේ හොයා ගන්නේ කොහෙන්ද? මම හරිම අසරණ වුණා. අසරණකම නිසාම සෑහෙන්න ඇඬුවා. ඒ අයිස් ක්‍රීම් ඕඩර් එක ලොකු ආයතනයක් ගත්තා.“

මහපොළව සමඟ පොරබදන මෙවැනි මිනිසුන් අපට නිරතුරුවම මුණ ගැසෙයි. ඔවුන්ට ඇති හැකියාව නිර්මාණශීලී කුසලතාව හා උනන්දුව මහමෙරක් තරම්ය. එහෙත් එම හැකියාවන් සහ දක්ෂතාවන් මෙවැනි සිදුවීම් හමුවේ කඩාවැටී මහපොළව මත වැළලී යන්නේ කාටත් හොරාය.

අටුගම ප්‍රියන්ති මංගලිකා.... ඇය ද දක්ෂතා රැසක් උපතින් රැගෙන ආ මේ මහ පොළොවේ පය ගසා ජීවත් වන්නට වෙර දරන කාන්තාවකි. පසුගිය දිනෙක ඈ සොයා අප ගියේ ඈත එපිට ගම්මානයකටය. දෙහිඕවිට අටුලුගම ග්‍රාමසේවා කොට්ඨාශයේ මීවල ගම්මානය ඉතා සුන්දරය. ගැමි සුන්දරත්වය තවමත් එහි ඉතිරිව ඇත්තේ දුෂ්කර වූ මාර්ගය නිසාමය. ගුරුපාරක් දිගේ කිලෝමීටර් 2ක් පමණ පයින් පමණක් ගමන් කළ යුතු මීවල ගමේ ප්‍රියන්ති මෙවැනි නිෂ්පාදනයක් කිරීම ද ඉතාම පුදුමයකි. ලොකු කුඩා කවුරුත් කැමැති අයිස්ක්‍රීම් අපට හමුවන්නේ සුපුරුදු රස කිහිපයකිනි. එහෙත් ප්‍රියන්ති එයින් ඔබ්බට යමින් දේශීයත්ව පිරි නැවුම් රසය පිරි කොස් හා සියඹලා රසැති අයිස් ක්‍රීම් නිෂ්පාදනය කරන රසවත් කතාව අපට පැවසුවේ උතුරා ගලන සතුටිනි.

“මම උසස් පෙළ සමත් වෙලා හීන මැව්වේ නීතිඥවරියක් වෙන්න. අපට තිබුණු ආර්ථික දුෂ්කරතා නිසා ඒ හීනය බිඳ වැටුණා. හැබැයි මම ග්‍රාම නිලධාරි බඳවාගැනීමේ විභාගය සමත් වුණා. ඒත් වයස මදි නිසා ඒ අවස්ථාවත් ගිළිහී ගියා. ඊට පස්සේ මගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා හිතාගෙන විවිධ ස්වයං රැකියා කළා. වටු කුරුල්ලෝ හැදුවා, බිම්මල් වගා කළා, තේ වගාවට යොමු වුණා. හැබැයි මට මේ දේවල් කරනකොට හිතුණා ඇයි අපේ මේ ගම්වල ගස් යට කුණුවෙලා වැටෙන වැල, වරකා, සියඹලා වගේ දෙයකින් ප්‍රයෝජනයක් නොගන්නේ කියලා. මම දෙහිඕවිට ‘විදාතා‘ මධ්‍යස්ථාන භාර තාක්ෂණ නිලධාරිනී රවීන්ද්‍ර නාථ විතාරණ නෝනා හමුවෙලා මගේ අදහස් කිව්වා. එතුමිය ඒ කාලේ හිටිය ප්‍රාදේශීය ලේකම් පී. කේ. ලැනරෝල් මහතාට කියලා මට මුලින්ම විජලන යන්ත්‍රයක් ලබා දුන්නා. ඒ යන්ත්‍රයෙන් තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. ඇත්තටම මම නිෂ්පාදනය කරන අයිස් ක්‍රීම් එකට කිසිම කෘත්‍රිම රසකාරකයක් යොදන්නේ නැහැ. අද අපේ රටේ බහුලවම තිබෙන දියවැඩියාව වගේ බෝ නොවන රෝගවලටත් මේක හොඳ විසඳුමක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මේ අයිස් ක්‍රීම් හොඳම පෝෂ්‍යගුණයක් තියෙනවා. අද දරුවෝ වැඩිපුරම කැමැති කොත්තු, චිප්ස්, බයිට්, කේක් වගේ දේවලටනේ... අපේ දරුවො දැන් ගස් යට වැටෙන සියඹලා ගෙඩියක් කනවා දකිනවාද? වැල මදුලක රසය දන්නවාද? නෑනේ... නමුත් මගේ මේ අයිස් ක්‍රීම් හදන්නේ ඒ වගේ රස නොදන්න නගරයේ ජීවත්වෙන දරුවන්ට. මේ නිෂ්පාදනවලට අමතරව දේශීය දේ යොදා ගෙන ‘අපේ ගම‘ පරිශ්‍රයේ කුඩා හෝටලයක් කළා. නමුත් කොරෝනා වසංගතය නිසා ඒ සියලු දේ කඩා වැටුණා. දැන් අලුතින් පටන් ගන්න විශාල මුදලක් වැය වෙනවා.“

ප්‍රියන්ති මංගලිකා නිෂ්පාදනය කරන කොස් අයිස් ක්‍රීම් හා සියඹලා කොත්තු සඳහා වූ ඉල්ලුමට සරිලන නිෂ්පාදනය කිරීමට ද නොහැකි තරම්ය. “දැන් පාන් පිටි සෑහෙන්න මිල ඉහළ ගිහින් හිඟයකුත් තියෙනවා. නමුත් කොස්, සියඹලා ගම්වල ඕනේ තරම් එකතු කරගන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විජලන යන්ත්‍ර හැම ගමකටම දෙක තුනක් දුන්නොත් මේ අපතේ යන කොස් ටික වේළාගෙන ලොකු මුදලක් ගන්න පුළුවන්. රට ගිහින් දුක් විඳිනවාට වඩා අපේ ගම්වල තරුණියන්ට පිටි හදලා හොඳ මුදලක් හොයා ගන්න අවස්ථාව තියෙනවා. මගේ අයිස් ක්‍රීම් එක සඳහා පේටන්ට් බලපත්‍ර ගන්නකොට ඒක කාර්මික තාක්ෂණික ආයතනය ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව තමයි අයිස් ක්‍රීම් එකක් ලෙස පිළිගන්න සත්ත්ව මේදය සහ සීනි 10% තිබිය යුතුවීම. එසේ නැති නම් එය අයිස් ක්‍රීම් එකක් ලෙස පිළිගන්නේ නැහැ. අපේ රටේ මේ තත්ත්වය පිළිගන්නේ නැති එක විශාල කනගාටුවක්.

මගේ මේ අයිස් ක්‍රීම්වල තියෙන්නේ සත්ත්ව මේදය නෙමෙයි ශාක මේදය. කොස් අයිස් ක්‍රීම් එකේ ඇටය තමයි මම මේදය බවට පත් කරගෙන තියෙන්නේ. මම හදන සෑම අයිස් ක්‍රීම් එකකටම අරගෙන තියෙන්නේ ශාක මේදය විතරයි. මේ වගේ අපේ දේවල් යොදාගෙන මම අයිස් ක්‍රීම් වර්ග 38ක් නිෂ්පාදනය කරලා තියෙනවා. වට්ටක්කා, තල්, කොහිල අල, කුරහන්, සුදුලූනු, දූරියන්, වෙරළු, ඉරමුසු, ලාවුළු, කරපිංචා, ගොටුකොළ පවා යොදාගෙන අයිස් ක්‍රීම් හදන්න පුළුවන්. කොරෝනා වසංගතය නිසා බිඳ වැටුණු ව්‍යාපාර ක්ෂේත්‍රයට පණ දෙමින් නැවතත් නැවුම් වූ බලාපොරොත්තු මැද ඈ අලුත් ගමනට මුල පුරන්නේ මහත් විශ්වාසයෙනි.

ඇය 2017 වර්ෂයේදී නව නිපැයුම් කොමිසන් සභාව සංවිධානය කළ සහසක් නිමැවුම් නව නිෂ්පාදන තරගාවලියේ දෙවැනි ස්ථානය ද 2018 වසරේ රන් පදක්කම ද දිනා ගත්තේ කොස් ආශ්‍රිත අයිස් ක්‍රීම් නිෂ්පාදනය වෙනුවෙනි. එම තරගයෙන් පසු ප්‍රියන්තිට ලෝක නව නිමැයුම්කරුවන්ගේ තරගය සඳහා සහභාගිවීමට අවස්ථාව හිමි විය. රටවල් 107ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැති ඇයගේ නිෂ්පාදන සඳහා විශේෂ ඇගයීමකට ලක් වෙමින් දෙවරක්ම තුන්වැනි ස්ථානය හිමි වූයේ දේශීයත්වය ලොවටම ප්‍රදර්ශනය කරමිනි.